කාසල්රී ජලාශ ඉවුරේ තවත් නාය යාමක ලක්ෂණ ?


නායයාමේ ගුවන් ඡායාරුප

 

 

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ පාලනය වෙන නොර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි නිව්වැලිගම ප්‍රදේශයේ නායයාම හේතුවෙන් ජන ජීවිතයට මතු වී ඇති විශාල ගැටලුවලට විසඳුම් ලබාදීම කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණත් එම ගැටලුවලට ක්ෂණිකව ස්ථිර විසඳුම් ලබාදීමට නොහැකි වී ඇත්තේ එම නායගිය ස්ථානය තවදුරටත් නායයාමේ අවදානමක් පවතින නිසා හා නායගිය ස්ථානය භුගෝලීය වශයෙන් ඇති ගැටලු හමුවේය. 


වසර 100කට වඩා ඉපැරණි හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ මීටර් 45 පමණ කොටසක් කාසල්රි ජලාශයට නායයාම හේතුවෙන් නොර්වුඩ්, බගවන්තලාව, බලංගොඩ, මස්කෙලිය, සාමිමලේ යන ප්‍රදේශවලට පිවිසීමට කෙටි මාර්ගයක් නොමැති වීම නිසා එම ප්‍රදේශ අවට ජීවත් වන ප්‍රදේශවාසීන් හා වතු කම්කරුවන්ගේ ජන ජීවිතවලටයි මෙම ගැටලු මතු වී ඇත්තේ. 


කාසල්රි ජලාශයේ පරිසරය සුන්දර වුවද එම පරිසරයට ඇති වුවේ යැයි කියන යම් බලපෑම හේතුවෙන් ජන ජීවිතයට මෙවැනි බලපෑමක් ඇති වී ඇති බවයි පරිසරවේදීන් කියා සිටින්නේ. 

 

ජාතික විදුලිබල පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන අක්කර ඝන අඩි 63000 ක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වර්තමානය වන විට ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ජලය සපයනවාට අමතරව එහි පරිසරය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට සංචාරක ආකර්ෂණයක් ලැබී ඇති නිසා කාසල්රි ජලාශය අවට විශාල වශයෙන් සංචාරක නිකේතන හා නිවාස ඉදි කර ඇත. 


සුන්දර මෙවැනි පරිසරයක ඉදි කර තිබූ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ නිවාස පහක් කාසල්රි ජලාශය බිලිගත්තේ එහි පදිංචිකරුවන්ගේ දැස් ඉදිරිපිටදීමය. 


කාසල්රි ජලාශයට ඉහළින් වූ නිව්වැලිගම නායයාමට ලක් වූ නිවාස සහ ප්‍රධාන මාර්ගයේ මීටර් 45 පමණ කොටසක් ඉකුත් 13 වැනිදා සිට ක්‍රමයෙන් නාය යාමට සක්‍රිය වූ නිසා එහි පදිංචිකරුවන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වගකිවයුත්තන් කටයුතු කර තිබුණි. 


ප්‍රදේශයට පැවති සුළු වර්ෂාවත් සමගම හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගය විශාල ලෙස ගිලා බැසීමට පටන් ගැනීමත් සමග මේ මස 15 වැනි දින වෙන විට ප්‍රධාන මාර්ගයේ මීටර් 45 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස 5 ක් කාසල්රි ජලාශයට නාය ගොස් තවත් නිවාස දෙකක් නායයාමේ අවදානමකට ලක් වී ඇත. 


ප්‍රධාන මාර්ගය නායයාමත් සමගම රථ වාහන ධාවනයට විශාල බලපෑමක් මතුවීමත් සමගම නොර්වුඞ් මාර්ග සංවර්ධන කාර්යාලයට විශාල වගකීමක් ඇති වූයේ විකල්ප මාර්ගයක් සොයාගැනීමටය. 


