කොස්ගස් හන්දියේ දී දැනුණු ජාතික සමගියේ සුවඳ


සිරිලාල් කොඩිකාර නම් අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්‍ඨ මාධ‍්‍යවේදියා කියම් සිහිකර නම් ඔහුගේ පරිසරයෙන් අත්දුටු විවිධ සත්‍යයන් ඇසුරෙන් ලියූ ග්‍රන්ථයේ නුරුල් අයින් හුසෙයින් ලේඛිකාව ගැන අපූරු සටහනක් එයි. මේ පොත නැවත කියවීමෙන් පසු මගේ මතකය මීට වසර හැටකට පමණ ඈතට ගියේය. එවකට මා වයස අවුරුදු 10 ක පමණ ළමයෙකි. ඒ අත්දැකීම කීමට පෙර සිරිලාල් කොඩිකාර තම කෘතියේ ලියූ සටහන වෙත ඔබේ අවධානය යොමු කරමි.   


1977 මාර්තු 03 වැනිදා​ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී නුරුල් අයින් හුසෙයින් ලේඛිකාව හා කිවිඳයකගේ පොතක් සාහිත්‍ය උත්සව සභාවක එළි දැක්විණි. සිංහල හා මුස්ලිම් සහභාගීත්වයෙනි. කිවිඳිය මුස්ලිම්ය. නමින් නුරුල් අයින් හුසෙයින්ය. පොත දෙමළ ගද්‍ය කාව්‍යයකි. පන් පාඩම් පෙන් (කවි කියන කාන්තාවය). මේ නිමිත්තෙන් ඈට පිළිගැන්වීමට සිංහල රචකයකුගෙන් පද්‍ය රචනයක් කෙරිණි. රචකයා මමය.   


කවි රචකයා වූ සිරිලාල් කොඩිකාර ගේ පද්‍ය රචනයේ අවසන් කව මෙසේය.   


ආගම් ජන වර්ග සමගියෙ ලකුණු මත   
සරු භාෂා තුනක් අපේ මේ රටට ඇත   
අපි පිළිගනිමු සිංහලයෙන් සුපරිනත   
මුස්ලිම් ලේඛිකාවගෙ මේ දෙමළ පොත


මේ සිංහල පද්‍ය පිටපත ඈට කොඩිකාරයන් පිරි නැමුවේ අද මුස්ලිම් වීමෙනුත් පොත දෙමළ වී​ෙමනුත් මා හා මගේ පිළි ගැනීමේ රචනය සිංහල වී​ෙමනුත් ජාතික සමගිය සංයුතියක් නිර්මාණය වී ඇති බව කියමිනි.   
දැන් මම උපන් කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් හි කොස්ගස් හන්දියේ කුඩා කල අැසුරු කළ ළෙන්ගතුකම් පෑ සහෝදරත්වයේ සහජීවනයෙන් ජීවත් වූ සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් මිනිසුන්ගේ ජීවන අත්දැකීම් ටිකක් කියනෙමි.   
කොස්ගස් හන්දියේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ අප ජීවත් වූ නිවස පිහිටා තිබුණි. ආමර් වීදියේ පිහිටි ජේතවනාරාම විහාරස්ථානයේ කඨින පෙරහැර වීදි සංචාරය කරන්නේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාර හරහාය. මේ පෙරහැර යන්නේ මධ්‍යම රාත්‍රිය පසු වී එළි වෙන්නට හෝරා කිහිපයක් තියාය. මා අපේ වයසේ මුස්ලිම් සිංහල දෙමළ හා බර්ගර් මිතුරන් මෙන්ම අපට වැඩි මහල් අයියලාගේ සහාය ඇතිව බෞද්ධ කොඩිවලින් පළාතම සරසන්නෙමු. කස ඇට, සරුවත් හා ජෑම් පාන්වලින් අපි පෙරහැරේ යන සැමට සංග්‍රහ කෙරුවෙමු. වෙහෙසට පත් වී සිටින පිරිස අප දෙන සංග්‍රහයෙන් ප්‍රමෝදයෙන් ගමන් අරඹන විට අපට සතුටක් ලැබේ. මේ කාර්ය සඳහා සතියක සිට සූදානම් වන්නෙමු.   


