කුරුඳු බාස්ගේ ඝාතකයන් සොයාදුන් මධුවිත බඳුන


“මචං අඩියක් ගහමුද?” යැයි ඇල්පිටිය නගරයේදී හැන්දෑවක අහම්බෙන් හමුවූ පුද්ගලයෙක් සිරිල්ගෙන් විමසීය. 


“අඩියක් ගහන්න ඇයි බැරි? ඕක මොකද්ද? මචං......... සල්ලිත් එච්චර නෑ. කමක් නෑ වැඩේ කරමු. මට මචං උඹව එච්චර මතකයක් නම් නෑ..”


“හඳුනන්නේ නැති වුණාට කමක් නෑ. අරක්කු ටිකක් බොන්න ඕන වුණාම මක්කැයි හඳුනගන්නේ? අඩියක් ගහනකොට අපි යාළුවො වෙලා ඉවරයි” යැයි කියමින් නගරයේදී හමුවූ මිතුරා හා සිරිල් එක්ව ළඟම ඇති තානායම් පොළට ගියේ යස පදමට මත්පැන් පානය කරන්නටය. 


කාල භාගය පසුව බෝතලය දක්වා සප්පායම් වෙද්දී දෙදෙනාම ගජ මිතුරන් වී හමාරය. දෙවන අරක්කු බෝතලය ද අඩක් නිමවන විට නම් ගම් පවා කියමින් සිරිල් හා කොඩිතුවක්කු අඹ යාළුවන් බවට පත්වූහ. 


“මම කරන්නේ කුරුඳු තළන රස්සාව. හරි අමාරුවෙන් තමයි ජීවත්වෙන්නේ.” කොඩිතුවක්කු කීය. 


“මමත් කුරුඳු තළන රස්සාව තමයි කරන්නේ. අන්න බලන්න ගහට ගහක් මොරටුවේ හමුවෙනවා කියනවා වාගේ එකම රස්සාව කරන දෙන්නෙක් එහෙම නම් ඇල්පිටියේදී හමුවුණා....” කියමින් දෙදෙනාම සිනාසෙන්නට වූහ. 


මිතුරන් දෙදෙනා කටගැස්ම ද සමඟ තව තවත් මත් පැන් තොල ගාන්නට වූ අතර කොඩිතුවක්කු සිරිල්ගෙන් විමසුවේ, “මම කරන රස්සාවම කරන සිරිල් අයියට මට වඩා මුදල් තියෙන්නේ ඇයිද?” යන්නයි. 


බීමතින් සිටි සිරිල්ට තමා හිටි හැටියේ පෝසතකු වීමේ කතාන්දරය අහම්බෙන් එක්වූ මිතුරාට කියවූයේ වෙරි මරගාතය නිසාය. 


හෙතෙම කුරුඳු බාස්ගේ ඝාතනය හා කුරුඳු කොල්ලය ගැන ගිරා මලිත්තයෙකු සේ කියන්නට විය. ඒ වන විටත් කොඩිතුවක්කු තම රාජකාරිය අකුරටම සිදුකර අවසන්ව තිබිණි. වෙරි මරගාතේ නිවසට යනවා වෙනුවට සිරිල්ට සිදුවන්නේ පොලිස් කූඩුවේ එදින නිදාගන්නටය. 

යම් වෙන අතරතුර සිරිල් පාපොච්චාරණය කර තිබූ නිසා ඒ අනුව අළු යට ගිනි මෙන්, වැසී යන්නට තිබූ මහා අපරාධයක් සොයා ගන්නට ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්. සුජිත් ප්‍රියන්ත මහතා ප්‍රමුඛ නිලධාරීන්ට හැකි විය. ඒ දින, සති, මාස ගණනාවක මහා මෙහෙයුමක් අවසානයේදීය. 


2018.06.12 දින රාත‍්‍රී ඌරගස්මංහන්දිය කොරකීන ප‍්‍රදේශයේ නිවෙසකට ඇතුළු වූ නාඳුනන කොල්ලකරුවන් පිරිසක් විසින් පුද්ගලයකු ඝාතනය කර රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් සකසන ලද කුරුඳු කිලෝ 125ක් පමණ සොරකම් කොට පලාගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසියට වාර්තා වී තිබිණ. 

 

විකුණා තිබූ කුරුඳු තොගය

 


ඌරගස්මංහන්දිය කොරකීන විසූ ටී.එච්. සෝමදාස (77) නමැති තිදරු පියකු මෙසේ අභිරහස් ලෙස ගෙල සිරකර ඝාතනය කර කුරුඳු සොරකම් කර තිබිණ. 


