ජපන් ජබර පැළෑටියෙන් සුන්දර නිර්මාණ


බෑග්, මුදල් පසුම්බි, හිස් පලඳනා නිපදවන 
දිරිය කාන්තාවෝ

 

‘ජපන් ජබර’ ජපන් ජබර යන නම ඇසූ පමණින්ම කාගෙත් සිහියට එන්නේ වැවක, ඇළක හෝ කිසියම් ජලාශයක් පුරා වසා ගත් දම් පාට කුඩා මලකින් හැඩ වූ විශාල ජලජ පැළෑටි සමූහයකි. විටෙක එය නෙතට රස දෙන දර්ශනයක් වුවත් එයින් අපගේ පරිසරයට නම් යහපතක් සිදු වන්නේ නැති තරම්ය.   


බ්‍රසීලය සහ දකුණු ඇමෙරිකා රටවල් නිජබිම කර ගත් මේ කුඩා ජලජ ශාකය නිවර්තන අප්‍රිකා රටවල සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියා කලාපයේ රටවල් වෙත ද මේ වනවිටත් පැතිරී ගොස් තිබේ. ජපන් ජබර ශාකය විසිතුරු පැළෑටියක් ලෙස හොංකොං හි සිට ශ්‍රී ලංකාව වෙත 1905 වසරේදී හඳුන්වා දී ඇත.   


එසේම ඉතිහාස කථාංගවල සඳහන් වන පරිදි දෙවන ලෝක යුද සමයේදී ජපාන සහ ජර්මානු ප්‍රහාරක ගුවන් යානාවන් මුළා කිරීම සඳහා මිත්‍ර පාර්ශ්වික රටක් වූ ශ්‍රී ලංකාවේ වැව් සහ ජලාශයන් හි ජපන් ජබර පැළෑටිය ව්‍යාප්ත කළ බවට ද මතයක් පවතී.   


ඒ මක්නිසාදයත් එම වැව් හෝ ජලාශයන් ගුවනේදී දිස්වන්නේ හිස් වූ භූමියක් හෝ පිට්ටනියක් ලෙසින් වන අතර ගුවන් නියමුවන් එම වැව් හෝ ජලාශයන් හිස් භූමියක් යැයි සිතා තම යානාවන් ගොඩබැස්සවීමට යාමේදී යානා ගිල්වා දැමීමට උපක්‍රමයක් ලෙස භාවිත කරන්නට ඇතැයි ද ජනප්‍රවාදයේ සඳහන් වේ.   


කෙසේ වෙතත් ආක්‍රමණික ජලජ ශාකයක් ලෙස මේ වනවිට ශීඝ්‍රයෙන් වර්ධනය වන ජපන් ජබර පැළෑටිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයට මෙන්ම කෘෂි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. ඒ අනුව මෙම පැළෑටි ගහණයෙන් වැව් හා ජලාශයන් වැසී යාම හේතුවෙන් මිරිදිය ධීවර කර්මාන්තයේ නියැළීමට නොහැකි වීම, විවිධ මිනිස් අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වීම යන ගැටලු සඳහා මුහුණදීමට සිදුව තිබේ.   

 

හිස් පලඳනා

කාන්තා බෑග්

 

 

එසේම මෙම පැළෑටිය වැව් සහ වාරි මාර්ගයන් ඔස්සේ කුඹුරු තුළ බෝවීමේ තර්ජනයකට ලක්ව ඇති අතර වැව් සො​ෙරාව් හා වාන් මාර්ගයන්හි සිරවීම හේතුවෙන් ජලය ලබා ගැනීමට නොහැකිවීම, ශාකය ජලය මතුපිට පලසක් ලෙස සකස්ව ඇති නිසා ජලය තුළ සිටින ජලජ ජීවීන්ට ආලෝකය, පෝෂක සහ ඔක්සිජන් ලබාගැනීමට නොහැකිවීම ආදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවී ඇත.   


මෙම ජලජ පැළෑටිය තුළින් පරිසරයට කොතෙකුත් හානිකර තත්ත්වයක් උදා වූවත් එම හානිය අවම කර එය ආර්ථික වාසියකට හරවා ගනිමින් නව නිර්මාණයන් බිහි කිරීමට ගල්ගමුව ඇහැටුවැව ගල්කඩවල ප්‍රදේශයේ නිලූකා ජයන්ති මහත්මිය සමත්ව සිටී.   


ඒ ජපන් ජබර පැළෑටිය යොදාගෙන විවිධ භාණ්ඩ සහ පලඳනා නිර්මාණය කිරීම තුළින් වීම විශේෂත්වයකි. මෙම කාර්යයහි නියැළෙන නිලූකා ජයන්ති මහත්මිය තම නව ව්‍යාපාරය පිළිබඳව ඉරිදා ලංකාදීපයට මෙසේ පැවැසුවාය.   


“මම ජීවත්වන ගල්ගමුව ඇහැටුවැව ගල්කඩවල කියන ප්‍රදේශයේ බොහෝ පිරිසක් ජීවිකාව ගෙන යන්නේ ගොවිතැන් කටයුතුවලින්. ඒත් අපිට ඒක දිගටම කරගෙන යන්න විිදියක් නැහැ. ගමට නිතරම වල් අලින් කඩා වදිනවා. අපේ භෝග වගාවන් විනාශ කරනවා. ගොවිතැනින් ජීවත් වන අපිට මෙය විශාල හිසරදයක්. ඒ නිසා මම තීරණය කළා ජීවිතේ දිනන්න නම් තමන්ගෙම කියලා වෙනස්ම දෙයක් කරන්න ඕනෑ කියලා.   