අපට මේ සඳහා වැඩියෙන්ම ආධාර ලැබෙන්නේ මුස්ලිම් ගෙවල් වලිනි. කුඩා අප මුලින්ම යන්නේ, අබ්දුල් අසීස් මුදලාලි හමු වීමටය. ඔහු හැඳන්වූ පොදු නාමය වූයේ අබ්දු නානා ය. ඔහු විවාහ වී සිටියේ සිංහල කාන්තාවක් සමගය. මේ දෙන්නා තකට තකය.   


සිංහල මුස්ලිම් භේදයක් නැතිව ඔවුහු සැමට උදව් පදව් කරති   


අබ්දු නානාට කියා සිංහල මඟුල් ගෙවල්වල කෑම ​ෙම්සය විවෘත කර ගැනීම එකල විශේෂත්වයකි. ස්ටේස් පාරේ පිහිටි ජෙසීමා සිනමාහලේ අයිතිකරු ද අබ්දු නානාය. ඊළඟට අපි යන්නේ අව්වල් සාවියා පාරේ මුලටම තිබෙන බෝල මේසය (බිලියඩ් කාමරයේ) අයිති සියාතු මාමා හමු වීමටය. බෞද්ධ වැඩවලට උදව් කරන මේ මුස්ලිම් මුදලාලිලා ස්වර්ණ චෛත්‍ය පාරේ (බෝල වත්ත) පිහිටි ජයතිලකාරාම පන්සලේ පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේලාට උදේ දානය දීමට සැදී පැහැදී සිටියෝය.   


ඊළඟට එන්නේ පල්ලියේ මංගල්‍ය වාරයයි.   


සාන්ත ජෝසෆ් දේවස්ථානයේ සුරුවම වීදි සංචාරය කරන විට ද අපිට ලොකු රාජකාරියක් පැවරෙයි.   


​ෙද්වස්ථානයේ ධජවලින් කොස් ගස් හන්දිය සැරසීමටය. පාට පාට විදුලි බුබුළු වලින් මුළු පළාතම ඒකාලෝක වෙයි. මෙහි පෙරමුණ ගන්නේ විදුලි කාර්මික සිද්ධික් නම් මුස්ලිම් අයියාය. අපේ මිතුරු කැළ ඕනෑම දෙයකට ඔට්ටුය. සෝමපාල, වෝල්ටර්, ලින්ටන්, රෆික් නවාස්, බාබු රාමනාදන්, ලතිෆ්, චන්දරේ විමලේ ග්‍රෙගරි එඩ්වඩ් නියාස් වෝල්ටර් සෝමපාල රාමා එදා අපේ පිරිසේ සිටි මගේ මතකයට එන ක්‍රියාකාරී සමාජිකයන්ය. මුස්ලිම් ජාතිකයන්ගේ නෝම්බි (උපවාස) කාලයෙන් පසු කෑම අනුභව කොට මඳක් විවේක ගෙන මුස්ලිම් මිතුරන් සමග අපේ නඩය බස් යන පාරේ ෆුට් බෝල් සෙල්ලම් කරන්නෙමු. අද මෙන් නොව එදා රාත්‍රී කාලයේ බස් ගියේ ඉඳ හිටය. උපවාස කාලය නිම වී හඳ බැලීමෙන් පසු අපේ සිංහල නි​ෙවස් වලට සුවඳ විහිදුවමින් කන්දිරි බත් පිඟන් පෝලිමට එයි. ඇතැම් විට මේ විශාල බත් පිඟන් එන්නේ අප කෑම කෑ පසුවය. අපි ඒවා එනතුරු කෑදර කමින් බලා සිටින්නෙමු.   

 

 

පළාතේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයන් වූ මුසින් හාජියාර්ගේ හා සමූන් හාජියාර්ගේ නිවසින් එවන පොල් කොළ පිරිවැස්මේ එන බත් මුල කෑමට බඩේ ඉඩ තබා ගන්නෙමු. ඒවා එතරම් රසවත්ය. මුළු ​ෙගයම ආහාර සුවඳින් පිරී ඉතිරී යයි. අප නිවසට අනිවාර්යන්ම මුස්ලිම් ගෙවල්වලින් විශාල කැම බන්දේසි 25 ක් පමණ ලැබේ. ඉතිරි කෑම තබා ගැනීමට එකල ශීතකරණ ද නොතිබුණි. කිතුනුවන්ගේ නත්තල් දිනය, මුස්ලිම් හිතවතුන්ගේ හජ්ජි දිනය මෙන්ම සරු කෑම බීම වලින් පිරුණු එකකි. එහි නොවැරදීම තිබෙන රතු පාට චීස් බෝලය කෑමට අපි සැදී පැහැදී සිටියෙමු.   


