ගාලු මුවදොරින් එහා කොළොම් පුරේ අලුත් වෙරළ


අලුතෙන් ඉදිවන වරාය නගරයේ නව වෙරළ තීරය හැඩ කරන හැටි

මේ නව වෙරළ තීරයයි

ඉදිකිරීමට නියමිත වරාය නගරය

 

‘‘බීච්’’ එක, නැතහොත් වෙරළ, යනු ඕනෑම කෙනෙකු යාමට රිසි තැනෙකි. සුදු- මුදු වැල්ලේ ඇවිද යමින් සෙල්ලම් කරන්න විතරක් නොවෙයි, නිදහසේ ගත කරන්නට එතැන තරම් අවකාශය ඇති තැනක් තවත් නොමැත. 


වැලි මාළිගා තනන්නට, කෝම් පිට්ටු හදන්නට, රැල්ල පා ගන්නට, ළමුනට නම් වෙරළ යනු පාරාදීසයකි. වැඩිහිටියනට කල්පනාවේ නිමග්නව සිහින මන්දිර තනන්නට, ඒ වගේම ව්‍යායාම් කරන්නට සහ විනෝද වන්නට වෙරළ යනු සොඳුරු තෝතැන්නකි. 
ලෝකයේ වෙරළ තීරයක් ඇති රටක, මිනිසුන් වැඩිපුරම යාමට රිසි තැන වන්නේ රැල්ල එන වෙරළටය. අප රටේ කොළඹ වාණිජ නගරයක් වූවද, කොළඹ නගරයට වෙරළක් හෙවත් ‘‘බීච්’’ එකක් නැත. ඇයි නැත්තේ? ගෝල්ෆේස් පිට්ටනිය තියෙන්නෙ? කියා ඔබට හැඟේවි. ගාලු මුවදොර යනු පිට්ටනියක් මිසක වෙරළ තීරයක් නම් නොවේ. 


මිනිසුන් කොළඹ ඇවිත්, රැල්ල පා ගන්නේ මේ ගාලු මුවදොර පිටිය පල්ලෙහා ඇති පුංචි ඉඩකඩක සිටය. මේ ගෝල්ෆේස් එකට එහායින් සහ කොළඹ වරායට මෙහායින්, ඉදිකෙරෙන පෝර්ට් සිටි හෙවත් වරාය නගරය, නිසා කොළඹට පැමිණෙන බොහෝ දෙනා හට ලස්සන බීච් එකක, නැත්නම් වෙරළක පහස ලැබීමට නුදුරේදීම අවස්ථාව ලැබේවි. මේ කියන්නට හදන්නේ, වරාය නගරයේ නිමැවෙන ඒ අපූරු වෙරළ උද්‍යානය සහ මේ වන විට වරාය නගරයේ තැනීම් සිදුකර ඇති ආකාරය ගැනය. 
ගල්කිස්ස මුහුදු වෙරළට ඇයි ඔබ මෙච්චරම ආස? ඒකට හේතුව කොළඹට නුදුරුව ඇති එකම වෙරළ කලාපය හෙවත් බීච් එක එය වන නිසාය. 
ඊළඟට කොළඹ උතුරින් ඇත්තේ මෝදර කාකදුපත වෙරළ කලාපය වේ. හැබැයි එම වෙරළ කලාපයකට ගිය පසු රළ පෑගීමේ දී, සහ මුහුදේ නෑමේ දී ඉතා ප්‍රවේශම් විය යුතුය. පොඩ්ඩ- එහෙට මෙහෙට වුණොත්, රළට අසුවී ගසා ගෙන යා හැකිය. එම වෙරළ කලාප ස්වභාවිකව නිර්මාණය වී ඇත්තේ මහ මුහුදට සමීපවය. 


