ගිනියම් වී පුපුරා වැටෙන ‘‘ඌවේ හදවත’’


ආරක්ෂක පියරවක් ලෙස මාර්ගය වසාදමා ඇති අයුරු

 

 

ශ්‍රී ලංකාවේ සොබාවික පරිසර පද්ධතියේ ඉහළම ආකර්ෂණයක් දිනූ ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කට අයත්වෙයි. 

 
කාලයක් තිස්සේ සිදුකරන මිනිසුන්ගේ නොපනත් ක්‍රියාකාරකම් නිසා මේ දුලබ පරිසර පද්ධතියට සිදුවන මහා විනාශය දිනෙන් දින උග්‍ර අතට හැරෙයි.   
රාවණාඇල්ල හෙවත් බඹරගම ඇල්ල නමින් ලෝ ප්‍රකට දියඇල්ල හා අක්කර 4774 ක්පුරා පැතිරී ඇති රාවණාඇල්ල අභය භූමිය දිස්ත්‍රික් 5ක දසුන් නරඹිය හැකි අඩි දහස් ගණනක් උස පර්වත මුදුන් ද මෙම වපසරියේ පිහිටියේය.   


හොඳම ඔක්සිජන් වායුව ඇති ලොවේ ස්ථාන කීපය අතර ඇල්ලට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.   


සර්පයෙක් මෙන් දඟර මවමින් ඇල්ල - වැල්ලවාය මහා මාර්ගය දිවයන්නේද අඩිදහස් ගණනක් උසක මහා පර්වතයේ පාමුල සිප ගනිමිනි.   
සෑම වැසිකාලයකදීම මේ පර්වතයෙන් මහා මාර්ගයට ගල්කඩාවැටීම සුලබ සිද්ධියක් වුවද මෙතෙක් කිසිම පුද්ගලයෙකුට හානියක් නොවීය.   


එහෙත් ඉකුත් සෙනසුරාදා අඩි 150ක උසින් ඇරඹුණ නායායමක් සමග දැවැන්ත ගල් කීපයක් මාර්ගයට කඩාවැටුණේ මුළු ප්‍රදේශය මහා ගිගුරුමකින් භීෂණයට පත්කරමිනි.   
දින ගණනාවක් පැවති වැස්ස එදින තුරල්වී තිබුණි. එහෙත් මාර්ගයට ගල් කීපයක් කඩාවැටී තිබූනිසා. එම තත්ත්වය පරීක්ෂා කිරීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ. ප්‍රියංගිකා මහත්මිය, පොලිසියේ හා යුදහමුදාවේ නිලධාරීන් මෙන්ම ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකයේ නිලධාරීන් සමග එම ස්ථානයට පැමිණ තිබිණ.   

 

නාය යාම ඩ්‍රෝන කැමරා ඇසින්

 


අති බිහිසුණු මේ මහා ගල්පෙරළීම සිදුවූයේ මේ අවස්ථාවේය.   


දිස්ත්‍රික් ලේකම්වරිය බියේ ගැහෙමින් එම අත්දැකීම ඉරිදා ලංකාදීපය හමුවේ ආවර්ජනය කළේ මෙසේය.   
‘‘ඒක තමයි මගේ ජීවිතයේ ලැබූ භයානකම අත්දැකීම, මගේ දෑස් පනාපිටම මේ දැවැන්න ගල්පෙරළීම සිදුවුණා.   


සිතා ගන්නවත් වේලාවක් ඉතිරි නොකර මහා හඬ තලමින් මහා මාර්ගයට වැටුණ මහා ගල් පහළට ඇදීගියා.   
වාසනාවට මේ වෙලාවේ වාහනවලින් හෝ පා ගමනින් කිසිවෙක් මේ ස්ථානයෙන් ගමන්කළේ නැහැ.   


එහෙම ගියානම් අත්වෙන ඉරණම ගැන හිතාගන්නවත් බැහැ.   
අපි මේ ස්ථානයේ සෝදිසියේ සිටි නිසා ජනතාවගේ ගමන් ඒ මොහොතේ වැළකුණා කියල මට හිතෙනවා.   


මිනිස් ජීවිත ආරක්ෂාව පතා මාර්ගය තාවකාලිකව වසා දමන්නට මම ඒ අවස්ථාවේම උපදෙස් දුන්නා’’ යැයිද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.   
තවත් දැවැන්ත ගල් කීපයක් කඩාවැටීමට ආසන්නව තිබෙනවා. මේ තත්ත්වය නිසා ගල් ඉවත්කිරීම සැලසුම් සහගතව හා ආරක්ෂාකාරී ලෙස කළ යුතුයි.   
එනිසා තවත් දින කීපයක් මාර්ගය වසා දැමීමට සිදුවුණා.   