කොස් ගස් හන්දිය මැතිවරණ සමය මට කුඩා අවදියේ සිටම මතක සටහන් තැබූ සිද්ධියකි. සැබැවින්ම එය සිහින ලෝකයකි. ඡන්ද ලකුණු වලින් යුත් පාට පාට කොඩි වලින් මුළු ප්‍රදේශය වර්ණවත් වෙයි. රතු කොළ නිල් දම් කහ පාට වල තරු යතුරු අලියා කුඩ අත තරු සලකුණු නිසා මේ කොඩි විසිතුරු වෙයි. ගෙවල් ගොඩනැගිලි ගස්වල මේ වර්ණ කොඩි ළෙල දෙන්නේ තරගයට මෙනි.   


මුස්ලිම් දේශපාලන නායකයෝ ගෙයින් ගෙට ඡන්දය ඉල්ලීමට එති. යති. රාසික් මහත්තයා රසික් නානා නමින් ප්‍රකට සර් රසීක් ෆරීඩ් මට මතක චරිතයකි. ක්‍රීම් පැහැති සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී අව්‍යාජ සිනා රැල්ලකින් යුතු ඔහු පැලඳ සිටියේ රතු පැහැති ටයි පටියකි. හිසෙහි රතු පාට මොරොක්කෝ ෆෙස් (FEZ) තොප්පියකින් සැරසී සිංහල මුස්ලිම් ගෙවල් කරා ඔහු කැන්වසින් යයි. ඔරේන්ජ් බාර්ලි වලින් ඔහුට සංග්‍රහ කිරීමට බොහෝ දෙනා පුල පුලා බලා සිටිති. රාසික් මහත්තයාගේ නිහතමානී ගති ගුණ නිසා සිංහල ජනයා කීවේ රාසික් මහත්තයා කවුසලයේ සිටිය යුතු කෙනෙකු බවය.   


දුප්පතා හිතවතාගේ ලෙස හැඳින් වූ බර්ගර් ජාතික පීටර් කේනමන් ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ අපරාජිත මන්ත්‍රීවරයෙකි. පීටර් සහෝදරයා නමින් මැද කොළඹ වීරයා වූ ඔහු පුංචි මිනිසුන්ගේ ගෙවල් වලට ගොස්​ ප්ලේන් ටී එකකින් සප්පායම් වී මිනිසුන්ගේ දහඩිය සුවඳ විඳ ගනිමින් පාරේ ඇවිද ගෙන යන විට කැපී පෙනෙන්නේ උස පුද්ගලයකු නිසාය. කැඩිච්ච සිංහල උච්චාරණය කරමින් මිනිසු න්ගේ කරට අත දමා ගෙන ඇවිද යන ඔහු නිතර සැරසී සිටියේ රතු පාට බුෂ් ෂර්ට් එකකින් හා සුදු කලිසමකිනි. වරක් ඔහු බයිසිකලයක නැගී සෙනඟ සමග කැන්වසින් ගිය අවස්ථාවක මමද ඔවුන් පිටු පස මැරතන් එකක් දිව්වෙමි. වරෙක මා පීටර් සහෝදරයා අපේ ගේ අසලින් යන තුරු රතු පාට වානිෂ් කඩදාසි කොඩියක සුදු පාට තරුවක් අලවා ගෙන ඔහු එනතුරු බලා සිටියෙමි.   


ඕ...... වන්ඩපුල් කියා ඔහු මගේ හිස අත ගෑවේය. පක්ෂ භේදයකින් ජාති භේදයකින්, ආගම් භේදයකින් තොරව පීටර් සහෝදරයා වටා ජනතාව රොඳ බැඳ ගත්හ. උගත් මහත්තයෙක්. ලංසි මහත්තයා වුණාට එයා මොන පක්ෂයකින් හරි කවුන්සලේ ඉන්න ඕනෑ. බොහෝ දෙනා කියනු මා අසා ඇත.   