එහෙත් වරාය නගරයේ නිම කරවමින් පවතින මෙම කොළඹ අලුත් ‘‘බීච්’’ එක අයත් වන්නේ වරාය නගරය සඳහා විශාලනය වූ භූමියේය. එනම් පෝර්ට් සිටි වෙනුවෙන් මුහුද ගොඩ කරන ලද පෙදෙසේදීය. ඒ අනුව එය කොළඹ නගරයේම කොටසකි. 
‘‘මුළු වරාය නගරය ගතහොත්, එයින් හෙක්ටයාර සියයකට ආසන්න භූමි ප්‍රමාණයක් පමණක් මහජන උද්‍යාන, මංමාවත්, සහ වෙරළකලාප වෙනුවෙන් වෙන් කර තිබෙනවා. වරාය නගරයේ වෙරළ උද්‍යාන කලාපය (බීච් එක) කිලෝමීටර දෙකක් පමණ විශාලයි. ගාලු මුවදොර සිට මිනිසුන්ට ඇවිදිමින් මෙතැනට එන්නට පුළුවනි. ඇවිදයාමට හැකි පරිදි මං තීරු මේ දිනවල ඉදිවෙමින් පවතිනවා. ඒ මග ඔස්සේ වරාය නගරයේ මේ වෙරළ තීරය වෙත ආ හැකියි.’’ 
කොළඹ වරාය නගර සමාගම් මහජන සබඳතා ප්‍රධානී, කස්සප සෙනරත් මහතා මෙම වරාය නගරයේ බීච් එක ගැන කෙටියෙන් සඳහන් කළේ එලෙසිනි. ගෝල්ෆේස් එකට එන මිනිසුනට එහි තැනින්-තැන ඇති කඩචෝරු එහෙම තිබෙන පුංචි- පුංචි කඩ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ‘‘නානාගේ’’ කඩචෝරු කඩේ එහෙම හරි ප්‍රසිද්ධනෙ. එවැනි කඩ සඳහා මෙන්ම පොඩි-පොඩි ආපනශාලා සඳහා මෙහි ස්ථාන වෙන්කර ඇත. 


ජංගම වෙළෙඳසල් සඳහා ද ස්ථාන හිමිය. මහජන ආකර්ෂණය ලබාගත හැකි විදියට එම බිම් තීරය සැලසුම් කර ඇතැයි සඳහන් කළ හැකිය. කොළඹ නගරයේ ඉදිවෙන මෙම අලුත් බීච් එක, සැඩ රළ-රැලි වෙතින් වෙරළ සිප ගන්නා කලාපයක් නොවේ. කිලෝමීටර් 3කට වඩා විශාල වූ දියකඩනය හෙවත් ජලබාධක ගල් බැම්ම නිසා, වෙරළ සිඹින්නේ සද්ද නොදා ඇදී එන මූදු රැලිය. දියකඩනය සහ වෙරළ තීරය අතර වූ පළල මීටර තුන්සියකට වඩා වැඩිය. 
එම නිශ්චිත මුහුදු කලාපය වෙන්කර ඇත්තේ, සැහැල්ලු බෝට්ටු ධාවනය කරවීමට, මෙන්ම ජල ආශ්‍රිතව කෙරෙන ක්‍රීඩා වෙනුවෙනි. මෙම කලාපය ගෝල්ෆේස් එක මෙන් තුන් ගුණයකින් විශාල නිසා (වෙරළ තීරය සහ ඒ අවට කලාපය) ඒ වෙනුවෙන් ඕනෑ තරම් ප්‍රමාණවත්ය. 
දිය-ගොඩ-සැම තැන විනෝදාස්වාදය වෙනුවෙන් වූ බොහෝ දේ මෙම කලාපයේ සිට ක්‍රියාත්මක කරවීමට බලධාරීන් කටයුතු යොදා තිබේ. ඒ අනුව ලෝකයේ සංචාරකයන් දහස් ගණනින් සංචාරයෙහි නිරතවන තායිලන්තයේ පතායා, ඇමරිකාවේ මියාම් හවායි සහ පැනමා බීච්වලට වඩා කොළඹ අහස යට ඉදිවන මෙම අලුත් බිච් එකට, ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන් රොද බැඳෙනු නියතය. ඉදිකිරීම් නිම වූ පසු එතරම්ම ආකර්ෂණීය බවක් මැවෙන සුන්දර කලාපයක් බව කිව හැකිය. 


මෙම මහජන උද්‍යානයේ කටයුතු කඩිනමින් නිම කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය වන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපෙදස් පරිදි ප්‍රධාන කලාප පහක් මුල් කරගෙන ඉදිකිරීම් කටයුතු සිදු වේ. 
මහජන උද්‍යානය අක්කර 35කින් සමන්විත වන අතර, ළමා උයන, විනෝද ක්‍රීඩා සඳහා වූ ස්ථානවලට අමතරව උද්‍යාන අසල ඇති ඇළ මාර්ගය ඔස්සේ, (මෙම ඇළ මාර්ගය නිර්මාණය වන්නේ පරිභෝජනය කරන ජලය පිරිසිදු කර නැවත භාවිතයෙනි) ජල ක්‍රීඩා කිරීමට අවකාශ්‍ය සළසා තිබේ. වෙසෙසින්ම ළමුනට ජල ක්‍රීඩා කිරීමට එම ඇළ මාර්ගය අපූරු නිම්නයකි. මුහුද ගොඩ කිරීමෙන් පසුව දිගු වූ කොළඹ නගරයේ මෙම අලුත් භූමි ප්‍රමාණය හෙක්ටයාර 269කින් සමන්විතය. 

