චණ්ඩින්ගෙත් චණ්ඩියා උමා


 

තිම්පු සාකච්ඡා පැවැත්වූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සොහොයුරැ හෙක්ටර් ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. සියලු මිලිටරි සංවිධානවල දේශපාලන අංශ පමණක් සහභාගි විය. කොටි සංවිධානය වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් පෙරමුණය.   


සාකච්ඡා වටයේ එක් අවස්ථාවකදී, රජීව් ගාන්ධිගේ ඥාතියෙකු වූ අරුන් නේරු ගරිල්ලා නායකයන් අමතා මෙසේ කීය.   


‘‘ඉන්දියාව කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ මේ ලේ ගංගාව කවදද නතර වෙන්නේ කියලයි. ඔය වැඩේ නිසා අපට ඉන්දියාවත් ප‍්‍රවේශමෙන් අවදානමට ලක් කරන්න වෙලා.’’   


එහෙත් උමා ඇතුළු සියලු දෙනාගේ ඒකමතික අදහස වූයේ ‘‘ශ‍්‍රී ලංකාවේ පාලකයෝ ඒකමතිකව කටයුතු කර කර ඉන්න නිසා ඔය තත්ත්වය වෙනස් වන එකක් නෑ.’’ ලෙසටය.   


සමුළුව හමුවේ ඉදිරිපත් වුණු බොහෝ කතාවල තේරුම ප‍්‍රභාකරන්ට නොවැටහුණු නිසා, ඔහු ඒවා දෙමළෙන් වටහා ගැනීමට හැමවිටම පද්මනාභාගේ රියට ගොඩවිය.   


ප‍්‍රභාකරන් 1986 වකවානුව දක්වාම ඉංග‍්‍රීසි භාෂාව ගැන වැඩි තැකීමකින් සිටිය කෙනෙකු නොවේ. ඔහු නොදන්නා යමක් ඇතොත් අසා ගත්තේ ඇන්ටන් බාලසිංහම්ගේ බිරිය වූ ඇඩිලේ ගෙනි.   


දෙවැනි වටයේ සාකච්ඡා ආරම්භ වූ සැනින්ම වාගේ යාපනයේ යළි කලබල ඇති වී තිබෙන බව සැල විය. හමුදාව ද පොලීසිය ද යාපනය නගරයේ කඩ - සාප්පු - ගෙවල් ගිනිතබන බවට ද පැමිණිලි විය.   


එහෙයින් උමා මහේෂ්වරන් අනුව යමින් අනෙකුත් පක්ෂ තුනම සාකච්ඡුාවට සහභාගි වූ සාමාජිකයින් ගණන අඩකින් අඩු කළේය. ප‍්‍රභාකරන් තම කණ්ඩායම සහමුලින්ම ඉවත්කර ගත්තේය. ‘‘මේක තමයි කෙරෙන්නේ.... අපගේ වැසියන් අරෙහෙ මැරෙද්දි, අපි මෙහේ කතා කර-කර ඉන්නවා’’ ඔහු කීය. එපමණකින් නොනැවතී ඔහු පොලිසියේ ජීප් රථ ගිනි තැබීමටත්, සොල්දාදුවන් ඝාතනය කිරීමටත් ක්ෂණික උපදෙස් දුන්නේය.   


‘‘සාකච්ඡාවලින් වැඩක් නෑ. අපි පෙරළා පහරදෙනවා...’’ ඇන්ටන් බාලසිංහම් ද කීය.   


සාකච්ඡා අඩාළවීමෙන් ඇන්ටන් බාලසිංහම් එංගලන්තයට ද අනෙක් අය ඉන්දියාවට ද පිටමං කෙරිණි.   


ඒ අවස්ථාවේ ප‍්‍රභාකරන් මෙසේ කීය: ‘‘අපිට අපේ ජීවිත කාලය තුළම ඊළම දැකගන්නට ඕනෑ. අපගේ මහන්සියේ ප‍්‍රතිඵල ඵල දරනවා දකින්න අවශ්‍යයි. එය අපගේ අතින් මේ පරම්පරාවට දෙන්නට යම් හෙයකින් නොලැබුණොත්, ඊළඟ පරම්පරාව හරහා හෝ දිනා ගන්නටත් අපට දර්ශනයක් (VISION) තියෙනවා.’’   