නායගිය ස්ථානයට ඉහළින් තේ වතු තිබෙන නිසා එම තේ වතුවල දළු ප්‍රවහනය කිරීමට සහ වතු කම්කරුවන්ට ගමන් කිරීමට තිබෙන මාර්ගවල බර වාහන ධාවනය කිරීමට නොහැකි නිසා එම මාර්ගයේ සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට සිදු විය. 


එහෙත් ජනතාව කිලෝමීටරයක් පමණ කඳු මැදින් ඇළ දොළ පසුකර අතිදුෂ්කරතා මධ්‍යයේ ගමන් කර තම ගමනාන්තය දක්වා ගමන්කර බස් රථවලට ගොඩවීමට සිදුවී ඇත. 


මෙම නායයාම සම්බන්ධයෙන් ‘ඉරිදා ලංකාදීප’ සමඟ අදහස් දැක් වූ නායයාමෙන් අවතැන් වී සිටින දයා ගුණසේකර මහත්මිය අප සමග මෙසේ කියා සිටියාය. 


“මම නිව්වැලිගමට පදිංචියට ඇවිල්ලා අවුරුදු 75 පමණ වෙනවා. ඒ කාලය තුළ මේ වගේ විනාශයක් වෙලා නෑ. නාය ගිහින් තියෙන්නේ මගේ පුතාගේ, මල්ලිගේ, මගේ ඥතීන්ගේ ගෙවල්. 


එ් සේරම ගෙවල් හදා ගත්තේ හරියට දුක් විඳලා, කිසිම කෙනෙකුට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. අපට වුණ දේ ගැන හිතා ගන්නත් බෑ. අපේ ජීවිත විතරයි ඉතුරු වුණේ. අපිට වෙන ඉඩ කඩම් නෑ. අපිට කවුරු හරි රජයේ බලධාරීන් මැදිහත් වෙලා ඉන්න ගෙයක් හදා දුන්නොත් හොඳටම ඇති. ඇය ඉතා දුක්බරව කියා සිටියාය. 


මෙම නායයාමෙන් නිවාස අහිමි වූ ලූෂන් හේමචන්ද්‍ර ගුණසේකර මහතා කියා සිටියේ මෙවැන්නකි. 


මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දවස් කිහිපයකම ඉඳලා අපි හරි බයෙන් හිටියේ. අපේ ගේ ඇතුළේ බිත්ති පුපුරලා. ගේ කාසල්රි ජලාශයට පැත්තට ගිලා බහින්න පටන් ගත්තා. එතකොට අපිට ස්ථිරවම ඉවත් වෙන්න කියලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කිව්වා. ඊට පස්සේ අපි ඔක්කොමලා ගෙවල්වල තිබුණු බඩු ඉවත් කරගෙන තාවකාලිකව අපේ ඥති ගෙවල්වල නතර වුණා. අපි දුක් මහන්සි වෙලා හදා ගත්ත ගෙවල් අපේ ඇස් ඉදිරිපිටම කාසල්රි ජලාශයට නායගියා. 


අපිට වෙච්ච විපත ගැන සොයා බලන්න ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක තොණ්ඩමන් මහත්තයත්, අමාත්‍ය පලනි දිගම්බරම් අමාත්‍යවරයත් ඇවිල්ලා සාකච්ඡා කරලා ​තොණ්ඩමන් මහත්තයා පොරොන්දු වුණා අපිට තේ වත්තක සුදුසු ස්ථානයකින් ඉඩමක් ලබා දෙන්න කටයුතු කරන්නම් කියලා. පලනි දිගම්බරම් මහතා ගෙවල් හදලා දෙන්නන් කියලා පොරොන්දු වුණා. 


එ් පොරොන්දුව විශ්වාස කරගෙන අපි ඉන්නවා යනුවෙන් පැවැසීය. 


අප සමග අදහස් දැක්වූ නොර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉන්ජිනේරු කේ.ඩී.බී.ආර්. දේවප්‍රිය මහතා කියා සිටියේ. 