මාර්ගය අසල රැඳුණ ගල් හා පස් ඉවත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ ටී.කේ.එම්. ගලප්පත්ති මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ සේවකයන් විසින් සිදු කිරීමට පියවර ගන්නා ලදී.   
එහෙත් අඩි 100 කට ඉහළ සිට කඩාවැටීමට මානබලමින් සිටින මහා ගල් ඉවත්කිරීම දැඩි අභියෝගයක් විය.   
මෙය විශේෂඥ දැනුමක් ඇති අංශයක් විසින් කළයුතු බව ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ නිපුන වීරසේකර මහතා පැවසුවේ එම ස්ථාන පරීක්ෂාවකින් පසුය.   


මෙම ගල් කඩාවැටීම්වලට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් අදියර දෙකකින් විසඳුම් ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළේය.   
මෙම පර්වතයේ රක්ෂිත බිමට ගිනි තැබීම සෑම නියං කාලයකම සිදුවෙයි.   


ඉකුත් කාලයේද ඇල්ල රොක් නැමැති ආකර්ෂණීය පරිසරයේ තැබූ ගිනි නිසා මහා විනාශයක් සිදුවිය.   


ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ අවධානය මේ ගිනිතැබීම්වලට ලක්වූ අතර මෙම විනාශය සිදුකරන අයට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන ලෙසට ඔහු පොලිසියට උපදෙස් දුන්නේය. එපමණක් නොව ගින්නෙන් විනාශ වූ ඇල්ල රොක් නමැති කොටසේ මහා රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.   


මීට අමතරව රාවණාඇල්ලට ඉහළින් තවත් ස්ථාන කීපයක ද පර්වතය මුදුනේ තවත් ගල්කීපයක් පුපුරා කඩාවැටීමට බලාසිටින්නේය.   
එම ගල් පුපුරා ඇති අයුරුද දක්නට ලැබේ.   


මෙම වනපෙත පුරා කුරුලු විශේෂ 220ක් ජීවත්වෙති. ඒ අතරින් කුරුලු විශේෂ 13 ක් මෙම අභය භූමියටම ආවේණික වූ පක්ෂීන් බව වනජීවී නිලධාරීහු පවසති.   


ඊට අමතරව වැලිමුවා, හාවා, ඌරා, ඉත්තෑවා, කටුස්සන්, රිළවා, වලිකුකුළා, වැනි වන සත්තු ගණනාවක් ජීවත්වෙති.   
පසුගිය කාලය පුරා මේ ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් ගිනිතබා විනාශ කර තිබේ.   


මිනිස් ක්‍රියාකාරකම් නිසා වන සතුන්ට එල්ලවූ තර්ජනයට අමතරව දැන් මනුසතුන්ට ද එල්ලවී ඇති ජීවිත ආරක්ෂා කරගැනීමේ අභියෝගය අතිමහත්ය.   


මෙම මාර්ගයට ගල් කඩාවැටීමේ අවදානම අවම කිරීම සඳහා පුළුල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව භූවිද්‍යාඥයෝ අවධාරණය කරති.   


ලෝකයේ විවිධ රටවල එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.   


එහෙත් එම ක්‍රමවේදයන් අනුව සිදුකරන ඉදිකිරීම් සඳහා විශාල මුදලක් වැයවේ.   
ඒ සදහා රජය වහාම පියවර ගත යුතුය.  


ඊට හේතු 2ක් ඇත. එකක් දිවයිනේ වැඩිම විදේශීය සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රදේශ අතර ඇල්ල ප්‍රමුඛ ස්ථානයේ පසුවීමයි දෙවැනි කාරණය වන්නේ ඇල්ල සිට වැල්ලවාය දක්වා ගමන් කිරීමට ඇති ළඟම සහ පහසුම මාර්ගය මෙම මාර්ගය වීමයි මෙම මාර්ගය විනාශ වුවහොත් ඇතිවියහැකි ගමනාගමන දුෂ්කරතා මෙතෙකැයි පැවසිය නොහැකිය.   


කෙසේ නමුත් සංචාරක හෝටල් ආපනශාලා හා නවාතැන් ස්ථාන ඇති ඇල්ල නගරයට මෙහි කිසිදු බලපෑමක් සිදුව නැත.   


වැල්ලවායට පිවිසීම සඳහා විකල්ප මාර්ග වන බණ්ඩාරවෙල - අඹදණ්ගඩේම මාර්ගය මෙන්ම බණ්ඩාරවෙල - පූනාගල කොස්ලන්ද මාර්ගයද භාවිතා කළ හැක.   


දියලුම දියඇල්ල නැරඹීම සඳහා වැල්ලවාය ඔස්සේ වාහනයෙන්ම ගමන් කළ හැකිය.   


මාර්ගය යළි ස්ථාවර ලෙස විවෘත කිරීම සඳහා තවත් දින කීපයක් ගතවිය හැකිය.   


යුද හමුදාව හා පොලිසිය නායයෑම් හා ගල්කඩාවැටීම් සිදුවන ප්‍රදේශයේ දවසේ පැය 24 පුරාම රඳවා තිබේ.  

 

 


බදුල්ලේ පාලිත ආරියවංශ