එක්සත් ජාතික පක්ෂයෙන් තරගකොට නිව් බසාර් නාගරික කොට්ඨාසය අති විශාල ඡන්ද ගණනකින් දිනන එම්. වින්සන්ට් පෙරේරා ඡන්ද දායකයන් සිතුවේ හැම විට මේ අපේ මිනිහෙක් කියාය. මුදල් හදල් වලින් ධනවතෙකු නොවූ ඔහු උපයා ගෙන තිබුණේ ජනතාවගේ හොඳ හිතය. ඇතැම් හවසක කොස් ගස් හන්දියේ නව ලංකා හෝටලයට එන ඔහු හිතවතුන් හා තේ බොයි. රෑ වේලාවක නම් සිංහල හා මුස්ලිම් මිතුරන් සමග රාග (වේවැල් වලින් සැදු බෝලයකි.) සෙල්ලම් කරයි. තමා වෙතට පැමිණෙන රාග බෝලය බිමට වැටීමට නොදී ඔහු සෙල්ලම් පෙන්වයි. බලා සිටින්නෝ සක්වනක් ප්‍රීතියට පත් වෙති. වින්සන්ට් මහතාට ආදරය කළ මුස්ලිම් මිතුරෝද සිංහල මිතුරෝද දෙමළ මිතුරෝද රාත්‍රියේ ආප්ප සාදයක් පවත්වති.   


මා කුඩා කාලයේ දුටු ජනතාවගේ වීරයා වූයේ මුස්ලිම් ජාතික අලි මෙහෙමුද්ය. ඔහු සිටියේ මගේ පියාගේ නිවසට ඉදිරි පස වූ ජෙමින් ගොඩනැගිල්ලට යාබද නිවසේය. කවුරුත් ඔහු හැඳින් වූයේ පූනානා නමිනි. ඒ ඔහුගේ ඡන්ද සලකුණ මල වීමය. මලට දෙමළ භාෂාවෙන් කියන්නේ පූ කියාය. මේ අහිංසක මුස්ලිම් ජාතික ඡන්ද අපේක්ෂකයා කොළඹ නාගරික මැතිවරණයේ ග්‍රෑන්ඩ් පාස් කොට්ඨාසයට ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. මීට පෙර ඡන්දයට ඉදිරිපත් වී පරාජයට පත් වූ ඔහු 1956 මහා මැතිවරණයට ද මැද කොළඹ ආසනයට ඉදිරිපත් වී ලබා ගත්තේ ඡන්ද 166 කි. පරාජයෙන් කම්පා නොවී වඩ වඩාත් ධෛර්ය්‍ සම්පන්නව යළිත් මැතිවරණ වලට ඉදිරිපත් වූ ඔහු විශේෂයෙන් සිංහල ජනතාවගේ හිතවතෙකු විය. පූනානාට සිංහල හිතවතුන්ගේ මඟුල් ගෙවල් කොටහළු ගෙවල් වලට ආරාධනා ලැබෙති. ඔහු මේ හැම අවස්ථාවකම අනිවාර්යයෙන්ම සහභාගී වෙයි. පූනානා ඡන්ද 100 ක් ලැබුවා නම් ඉන් 75 ක්ම සිංහල ඡන්ද බව වැඩිහිටියන් කියන කතා මම අසා ඇත්තෙමි.   


පූනානා වරෙක වේදිකාවට නැගි ගවනර් ඔලිවර් ගුණතිලකට අභියෝග කරයි. රසික්ට කලීල්ට බැණ වදී. වරෙක දෙමළෙන් තවත් වරෙක ඉංග්‍රීසියෙන් බැණ වදී. සිංහල මුස්ලිම් හිතවත්තු ඔහු ඔස්වා කොස් ගස් හන්දිය පුරා ගෙන යති. ඡන්දයෙන් පරාජය වූ පසු ද මුස්ලිම් ජනයා මෙන්ම සිංහල මිනිසුන් අතරම සිට මිය ගියේය.   