වරාය නගරයේ වෙරළ උද්‍යානයේ ගස් සිටුවා අලංකාර කරමින්...

 

එය​ කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධීකරණය කර ඇති අතර, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යානය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප පහකින් භූමිය සමන්විතය. මෙම එක් එක් කලාපවල ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන්නේ, අදියර කිහිපයක් යටතේය. 
පෙර සඳහන් කළ පරිදි වෙරළ උද්‍යාන කලාපයෙහි කටයුතු මේ දිනවල කඩිනමින් නිම වෙමින් පවතී. පොල් මෙන්ම තල් ගස් ද එම උද්‍යාන කලාපය අවට රෝපණය කර තිබේ. පදිකයන්ට මෙන්ම පාපැදිකරුවනට ගමන් කළ හැකි මාර්ග සහ මංතීරු මේ දිනවල නිමවෙමින් පවතින අනෙකුත් ස්ථාන වේ. 
මෙම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 1600ක පමණ සේවක පිරිසක් සිටිය ද ලෝක වසංගත තත්ත්වය හමුවේ පසුගිය දිනවල සේවය සඳහා යොදවනු ලැබුවේ 500 පමණ සේවක පිරිසක් පමණෙකි. 
සෞඛ්‍ය මාර්ගෝපදේශ 47ක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදුවන අතර, රට සම්පූර්ණයෙන් විවර කිරීමෙන් පසුව, සියලුම සේවකයන්, නිරෝධායන ක්‍රියාවලියකින්, අනතුරුව සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. 


මෙලෙසින් සඳහන් කළ පරිදි මුහුද ගොඩකර, මං මාවත් තැනීම, පාලම් තැනීම, දියකඩනය තැනීම ආදි දේ වෙනුවෙන් පමණක් ව්‍යාපෘති සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් වැය කර තිබේ. මෙම ස්ථානවලට අමතරව තවත් සුවිශාල ආයෝජනයක් කිරීමට ව්‍යාපෘති සමාගම පසුගියදා යෝජනාවක් ගෙන ආයේය. එම ව්‍යාපෘතිය වන්නේ කුලුනු පහකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයකි. රජයෙන් ඊට ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් වන අතර, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් කෝටි 100ක් වැය කිරීමට නියමිතය. 
මෙම සුවිශාල ආයෝජනයට අනුව මෙහි පළමු අදියර, සිව් වසරකින්ද, දෙවැනි අදියර තවත් සිව් වසරකින්ද, එනම් වසර අටක් ඇතුළත දී නිම කිරීමට නියමිතය. මෙය කොතරම් නම්, සුවිශාල ව්‍යාපෘතියක් ද යන්න මෙම කාල පරාසය වෙතින් මැන ගත හැකිය. 


මතක තබා ගන්න අප මේ සඳහන් කළේ වරාය නගරයේ සමස්ත භූමියේ ඉදිකිරීමට නියමිත සියලු ස්ථාන ගැන නොවේ. ගෝල්ෆේස් හෙවත් ගාලු මුවදොර හා සම්බන්ධ වන කොළඹ අලුත් වෙරළ සහ සුවිශාල ව්‍යාපෘතියක විස්තර පමණකි. 


දැන්, මෙතැන් සිට බොහෝ දෙනා බලා සිටින්නේ කවදා අපට මෙම අලුත් වෙරළට යාමට ලැබේ වී දැයි කියා විය හැකිය. නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය නම්, පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙම වෙරළ උද්‍යානය එළැඹෙන වසරේ දී, මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකිවන බවය. එය එසේ නිම වේ නම්, කොළඹ අහස යට අලුත් වෙරළට ගොස්, අලුත් හුස්මක් ගන්නට ඔබට ලැබෙන අවස්ථාව වැඩි ඈතක නොවේ.

 

 

සටහන
සඳුන් ගමගේ