‘ප්ලොට්’ ඇතුළු ENLF - කණ්ඩායම් කිසියම් සංග‍්‍රහයක් සූදානම් කරනවා නම් එහි මූලිකත්වය ගන්නේ ප‍්‍රභාකරන්ය. ඔහු බීම බෝතල්වල මූඩිය ගලවා ඇත්නම් කිසිවක් නොගනී. පළමුව ඔහු අතින්ම මූඩිය ගලවා (EROS) බාලකුමාර්ට දෙයි. එය පානය කළ පසු පමණක් දෙවැනි බෝතලයේ මූඩිය ගලවා ඔහුත් පානය කරයි. ‘‘තේ බොනවා නම් මමම හදා ගන්නට ඕනෑ. නැතිනම් නෑ.’’   
1985 මැයි 14 වැනිදා සිදුවුණු අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අසල ඛේදවාචකයට ELNF ඇතුළු සියලු දෙනාම දායක වී සිටියත්, කිසිවකු වගකීම භාරගත්තේ නැත. එදා තුවක්කුකරුවන් පැමිණියේ විවෘත බසයකිනි. රථය සෝදිසි මෙහෙයුමකට ලක්වීමෙන් ත‍්‍රස්තවාදීන් ඉවක්-බවක් නැතිව වෙඩිතබා සාමාන්‍ය මහජනතාව 146 දෙනෙකු මරුමුවට පත් කළහ.   


ඉන්දියාවේ අදෘශ්‍යමාන උසිගැන්වීම් යටතේ හා තමන්ගේම කාලීන ස්වෙච්ඡා මෙහෙයුම් හරහා ද අතුරු සංවිධාන දිවයින තුළ මාරාන්තික කඩාකප්පල් ක‍්‍රියා කළත්, ‘රෝ’ සංවිධානය (මධ්‍යම ඉන්දියාවටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක්) දුරස්ථ පාලන ක‍්‍රියාත්මක කළහ. එසේත් ඒ හැම අවස්ථාවකම තමන්ගේ පිරිසිදු බව, නිර්දෝෂීභාවය හා ත‍්‍රස්තවාදයට ඇති විරුද්ධත්වය සනාථ කිරීමේ ප‍්‍රතිරූපයට හානිකර නොගන්නට ද වග බලා ගත්තේය.   


ඉන් එක් අවස්ථාවක් වන්නේ ලංකාවට ගුවනින් අවි ප‍්‍රවාහනය සම්බන්ධවයි. හමුදාවට එසේ අවි ආයුධ ප‍්‍රවාහනය සම්බන්ධව ජාත්‍යන්තර සම්මුති හා රෙගුලාසි ක‍්‍රමයක් තිබුණත්, විවිධ කාර්මික හේතූන් හරහා ඉන්දියාවේ ගොඩබැස පිටත්වන කොළඹ-සයරේ (ZAIRE) ගුවන් සේවා සම්බන්ධව ඉන්දියාව ප‍්‍රතිවිරෝධතා දැක්වූයේ නැත.   


එහෙත් තමිල්නාඩුවේ සිට යාපනය ත‍්‍රස්තවාදී අතුරු සංවිධානවලට ගිනි අවි රැගත් බෝට්ටු පිටවෙන විට ඒවා ඉන්දීය රජය විසින්ම ප‍්‍රසිද්ධියේම අත්අඩංගුවට ගත් අවස්ථා එ්‍මට තිබිණි.   


‘රෝ’ සංවිධානයට වරක් තම අනාගත කුළුපග විශ්වාස සගයා ලෙස භාවිතා කළ යුත්තේ උමා මහේෂ්වරන්ගේ ‘ප්ලොට්’ සංවිධානය ද නැතහොත් කොටි සංවිධානය ද යන තීරණය ගත යුතුව තිබිණි. ‘පොදු සටන වන ඊළම දිනාගැනීමට’ අනෙකුත් අතුරු සංවිධානවල පක්ෂපාතීත්වය හා ක‍්‍රියාකාරීත්වය ද මැනැවින් අවශ්‍යව තිබිණි. එම දායකත්වය වැඩිපුර බරව තිබුණේ ප‍්‍රභාකරන් වෙතය. එබැවින් උමාගේ ඉන්දියාවේ මෙහෙයුම් බලය වැඩි වුවත්, ජාත්‍යන්තර ක‍්‍රියාකාරී බලය වැඩි වුවත් ‘රෝ’ සංවිධානය විසින් ප‍්‍රභාකරන්ගේ සංවිධාන එකමුතුව වූ ENLF කණ්ඩායමට බහුතර ප‍්‍රසාදය හිමිවිනි. විශේෂයෙන් මේ කඹ ඇදිල්ලේදී EROS බාලකුමාර් විසින් ‘රෝ’ සංවිධානයේ ‘සිත් ගැනීම’ට බලපෑම් කළ නිසා උමා හා බාලකුමාර් අතර රණ්ඩු - සරුවල් ඇතිවිය. එය කෙළවර වූයේ ‘ප්ලොට්’ සංවිධානය තනිවීමෙනි.   