එහෙම ඉන්න අතරේ තමයි ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි ජාතික ව්‍යවසායික සංවර්ධන අධිකාරියයි එකතු වෙලා ස්වයං රැකියාවන් සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ. මමත් හරිම කැමැත්තෙන් එයට සහභාගී වුණා.   


එහිදී අපිට කළ හැකි විවිධ රැකියා අවස්ථා පිළිබඳ එම නිලධාරී මහත්වරුන් පෙන්වාදීම් හා පුහුණුවීම් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ජපන් ජබර ජලජ පැළෑටිය ආශ්‍රිතව නිෂ්පාදනයන් කිරීමට යොමු වුණේ. මෙහිදී ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනී පේෂලා සුභාෂිණී වන්නිනායක මහත්මිය බොහෝ මඟ පෙන්වීම් මේ සම්බන්ධව සිදු කළා. එය අපිට විශාල ශක්තියක් වුණා.   


අපි දැනට මෙම පැළෑටිය උපයෝගී කරගෙන විවිධ බෑග් වර්ග, මුදල් පසුම්බි, හිස් පලඳනා ආදී භාණ්ඩ නිපදවනවා. මෙම නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් ද වෙ​ෙළඳපොළ තුළ දැනට ගොඩනැගෙමින් තිබෙනවා. එහෙත් මෙම කර්මාන්තය දියුණු කරගැනීමට අවශ්‍ය සම්පත් හිඟයක් පවතිනවා. භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා විශේෂිත මැෂින් වර්ග අවශ්‍යයි. එහෙත් අපිට එම උපකරණ ගන්න හැකියාවක් නැහැ.   

 

 

නිලූකා ජයන්ති සමග සේවය කරන පිරිස

ඇහැටුවැව ප්‍රා. ලේකම් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.ආර්. වැලිපිටිය, ඇහැටුවැව සංවර්ධන නිලධාරිනී ඩබ්ලිව්.එම්. පේෂලා සුභාෂිණී සහ නිලූකා ජයන්ති

ජපන් ජබර ශාකයේ දඬු

 

 


මෙවැනි ප්‍රදේශයක මෙම භාණ්ඩ නිෂ්පාදනයන් සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවෙයි. එහෙත් මෙම කර්මාන්තයට අවශ්‍ය සම්පත් රජය මඟින් හෝ ලබා දෙනවා නම් අප වැනි තව තවත් පිරිස් මේ වැනි ස්වයංරැකියා කිරීමට යොමුවනවා. එය අපිට වගේම රටටත් හොඳයි. මෙම කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සම්පත් රජය විසින් ලබාදෙනවා නම් නිෂ්පාදනයන් අපනයන කිරීමට හැකි ලෙස නිමවීමට හැකියි” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.   


මෙම නිෂ්පාදනයන් කිරීම සඳහා මඟ පෙන්වීම් සිදු කළ ඇහැටුවැව ප්‍රා​ෙද්ශීය ලේකම් කාර්යාලයේ ඩබ්ලිව්.එම්. පේෂලා සුභාෂිණී  වන්නිනායක මහත්මිය ද ලංකාදීපයට මෙසේ පැවැසුවාය.   


“අපි ස්වයං රැකියා සඳහා ඉදිරිපත්වන ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා මනාව හඳුනාගෙන මෙම සියලු මඟ පෙන්වීම් හා ඉගැන්වීම් සිදු කරනවා. මේ සඳහා කිසිදු මුදලක් ඔවුන්ගෙන් අයකරන්නේ නැහැ. අවශ්‍ය කාර්යයට අනුව පුරා දින දෙකේ සිට දින පහක් දක්වා අපි මෙම පුහුණුවීම් සිදු කරනවා. තවත් අපගේ සේවාව අවශ්‍ය නම් ඊට වඩා දින ගණනක් වුවත් අපි ඔවුන් වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරනවා.   


ඇත්තෙන්ම මෙම ව්‍යවසායකයින් අපේ රටට අපේ රටේ ආර්ථිකයට සම්පතක්. අපගේ මඟ පෙන්වීම් යටතේ නිලූකා ජයන්ති මහත්මිය සාර්ථක ගමනක් ආරම්භ කර තිබීම අපටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරී මණ්ඩලයට මහත් සතුටට කරුණක්. ඉදිරියේදී මෙවැනි වැඩසටහන් කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටවීමට ඇප කැපවී කටයුතු කිරීමට අපි සුදානම්” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.   


අඳුරෙන් අඳුරට නොගොස් අඳුරෙන් ආලෝකය සොයා යන මෙවැනි මිනිසුන්ගේ ධෛර්යය රටේ ලොකු පොඩි සැමගේම අවධානයට යොමු විය යුතු අතර අලුතින් සිතන නිර්මාණශීලී ජාතියක් බිහි කිරීමෙහිලා වෙහෙසෙන සැවොම මෙම මිනිසුන් වෙනුවෙන් අවධානය යොමු කළ යුතුය.   

 

 


මනෝජ් හර්ෂික මධුෂාන්