 

1) ජාතික ගොඩනැගි පර්යේෂණ ආයතනයේ භු විද්‍යාඥයින් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාරය උදේනි නවගමුව  ඇතුළු  පිරිස පරික්ෂා කරන අයුරු

2) නොර්වුඩ් මහමාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා

 

 

නායගිය ප්‍රධාන මාර්ගය මගහැර නායගිය ස්ථානයට ඉහළින් තේ වත්ත හරහා ජනතාවට ගමන් කිරීමට කෙටි අඩි පාරක් ඉදි කිරීම සඳහා යුද හමුදාවට භාර දී ඇති අතර එම මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් සහ වතු පාලන අධිකාරිය එම ස්ථානයට ගොස් මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීමක් සිදු කර ඇත. 


අපිට තියෙන ලොකුම අභියෝගය තමා නාය ගිය ස්ථානයෙන් අලුතින් පාරක් ඉදි කරන එක. ඒක එකවර කරන්න බෑ. ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයත් ඕනෑ. ඒ නිර්දේශය ලැබුණට පස්සේ තමයි අපි නායගිය ස්ථානය ළඟින්ම තිබෙන පාරට යා කරන්ඩ අලුතින් පාරක් කපන්ඩ අදහස් කරගෙන ඉන්නේ. 


සැහැල්ලු වාහන දැනට යන්ඩ වතු මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා දීලා තියෙනවා. නායගිය ස්ථානයේ තවත් පස් කන්දක් නායයනවා කියලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියන නිසා ඒ පාර හදන එක තව ටිකක් කල් ගත වෙයි. ඒ මහතා පැවැසීය. 


මෙම නායයාම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භුවිද්‍යඥ සමන්ත බෝගහපිටිය මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි නවගමුව මහතා සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භුවිද්‍යඥයින් පිරිසක් පැමිණ ඩ්‍රෝන දත්ත සමීක්ෂණයක් කිරීමට එම ප්‍රදේශයට පැමිණියා. 


එම පරීක්ෂණ පැවැත් වූ එම විද්‍යාඥයින් කියා සිටියේ ඩ්‍රෝන දර්ශන ඔස්සේ ලබාගත් දත්ත අනුව එම ස්ථානයේ තවත් නායයාමේ අවදානමක් පවතින බවත්, නායයාමෙන් විශාල පස් ප්‍රමාණයක් කාසල්රි ජලාශයට ගසාගෙන ගොස් තැන්පත් වී ඇති බවත්ය. 


තවත් විශාල පස් ප්‍රමාණයක් කාසල්රි ජලාශයට නායයාමට අවදානමක් පවතින නිසා නායගිය ප්‍රධාන මාර්ගය වෙනුවට එම ස්ථනයේම අලුතින් මාර්ගයක් ඉදි කිරීමට නිර්දේශය ලබාදීම මඳක් ප්‍රමාද වෙන බවයි විද්‍යාඥයින් කියා සිටියේ. 


කාසල්රි ජලාශයට ඉහළින් නොර්වුඩ් නිව්වැලිවත්ත දක්වා ඉහළට සහ නොර්වුඩ් නගරය සහ නිව්වැලිගම සිට හැටන් දෙසට ගලක් විහිදී ඇති බවත්, නායගිය ස්ථානයේ එම ගල මත තිබූ විශාල පස් තට්ටුවක් මත හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගය හා නායයාමට ලක් වූ නිවාස ඉදි කර තිබූ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භුවිද්‍යාඥයින් කියා සිටින්නේ. 


කාසල්රි ජලාශය දෙසින් විහිදී ඇති එම ගලට යම් කම්පනයකින් ඇති වූ දෙදරීමක් නිසා ගල මතු පිට තිබූ විශාල පස් කන්ද ක්‍රමයෙන් නායයාමට වර්ධනය වෙන්නට ඇති බවට සැකයක් පවතින බව මෙම නායයාම පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ භුවිද්‍යාඥයින් කියා සිටී.

 

 

ඡායාරූප හා සටහන 
නොර්වුඩ් රංජිත් රාජපක්ෂ