කවදහරි ඔලිම්පික් පදක්කමක් ගේනවා


හද‌ාගත්තොත් රටම දිනුම්   

 

මීටර් 800 දුවන හර්ෂ කරුණාරත්න

‘‘ඕනෑම මලල ක්‍රීඩකයකුගේ හීනය වෙන්නෙ ඔලිම්පික් දක්වා යාම. ඒත් ඉතින් ඒ සිහිනය ජයගන්න බොහොම අසීරුයි. මොකද අපේ රටේ කුසලතා පිරි ක්‍රීඩකයන්ට ලැබෙන පහසුකම් මදි.’’   


‘‘ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එක වතාවක නම් කතා කරලා අපට අනුග්‍රාහකයො හදල දෙන්නම් කිව්වා. නමුත් ඒ පොරොන්දු තවම ක්‍රියාත්මක වුණේ නෑ.’’   
මේ ඔහුගේ කතාව..   


මම සහභාගි වුණු තරගවලින් ජය පැරදුම දෙකම අත්විඳලා තියෙනවා. පරාජය වුණාම දුකයි. නමුත් එය විඳ දරාගෙන ඊළඟ තරගාවලි සඳහා හොඳින් මුහුණ දී ජයග්‍රහණය කිරීම තමයි වැදගත් වෙන්නෙ.   


මේ විදියට දැඩි ආත්ම විශ්වාසයකින් කතා කරන අපේ රටේ පිනට බිහිවුණු තවත් එක් දක්‍ෂ ක්‍රීඩකයෙකු ගැනයි මෙවර කතාබහ.   
ඔහු නමින් හර්ෂ කරුණාරත්න. 
 


ඔබ ක්‍රීඩාවට පිවිසීම පිළිබඳ මුලින් කතා කරමු?   


මම පාසල් වයසේ ඉඳන්ම ක්‍රීඩාවට කුසලතා දැක්වූවා. මුලින්ම ඒ දක්‍ෂතාව හදුනා ගත්තෙ මගෙ මුල්ම පාසලේ අධ්‍යාපනය හද‌ාරද්දි. මම එහිදී පළාත් මට්ටමින් පවා ධාවන තරඟවලින් ජයග්‍රහණය ලැබුවා. මම 9 වසරේ අධ්‍යාපනය හද‌ාරද්දී තමයි වලල රත්නායක මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.   
ඉන්පසුව 9 වසරේ සිට 13 වසර දක්වා මම ඒ පාසලේ ඉගෙනගත් කාලය තුළ පළාත්, දිස්ත්‍රික්, කලාප මට්ටමින් ධාවන ඉසව්වලින් ජයග්‍රහණය කළා. මීටර් 800 ධාවන ඉසව්ව තමයි මම ප්‍රධාන ලෙස සම්බන්ධ වුණේ.   


ලැබූ ජයග්‍රහණ ගැන සඳහන් කළොත්?   


පාසල් මට්ටමින් ජයග්‍රහණ වලින් ඔබ්බට ගිහින් ජාත්‍යන්තර තරඟාවලි වලිනුත් ජයග්‍රහණ ලබාගත්තා. මේ වෙද්දි විදෙස් තරගාවලි පහකට පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතර 2017 තායිලන්තයේ පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියෙන් මීටර් 800 ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානය දිනාගත්තා.  


මේ වර්ෂයේම හොංකොන්වල පැවති මලල ක්‍රීඩා තරගාවලියෙන් සිව්වන ස්ථානය දිනා ගත්තා. මේ වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී සහය දිවීමේ තරඟයෙන් පළමු ස්ථානය දිනාගත්තා. මෙතෙක් මගේ ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණ තමයි ඒවා.   


මගේ ඉසව්ව වන මීටර් 800 ධාවන තරගයේ වැඩිම පළමු ස්ථානය තමයි මම දිනාගෙන තියෙන්නෙ.   

 


මේ වගේ ජයග්‍රහණ ලැබෙද්දී මොකද හිතෙන්නෙ?   


ඇත්තටම සතුටුයි. අපිට මලල ක්‍රීඩාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් සිද්ධවෙනවා. මගේ ගම උඩුදුම්බර. ඉතින් ඒවගේ දුර පළාතක ඉඳලා තරඟවලට සම්බන්ධ වෙන්න කොළඹට එහෙම එන්න වෙනවා. ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලයක් වෙන්නෙ අපේ ජයග්‍රහණයන්නෙ. දිනෙන් දින අපේ උත්සාහයන් සාර්ථක වෙනකොට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.   


හර්ෂගේ පුහුණුවීම් කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?   


මගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සර්. එතුමා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා පුහුණුවීම් කරගෙන යන්න. සතියකට දවස් 6ක් උදේ හවස පුහුණුවීම්වල නිරතවෙනවා. සර්ගෙ කැපකිරීම නිසා තමයි මට මේ වගේ සාර්ථක ගමනක් යන්න හැකිවෙලා තියෙන්නෙ.   


පාසලෙන් ලැබෙන සහයෝගය?   


පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මේ වෙනුවෙන් බොහොම උපකාර කරන්නෙ පාසල් අදි ශිෂ්‍ය සංගමයෙන්. පාසලේ නම් ක්‍රීඩාවට තියෙන පහසුකම් අඩුයි. ​මොකද පාසලේ අපිට ජිම් එකක්වත් නෑ. ආදි ශිෂ්‍ය සංගමයෙන් තමයි ඉතින් හැමදේටම උදව් කරන්නෙ.   