සන් සූ ගේ ‘යුද කලාව’ අනුව, තනි වූ - කොන් කරන ලද ප‍්‍රතිවාදියාට පහරදීම මගින් ප‍්‍රතිවාදීන්ගේ සතුරා සමග මිතුරු විය හැකිය.   
ඒ න්‍යාය අනුව යමින් ‘ප්ලොට්’ සංවිධානයේ ස්වාධීන මෙහෙයුම්වලට ‘රෝ’ සංවිධානය ඉන්දියාවේදී බාධා කරන්නට පටන් ගත්තේය. ‘නොදන්නා ප‍්‍රභවයකින් (ORIGIN) ලංකාවට ළඟාවීමට ඉන්දියාව හරහා පැමිණි මධ්‍යම ප‍්‍රමාණයේ නැවක් 1984 අපේ‍්‍රල් 02 වැනිදා ඉන්දීය රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. එහි තිබුණු ස්ටෙන්-තුවක්කු 300, රයිෆල් 1400, ජපානයේ නිෂ්පාදිත ගුවන්විදුලි සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර තොගයක් වරායේදී ගොඩබානු ලැබිණි. සියල්ල ළඟාවීමට තිබුණේ ලංකාවේ ‘ප්ලොට්’ සංවිධානයට ය.   
බඩු තොගය නිදහස් කරගැනීමට ගත් සියලු උත්සාහ නිෂ්ඵල වූයෙන් උමා මහේෂ්වරන්, රජීව් ගාන්ධිට ද තම අවශ්‍යතාවය සැළකර සිටියේය. ලැබුණු පිළිතුර ‘‘ඔවුන්ට ඒක අමතක කරල දාන්න’’කීමයි. (අගමැතිවරයාට පණිවිඩය ගෙන ගියේ ද කොංග‍්‍රස් පක්ෂයේම නායකයෙකි)   


උමා මහේෂ්වරන්ව ‘රෝ’ සංවිධානය විසින් පිටුවහල් කර ඇති බව ඔප්පු වී ඇති බැවින් ප‍්‍රභාකරන් ඇතුළු ඊළාම් හිතවාදී ඔහුගේ කල්ලිය එකතුව, බාලකුමාර් හරහා ‘‘සම්මුතියක්’’ සකස් කර ගති. ඊට ‘ටෙලෝ’ සංවිධානයේ ශ‍්‍රී සභාරත්නම්, EPRLF හි පද්මනාභා, EROS හි බාලකුමාර්, සහතික වී සිටි නිසා, ඉන්පසු සිදුවුණු බොහෝ ක‍්‍රියාකාරකම්වලට ඉන්දීය පොලිස් ඇස නොගැටිනි.   


මේ සංවර්ධනයේ ක්ෂණික ප‍්‍රතිඵල ගෙන දෙමින් ගරිල්ලා සෙබළු 200ක සහභාගීත්වයෙන් යාපනය පොලීසියට පහරදීමට ප‍්‍රභාකරන්ට හැකි විය. ආරක්ෂක සේවා නිලධාරීන් පමණක් නොව සිවිල් වැසියන් දහස් ගණනකට මාරාන්තික තත්ත්වයක් උදාවිය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ද ඉන්දියාවට චෝදනා කළේය. ‘‘මෙතරම් නවීන යුද උපකරණ මේ කලාපයේ කවදාවත් තිබුණේ නෑ. අනිවාර්යයෙන්ම ත‍්‍රස්තවාදීන්ට අනියම් අන්දමින් ඉන්දියාව උදව් කර ඇති බව පේනවා’’ දෙරටේ නායකයින් වාග්-ප‍්‍රහාර හුවමාරු කරගන්නා අතර ප‍්‍රභාකරන් සිය ඉන්දීය ‘දමනය’ ගැන සතුටුව ජය පැන් බීවේය.   