ගාල්ල, ඇල්පිටිය, ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේදී දැනට මාස දෙකකට පමණ ඉහතදී සිදුවූ මෙම අභිරහස් මිනිස් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු සොරකම් කළ කුරුඳු කිලෝ ග්‍රෑම් 125 හා අපරාධයට යොදාගත් මෝටර් රථය සමඟ පසුගිය 18 දින අත්අඩංගුවට ගැනීමට ඌරගස්මංහන්දිය පොලිසියට හැකි විය. 


අත්අඩංගුවට පත්ව ඇත්තේ මියගිය පුද්ගලයාගේ ඥ‌ාති පුතෙකු වන ඌරගස්මංහන්දිය කොරකීන පදිංචි හතළිස් වියැති අයකු හා ඔහුගේ බෑනා වන විසිඅට හැවිරිදි ගාල්ල හිනිදුම බටහිර පදිංචි අයකු, ඌරගස්මංහන්දිය පදිංචි විසි නව වියැති තරුණයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකි. 


මියගිය පුද්ගලයාගේ දරුවෝ කොළඹ හා අඹගහමන්දිය ගම්මානවල වෙසෙති. මියගිය පුද්ගලයාගේ බිරිඳ මෙයට අවුරුදු අටකට පෙර මියගොස් තිබිණි. 


නිවසේ පිටුපස පිහිටි ජනේලයේ ආරක්ෂාවට සවිකර ඇති කොන්ක්‍රීට් ග්‍රිල් කඩා ඇතුළුවී නිවසේ පිටුපස දොර කැඩූ සොරු ගෙහිමියාගේ දෙපා ලණුවලින් ගැට ගසා රෙද්දකින් ගෙල හිරකර මරාදමා ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන කරන බව ද පොලිසිය කියා තිබිණි. ඒ අනුව පොලිසිය සිදුකළ දැවැන්ත මෙහෙයුමේ සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගැනිණ. 


මෙම ඝාතනය පිළිබඳව පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන් කොඩිතුවක්කු මහතා සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු අනුව එක් සැකකරුවකු සමඟ උපාය දූතයකු මත්පැන් සාදයකදී බමන මතින් මෙම පාපෝච්චාරණය කළ බව පොලිසිය කියයි. 

 

සැකකරුවන් ගිය මෝටර් රථය

 


ණය බරින් මිරිකී සිටි ප්‍රධාන සැකකරු සිය බාප්පාගේ නිවසේ තිබූ කුරුඳු සොරකම් කිරීම සඳහා තමාගේ බෑනා කැමති කරවාගෙන ඇත. බෑනාට ජංගම දුරකථනයක් ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණෙන් සොරකමට සම්බන්ධ වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය. 


පොලිස් තොරතුරු අනුව ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථනයෙන් සොයාගත් තොරතුරු මත ලබා ගත් ඇමතුම් පරීක්ෂා කිරීමේදී අපරාධය සිදුවූ දිනයේ රාත්‍රී එම දුරකථනයෙන් ඔහුගේ දියණිය සැමියාට හොරෙන් අනියම් පෙම්වතාට යවන ලද කෙටි පණිවුඩ රැසක් හේතුවෙන් මෙම අපරාධයේ සෙසු සැකකරුවන් අනාවරණය කර ගැනිණ. 


සොරකම් කරන ලද කුරුඳු කිලෝ ග්‍රෑම් 125 බෑනාගේ උපන් ගම වන ගාල්ල හිනිදුම බටහිර ප්‍රදේශයේ කුරුඳු වෙළෙඳසලකින් සොයාගත් බව ද පොලිසිය පවසයි. කුරුඳු විකිණීමෙන් ලැබුණු රුපියල් දෙලක්ෂ දහ හතර දහසක මුදල බාප්පා මිය යාමේ සිද්ධියෙන් වූ කම්පාව නිසාම මත්පැන් බීමට වියදම් වූ බව සැකකරුවන් පාපොච්චාරණය කළ බව ද පොලිසිය පවසයි. 


සැකකරුවන් හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස් පරිදි ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්. සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, පොලිස් පරීක්ෂක ජිම්සන් සොයිසා, පොලිස් සැරයන් (28534) ධනපාල, පොලිස් සැරයන් (59850) ජයවර්ධන හා පොලිස් සැරයන් (58466) කොඩිතුවක්කු යන නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකළහ. 

 

 

 


සටහන : 
හබරාදූව නිමල් අල්ගෙවත්ත
ඡායාරූප : සුසිල් ප්‍රියන්ත