එතකොට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යම් අනුග්‍රහයක් ලබාදීලා නැද්ද?   


දැනට නම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලොකු දෙයක් ලබාදීලා නෑ. පෝෂණ දීමනාවක් ලබා දෙනවා කියලා කිව්වා. නමුත් තවම නම් ලැබුණේ නෑ. ඒ වගේම අනුග්‍රහය ලබාදෙන්නත් ගොඩක් අය කතා කළා. නමුත් තවමත් එහෙම දෙයක් ලැබුණෙ නෑ. අපේ පෞද්ගලික මුදලින් තමයි අපිට අවශ්‍ය දේවල් කරගන්න වෙන්නෙ. ඉතින් ඒවා කරගන්නත් අපහසු තත්ත්වයක් තියෙනවා. කවුරුහරි අනුග්‍රහය දක්වනව නම් ලොකු ශක්තියක්. 

 
වෛද්‍ය පහසුකම් ලැබෙනවද?   


අපේ වියදමින් තමයි ඒවත් සිදුවෙන්නෙ. මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයලා බලන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු ළඟට මසකට වතාවක් ගොස් අවශ්‍ය උපදෙස් ලබාගන්න ඕනෑ.   


ආණ්ඩුව පැත්තෙන් ඒ අවශ්‍ය දේවල් ගැන කතා කරලවත් නැද්ද?   


එක වතාවක කතා කරලා අපිට අනුග්‍රාහකයො හදලා දෙන්නම් කියලත් කිව්වා. ඒ්ත් ඒ කතා කරපු දේවල් තවම ක්‍රියාත්මක වුණේ නෑ.  

 


ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න අවශ්‍ය දේවල් මොනවද?   


ක්‍රීඩකයන්ගෙ අඩුපාඩු ගැන වගකිවයුතු නිලධාරීන් වැඩි අවධානයක් යොමු කරන්නෙත් නෑ. අපේ පාසලේ ජිම් එකක් නැති නිසා අපි පිටට ගිහින් තමයි පුහුණුවීම් කරන්නෙ. ඒ නිසා නිසිආකාරව පුහුණුවීම් කරන්න වාසනාවක් නෑ. මම කලින් කිව්ව වගේ උඩුදුම්බර ඉඳලා නුවරට යන්න ඕනෑ පුහුණුවීම්වලට. උඩුදුම්බර සිට නුවරට දුර කිලෝමීටර් 50ක් විතර තියෙනවා. ඉතින් ඒ තරම් දුරක් ගියාම පුහුණුවීම් කරන්නත් මහන්සියිනෙ. ඒ නිසා මම පාසලේම නේවාසිකවයි ඉන්නේ. ඒ හැමදේටම අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම් අපිට මීට වඩා දෙයක් කරන්න හැකිවෙයි කියලා හිතෙනවා.   


අපි විදෙස් තරගකරුවන් එක්ක කරටකර තරඟ කරලා තියෙනවා ඔවුන් එක්ක බලද්දී අපේ රටේ ක්‍රීඩකයන්ගේ අඩුපාඩු ගොඩක් පේන්නට තියෙනවා.  


අපිට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් නැතුවා වගේම ඇත්තටම කියනවා නම් ලංකාවෙ ක්‍රීඩා කරන්න හරියට ක්‍රීඩාංගණයක්වත් නෑ. ඒවට අවශ්‍ය උපකරණවත් අපිට කවදාවත් ලැබිලා නෑ. ඒ නිසා මාසිකව කිසියම් අනුග්‍රහයක් ලැබෙනවා නම් හොඳයි. ඒ මගින් අපේ පෝෂණ මට්ටම දියුණු කරගන්න, ඒ වගේම ක්‍රීඩාවට අවශ්‍ය දේවල් ලබා ගැනීමටත් හැකිවේවි.   

 

 


ඉදිරියට යන්න මොනවගේ බලාපොරොත්තුද තියෙන්නෙ?   


මේ වසරේ විවෘත ආසියානු මලල ක්‍රීඩා තරඟාවලිය වගේම තවත් තරඟ කිහිපයක් තියෙනවා. ඒවා වෙනුවෙන් තමයි දැන් පුහුණුවීම් කරගෙන යන්නේ. ඒ තුළින් රටට හොඳ ජයග්‍රහණ ලබාගන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම ඕනෑම මලල ක්‍රීඩක​ෙයක්ගෙ හීනය වෙන්නෙ ඔලිම්පික් දක්වා යාම. එම අසීරු ඉලක්කය කෙසේ හෝ ජයගැනීමේ අරමුණට යාම තමයි මගෙත් එකම සිහිනය වෙන්නේ   


මම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැප කිරීම කරලා ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබා මගේ රටට ගෞරවයක් ගෙනැල්ලා දෙනවා. එදාට තමයි මගේ ක්‍රීඩා ගමනේ ඉලක්කය සම්පූර්ණ වෙන්නෙ.   


හර්ෂගෙ ගෙදර කව්ද ඉන්නෙ?   


අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි පවුලෙ ඉන්නෙ. මගේ තාත්තා රියැදුරෙක්, අම්මා පාසලක පුස්තකාලයේ සේවය කරන්නෙ. ඉතින් ගෙදරින් ලොකු සහයෝගයක් මට දෙනවා මගේ ක්‍රීඩා ගමනට.   

 

 

සංවාදය - ධනු විජේරත්න