මෙවැනි සටන් මෙහෙයවීමේලා අති දක්ෂයෙකු වූ චාල්ස් ලූකස් ඇන්තනී නොහොත් ‘සීලන්’ (SEELAN), ප‍්‍රභාකරන්ගේ අතිමිත‍්‍ර පණ්ඩිතාර් තරමටම නායකත්වයේ ප‍්‍රසාදයට ලක්විය. ආර්. ‍ප්‍රේමදාස ‘උවමනා-එපාකම්’ ‘සිරිසේන කුරේ’ දැන සිටියේ යම් සේද, ප‍්‍රභාකරන්ගේ වුවමනාකම් එලෙසම දැන සිටියේ එදා සීලන්ය.   


උමා මහේෂ්වරන්ගේ අංශයෙන් එලෙසම අගනා මිනි කැටයක් වූ ‘සුන්දරම්’ ක්ෂේත‍්‍රයෙන් ඉවත් කළහොත් ප‍්‍රභාකරන් තව සතුටු කළ හැකි යැයි සීලන්ට අදහසක් මතු විය. එම වසරේ ජනවාරි 2 දා සීලන් යාපනයේ පිහිටි මුද්‍රණාලයට ගොඩවිය. එහි ජනේලයෙන් තම ගොදුර සිටින මණ්ඩිය ගැන හෝඩුවාවක් ලබාගත්තේය. මෑතකදී ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ හැටියටම, සීලන් විසින්ම විවෘත කළ ජනෙල් කවුළුව හරහා යවන ලද උණ්ඩයකින් සුන්දරම්ව අමු-අමුවේම ඝාතනය කරන ලදී.   


මරණය සැලවීමත් සමග උමා මහේෂ්වරන් පමණක් නොව, ‘‘දෙමළු - දෙමළුන්වම මරා ගැනීම’’ ගැන යාපනය වැසියන් ද දෝමනස්සයට පත්විය.   


‘‘සුන්දරම් අපේ ආයුධ හොරකම් කළා. ඒකයි ඔහුට ඒ දඬුවම ලැබුණේ’’ පසුව සීලන් යාපනය සරසවි සිසුන්ට කියා තිබිණි. 
පත්මනාභා ද සුන්දරම්ගේ ඝාතනය ගැන ඉන්දියාවේ සිටම හෙළා දැකීමේ නිවේදනයක් නිකුත් කර තිබුණෙන්, ඔහු යාපනයට ආ දිනෙක ප‍්‍රභාකරන් ඔහුගේ නිවසේදීම පද්මනාභා හමුවී ‘‘උඹ උඹේ වැඩක් බලාගනින්. මගේ වැඩවලට ඇඟිලි ගහන්නේ බලාගෙනයි’’ යැයි තරවටු කළේය.   


මෙසේ ඉන්දියාවේ ඇස වසා ලංකාවට ආයුධ ගෙනා ප‍්‍රභාකරන්, උමා මහේෂ්වරන් නැති සටන්බිම තුළ යළි-යළිත් දක්ෂයා සහ ප‍්‍රවීණයා විය.   


ඊළඟට ඔහුගේ ඉලක්කය වූයේ තම සංසාරගත ජන්ම සතුරා වූ උමා මහේෂ්වරන්ව තමන් විසින්ම අල්ලා බිම දැමීමය.   
ඒ වනවිට (සුපුරුදු පරිදි) උමා සිටියේ මදුරාසියේය. තකහනියක් ඒ සඳහාම මදුරාසියට ගිය ප‍්‍රභාකරන් නැකත උදාවනතුරු තවත් හිතවතෙකු වූ ‘රාඝවන්’ (RAGAVAN) සමග හොලිවුඩ් චිත‍්‍රපටයක් නැරඹීමට සිනමා ශාලාවකට ගියේය. ස්ථානය පොන්ඩි බසාර් ය. 


ඉතිරිය ලබන සතියට..... 

 

රවි ප්‍රසාද් හේරත්