ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සොහොයුරිය පිහිට පතයි


 

දීර්ඝ කාලීන අසනීප තත්ත්වයක් මත ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඉකුත්දා අභාවප්‍රාප්ත විය. 


ඔහු සුවපත් කරගැනීම සඳහා ඔහුගේ එකම සොයුරිය වන ශිරෝනි පියංගිකා ප්‍රනාන්දු මහත්මිය සිය නිවසත් මහගෙදරත් දෙකම උගසට තබා තිබිණි. ප්‍රින්ස්ගේ රසික රසිකාවියන්, කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් ආධාර මුදල් එක් කර දී ප්‍රින්ස්ව සුවපත් කරගැනීමට උත්සාහ කළත් ඒ සියල්ලම ව්‍යර්ථ කරමින් ප්‍රින්ස් උදය ප්‍රියන්ත මියගියේ 2017 ජුනි 8 වැනි දිනයි. එයින් ඒ කතාව නිමාවට පත් වුවද ඔහුගේ එකම සොයුරියට මේ වනවිට සිදුව ඇත්තේ සියල්ල අහිමිව නිවසින් එළියට බැසීමටයි. ඇය පත්ව තිබෙන අසීරුතාව පිළිබඳව “ඉරිද‌ා ලංකාදීප” වෙත කතා කළේ මේ අයුරුනි. 


“මගේ අයියගේ ජීවිතය බේරාගන්න එයාගෙ රසික රසිකාවියන්, කලාකරුවන් වගේම මාධ්‍ය ආයතන ඒකරාශී වෙලා ලොකු ශක්තියක් ලබා දුන්නා. දිනකට අයියාගේ බෙහෙත් ප්‍රතිකාර වෙනුවෙන් වැය වුණ රුපියල් ලක්ෂ ගණන් මුදල් වෙනුවෙන් මමයි අපේ අයියයි සොයාපු දේපල විතරක් නොවේ මම හැදුව නිවසත් අයියයි මමයි ජීවත් වුණ අම්මගේ තාත්තාගෙ සොහොන් කොත් තුන තිබෙන අපේ දෙමව්පියන්ගෙන් උරුම වුණ නිවාස දෙක පවා උගසට තියල ලක්ෂ 20ක් ගත්තා. දැන් ඒකේ පොලියත් එක්ක ගෙවල් දෙක බේරගන්න ලක්ෂ 32ක් ගෙවන්න වෙලා තියනවා.

 


එයිට අමතරව තව කීපදෙනෙක්ගෙන් ලක්ෂ 28ක් පොලියට ගත්තා. රත්තරන් බඩු වාහන එහෙම උගසට තිව්ව. ඒව අත්ඇරල මම මුදලින් විතරක් ලක්ෂ 60ක් අයියාගේ අසනීපය වෙනුවෙන් ණයට ගන්න සිදුවුණා. අයියා නැති වුණාට පස්සේ මේ වන කොට මම පොලිය විතරක් ලක්ෂ තිහකට වඩා ගෙවල තියනවා. අපේ ගෙවල් දෙකම සින්න වෙන්න ළඟයි. බොහොම අමාරුවෙන් තව මාසයකට විතර කාලය ගන්න බැලුවා.


 මම හැදුව නිවස විකුණල හරි මේ ණය පියවගන්න උත්සාහ කළා. ඒත් ගැනුම්කාරයකු හමුවුණේ නෑ. ඒක විකුණගන්න හරි ලැබුණොත් මට ලොකු ශක්තියක් මේ වෙලාවේ. එහෙම නැති වුණොත් අපිට පාරට බහින්නම වෙනවා. මට මේ ගැන කාටවත්ම කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මගේ අයියා වෙනුවෙන් හැමෝම උදව් කළ නිසා. ඒත් මගේ අසරණකම නිසා මේ කතාව මාධ්‍යයට කියන්න වුණේ මට මේ වෙලාවේ කරගන්න කිසිම මාර්ගයක් නැති නිසා” ඇය පැවසුවාය. 


පසුගිය වසරේ ගායන ශිල්පී ප්‍රින්ස්ගේ මියයාමෙන් පසුව ඇයට මේ සියලුම ජීවන බර පැටවිණි. එක පොලියක් ගෙවීමට ඇයට තව මුදල් ගැනීමට සිදුවිය. එහි කෙළවරක් නොවීය. සොයුරාගේ නම පාවිච්චි කර මුදල් ඉල්ලනවායැයි සමාජ මතයක් ඇති වේයැයි සිය සොයුරා වෙනුවෙන් තිබූ ගරුත්වය නිසාම ඇය ඒ පිළිබඳව කිසිවක් මාධ්‍යයට කීමට ගියේ නැත. දිනපතාම ඇයට අවදිවීමට සිදුවන්නේ ඇයගේ දුරකථනයට පොලී කාරයන්ගෙන් එන බැණුම් හඬ ඇසීමෙනි.


වෘත්තියෙන් සංගීත ගුරුවරියක වන ඇය එම ක්‍ෂේත්‍රයෙන් ඉවත් වූවේ සිය සොයුරා ජීවතුන් අතර සිටි යුගයේදීමයි. ගායන හැකියාව ද උපතින් උරුම කරගත් ඇය සොයුරාගේ මරණයෙන් පසුව ප්‍රසංග වේදිකාවට පවා පිවිසුණේ පොලියට ලබා ගත් ණය මුදල්වලට මාසිකව ගෙවීමට තිබෙන රුපියල් ලක්ෂ තුනකට ආසන්න පොලී මුදල් පියවා ගැනීමට බව ඇය පැවැසුවේ ඒ යුගයේ ලබා ගත් ණය මුදල්වල ලියවිලි ද අප වෙත ඉදිරිපත් කරමිනි.  


රෝයල් විදුහලේ අධ්‍යාපනය හැදෑරූ සිය දරුවා මේ වසරේ උසස් පෙළ විභාගයට සූදානම්ව සිටියත් සිය පුතු ද පාසල් ගමන නතර කර සිටිනුයේ අධ්‍යාපන වියදම් පියවා ගැනීමට නොහැකි නිසාවෙනි. 


“මම දැන් ජීවිතය ගැන මානුෂික පීඩනයක ඉන්නේ. මම ප්‍රසංග වේදිකාවට ගිහින් ලැබෙන පොඩි මුදලින් තමයි පොලී මුදල් ගෙවන්නේ. ජුනි 8 වැනිදාට අයියගේ අවුරුද්දේ දාන පිංකම යෙදෙනවා. අපිට නිවසක් නැතුව පාරට බහින්න වෙනවා. පුළුවන් හැමෝගෙන්ම මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ අපිට උදව් කරන්න කියල.  


ගෙවල් දෙකම සින්න වෙන්න තව මාසයක්වත් නැහැ. ඒ අතර පොලියට ගත්තු අය පොලී මුදල් ඉල්ලල උදේ හවස කෝල් කරනවා, ගෙදරට එනවා. මම හැදුව ගේ හරි කවුරුන් හෝ මිලදී ගත්තොත් මගේ ප්‍රශ්නය විසඳෙනවා.” 

 

 

 

 

 

පින්තුර හා සටහන - 
චාමින්ද දිසානායක