​ෙකාස් ගස් හන්දියේ මැතිවරණ ව්‍යාපාරයේ මා දුටු ලස්සනම තරුණයා දකුණු ග්‍රෑන්ඩ් පාස් නාගරික කොට්ඨාශයට තරග 


ක​ෙළ්ය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ඒ.එච්.එම්. ෆවුසිය. (අද අමාත්‍යවරයෙකි) ඔහු කෑන්වසින් එන බව ප්‍රචාරය වූ විට නව යොවුන් වියේ සිටි මුස්ලිම් තරුණියන්ට වඩා සිංහල තරුණියන් ඔහු දැකීමට සැදී පැහැදී සිටි බව මම හොඳාකාරව දැන සිටියෙමි. නිහතමානී, දුටුවන් වශී කරන තරුණ දේශපාලනඥයකු වූ ඔහුට මට මුල් වරට ඡන්ද බලය හිමි ප්‍රථම ඡන්දය දෙවරක් නොසිතා දුන්නෙමි. සිංහල හා මුස්ලිම් මගේ මිතුරන් මෙන් යෙහෙළියන් ද නොපැකිළිව ඔහුට ඡන්දය දුන්නේ ඔහු සතු ක්‍රියාශීලී බව හා ආකර්ෂණය නිසාය.   


මගේ පියාගේ මිතුරන් වූයේ සිංහල අයට වඩා මුස්ලිම් අය වීම විශේෂයකි. තාත්තා ඔවුන් සමග කතා කළේ චතුර දෙමළ බසිනි. මේ මුස්ලිම් මිතුරන්ට තාත්තාගේ තිබූ ළෙන්ගතුකම නිසා අම්මා කිහිප වරක්ම කියා සිටියේ මෙයා මැරුණාමත් ගෙනියන්නේ මුස්ලිම් විදිහට තූම්බයක (මුස්ලිම් ජාතිකයන් මිය ගිය පසු තබන වේවැල් වලින් තැනු පොදු කූඩයකි) තියලා බවය. අප නිවස අසලම සිටි තාත්තාගේ හොඳම මුස්ලිම් මිතුරා වූයේ අප ආදරයෙන් ඇමතූ ලාෆීර් මාමා ය. ඔහු බිලියඩ් ක්‍රීඩාවට අති ශූරයකි. කොස් ගස් හන්දියේ බිලියඩ් මේසය සහිත සමාජ ශාලාවට එන ඔහුගේ විස්මිත ක්‍රීඩා කෞෂල්‍ය බැලීමට අවට පිරිස මී මැස්සන් මෙන් රැස් කෑහ. ලාෆීර් මාමා ලෝක බිලියඩ් ශූරයා වී (හැට ගණන් වල මැද) කුසලානය රැගෙන ආ දිනය ​කොස් ගස් හන්දියට රජ මඟුලකි.  


ධනවතෙකු නොවූ ඔහුට පිට රටට යාමට විය පැහැදම් කොට හැම අනුග්‍රහයක්ම දුන්නේ සිංහල ජාතිකයකු බව නොකියාම බැරිය. යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතාය. ඒ ප්‍රකට ව්‍යාපාරිකයකු හා ජාත්‍යන්තර සම්මාන දිනූ අහසින් පොළොවට චිත්‍රපටය නිෂ්පාදනය කළ සුමතිපාල මහතා ලෆීර්ගේ ගජ මිතුරා විය. ඔහුගේ අනුග්‍රහය නොලැබුණා නම් ලාෆීර්ගේ නම ලෝක බිලියඩ් ඉතිහාසයට එක් වෙන්නේ නැත.   


අද මට එදා කොස් ගස් හින්දිය​ේ දී දුටු සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් මිනිසුන්ගේ සහජීවනය වඩාත් දැනේ. එක මවකගේ දරුවන් සේ ඔවුන් එකිනෙකාට බැඳී සිටියෝය. ඉඳ හිට අඬ දබර ඇති නොවුණා නොවේ. ඔවුන් තුළ තිබුණේ බත් හැළිය ඉඳෙන තුරු පවතින නෝක්කඩුවක් පමණි. මඟුලකදී විපතකදී මරණයකදී ඔවුහු සහෝදරත්වයෙන් බැඳුණාහ. මේ හැම මතකයක්ම දූවිලි ඝෝෂාව සමග මිශ්‍ර වී විඳ ගැනීමෙන් මම සතුටට පත් වෙමි. ඔවුන්ගේ දහඩිය සුවඳ ජීවන සුවඳ ගනිමින් අතීත සැමරුම් ඔස්සේ මගේ දෑසට කඳුළු බිඳුවක් නැගෙයි.   

 

 

 

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර