ගම්පහ අවසන් වොලිබෝල් තරුවත් දිවි ගමන නිම කරයි


ශ්‍රී ලංකාවේ ප්‍රථම වොලිබෝල් කණ්ඩායම (1951)

 

 

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැක්කේ පනහේ දශකයයි. එකල රටේ සෑම ගමක් පාසාම වොලිබෝල් ක්‍රීඩා සමාජ පිහිටීමත්, ශ්‍ර්‍රී ලංකා ජාතික පිල ජාත්‍යන්තර වශයෙන් තරග ජයග්‍රහණය අත්පත් කර ගැනීමත්, ඊට හේතු වශයෙන් දැක්විය හැකිය. එකල ලංකාවේ පළමු ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද්දේ ගම්පහ ‘සෙන්ට්‍රල්’ පිලේ ක්‍රීඩකයින්ය. ප්‍රථම ජාතික වොලිබෝල් පිලේ සිටි අවසන් ක්‍රීඩකයාද පසුගියදා අවසන් ගමන් ගියේය. ඒ දොම්පේ ජේ.පී. සූරියප්පෙරුම (96) මහතායි.   


ලංකාවේ ප්‍රථම ජාතික වොලිබෝල් පිලේ නායකයා වූයේ ටී.ඩී.එල්. චාල්ස්ය. අබේරත්න, විල්සන් යන ක්‍රීඩකයින්ට අමතරව කණ්ඩායම් ප්‍රහාරකයා වූයේ දොම්පේ සූරියප්පෙරුමය. චාල්ස් විසින් ඔසවා දෙන පන්දුවට විදුලි වේගයෙන් ඩෑෂ් පහර එල්ල කළේ සූරියප්පෙරුමය.   


1951 සිට 1955 දක්වා ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රීඩා සමාජ සියගණනක් අතුරින් අඛණ්ඩව සමස්ත ලංකා වොලිබෝල් ශූරතාව දිනාගනු ලැබුවේ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයයි. මේ නිසා ලංකාවේ ජාතික පිල ​නියෝජනය කිරීමට සෙන්ට්‍රල් පිලේ සියලුම ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණි. පුරා අඛණ්ඩව වසර පහක් සමස්ත ලංකා වොලිබෝල් ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගම්පහ වෙළෙඳ ව්‍යාපාරිකයින් විසින් සෙන්ට්‍රල් ක්‍රීඩකයින්ව අගය කිරීම සඳහා ඔවුන්ගේ රුව රැගත් වොලිබෝල් ක්‍රීඩකයින් හයදෙනෙකු දැක්වෙන පිළිරුවක් සාදා විවෘත කරන ලදී. ගම්පහ වෙළෙඳ ව්‍යාපාරික ජේ.ජී. ජිනදාස මහතා මෙහි මූලිකත්වය ගත්තේය. ක්‍රීඩකයෙකු ජීවත්ව සිටියදී ඔහු හෝ ඔවුන් වෙනුවෙන් තනන ලද පිළිරුවක් ලෝකයේ පළමු වරට විවෘත කරන ලද්දේ බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩක පේලේ වෙනුවෙන් වන අතර ඒ හැර පිළිරුවක් ඉදිකර ඇත්තේ ටී.ඩී.එල්. චාල්ස් ප්‍රමුඛ ‘ගම්පහ සෙන්ට්‍රල්’ ක්‍රීඩකයින් වෙනුවෙනි.   


1955 දී එම්.ජේ. බාවාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ජාතික වොලිබෝල් පිල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහි එක් තරගයකදී සූරියප්පෙරුම එල්ල කළ විදුලි සැර වැනි ඩෑෂ් පහරක් බාවාගේ හිසේ වැදී මහරෝහල් ගතකරන්නටද සිදුවිය. පසුදින පුවත්පත් වාර්තා කර තිබුණේ ‘සූරියප්පෙරුම බාවා බාවයි’ ලෙසිනි.   


1922 වසරේදී උපන් සූරියප්පෙරුම මහතා අඛණ්ඩව වසර හතළිහක් ගුරු සේවයේ නිරතවිය. විදුහල්පතිවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කළ ඔහු අවසන් වරට ඉඹුල්ගොඩ රාජසිංහ විදුහලේ විදුහල්පතිවරයාව සිටියදී විශ්‍රාම ගත්තේය.   


සූරියප්පෙරුම මහතා ක්‍රීඩා කරන තරග බලන්නට එදා ක්‍රීඩාලෝලීහු මහත් උනන්දුවක් දැක්වූහ. මරදාන දුම්රියපොළත් පොලිසියත් අතර පිහිටි ක්‍රීඩාපිටියේ පැවති තරගවල සූරියප්පෙරුම ක්‍රීඩා කරනු දැකගැනීමට ගම්පහ ක්‍රීඩාලෝලීහු ගම්පහ සිට දහස් ගණනින් මරදානට ගියහ. සෙන්ට්‍රල් ක්‍රීඩකයින් තරග ජයග්‍රහණය කළ පසුව ක්‍රීඩාලෝලීහු හා ගම්පහ ව්‍යාපාරිකයින් කළේ අලි ඇතුන්ගේ පෙරහරක් සූදානම් කර ක්‍රීඩකයින් හයදෙනා ඇතුන් පිට නංවාගෙන යාමයි. මෙවැනි පෙරහරවල් ගම්පහට එදා සුලබ දසුනක් විය.   


සූරියප්පෙරුම මහතා මියයන්නට වසරකට දෙකකට පමණ පෙර වත්මන් වොලිබෝල් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව විමසා සිටියදී ඔහු කතාකළේ ඉතා කනගාටුවෙනි. මෙරට ජාතික ක්‍රීඩාවට ලැබෙන අනුග්‍රහය මෙන්ම සැලකිල්ලද දිනෙන් දින පිරිහී යනබව ඒ මහතා කීවේය. පාසල් මට්ටමින් එදා වොලිබෝලය නැංවීමට සැලසුමක් තිබුණද අද වෙනවිට ඒවා සම්පූර්ණයෙන්ම වැළලී ගොස් ඇති බවද සූරියප්පෙරුම මහතා කීවේය.   
‘ගම්පහ වොලිබෝල් පිළිරුවේ ඉන්න ක්‍රීඩකයින් හයදෙනා අතුරින් තවමත් ජීවතුන් අතර ඉන්නේ මම විතරයි’ එසේ කී සූරියප්පෙරුම මහතාද අද වෙනවිට ජීවන ගමනට සමුදී අවසන්ය. අපි ඔහුට නිවන්සුව පතමු.   

 

ජේ.පී. සූරියප්පෙරුම මහතාගේ දේහය

 

 

 


දොම්පේ - අජිත් මදුරප්පෙරුම