එල්.ටී.ටී.ඊ.ය බ්හිවෙන්නත් කලින් සිටම උතුරේ ජනතාවට ප්‍රශ්න තිබුණා


විජයකලාට කලින් උතුරේ කාන්තා විමුක්තිය කතා කළ රාජිණි තිරාණගමගේ සැමියා කියන කතාව


 රාජිණී තිරාණගම වෛද්‍යවරියක, විශ්ව විද්‍යාල කතිකාචාර්යවරියක හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ධෛර්යය සම්පන්න කාන්තාවකි. විටෙක මිනිසත් කම නිසාම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන්ට ප්‍රතිකාර කරන ඇය තවත් විටෙක දමිළ ජනයා නිසා එම සංවිධානයට පක්ෂක්ග්‍රාහිද වූවාය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිබූ ඒකාධිපති ලක්ෂණ හා මානව හිමිකම් කඩකිරීම් හේතුකොට ගෙන ඇය එම සංවිධානය ප්‍රතික්ෂේප කරන අතර විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට පුරෝගාමී වී කටයුතු කළාය. එසේම එහි සිටියදී ත්‍රස්තයන් පැහැරගන්නා ලද දරුවන් මව්වරුන්ට ආපසු ලබාදීමට නොබියව ඉදිරිපත් වී කටයුතු කළ ඇය ත්‍රස්තයන් සිදු කළ දීන ක්‍රියා විවේචනය කර පොතක් පළකිරීමටද කටයුතු කළාය.   


මෙම මානව හිමිකම් ක්‍රියාකාරිණියට සිය දෙමළ සමාජයට යුතුකම් ඉටුකළ හැකි වූයේ ඉතා කෙටි කාලයකි. 1989 සැප්තැම්බර් 21 වැනි දින ත්‍රස්තයන්ගේ වෙඩි පහරින් ඇය සඳහටම දෙනෙත් පියා ගත්තාය.   


එදා ඇය සටන් කළේ උතුරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙනි. ඇය ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතයෙන් සමුගත්තේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගීම හේතුවෙනි.   
අද යළිත් උතුරේ දරුවන් කාන්තාවන් අනාරක්ෂිත බව හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි. ඇය පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණ නම් මෙවැනි දේ සිදු නොවන බවයි. ඇයගේ ප්‍රකාශය එදා රාජිණීගේ සටන සිහිපත් කරවයි.   


රාජිණීගේ සටන පිළිබඳ කතා කිරීමට ඇගේ ස්වාමි පුරුෂයා  කැළණිය විශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය වරයෙකු වන දයාපාල තිරාණගම මහතා සම්බන්ධ කරගත්තෙමු.   


 

 

• ඔබට මුලින්ම රාජණී මුණ ගැහුණේ කොහේදීද? කොහොමද?   


1976 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඝාතනය කළා. ඒ වගේම හැම විශ්ව විද්‍යාලයකම ශිෂ්‍ය වර්ජන ක්‍රියාත්මක වුණා. රාජිණී එම ශිෂ්‍ය වර්ජනවල ක්‍රියාශීලී චරිතයක් වුණා. එහිදී තමයි මට ඇයව මුණ ගැහෙන්නේ. එයා කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යාවක්. මම සිංහල. එයා දෙමළ, අපි දෙන්නම දැනගෙන හිටියා අපි දෙන්නට ඉදිරියෙදී විශාල අභියෝග වලට මුහුණදෙන්න වෙයි කියලා. ඒ කාලයේ රටේ තිබුණු දේශපාලන තත්ත්වයත් ඊට බලපෑවා. ඒත් අපේ ආදරය ළඟදී එම සාධක මැඩ පවත්වා ගන්න අපි ධෛර්ය ගත්තා.   


• ආදරය විවාහයකින් අවසන් වූ පසු ජීවිතය කෙබදුද?   


1977 වස​ෙර්දී අපි විවාහ වුණා. එයත් හදිසි විවාහයක්. අපි මඟුල් පින්තූර ගත්තේ නෑ. උත්සවයක් ගත්තේ නෑ. සරල විදියටයි විවාහ වුණේ. ඒකටත් හේතුවත් තිබුණා. ඒ කාලයේ දෙමළ සිංහල කෝලහලයක් පැවතුණා. ඒ නිසා වෛද්‍ය විද්‍යාලයට නිවාඩු ලැබුණා. ඒ වෙලාවේ රාජිණී ගෙදර ගියා නම් ඇයට ආපහු කොළඹ ඒමට ඇයගේ දෙමාපියන් ඉඩ නොදෙයි කියලා හිතුණා. ඒ ගැන බියක් තිබුණා. ඒ නිසා අපේ විවාහය ඉක්මන් වුණා.   


• ඊට පසු ජීවිතය ගෙවුණේ කොහොමද?   


මම ඇයව විවාහ කරගත්තේ වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටියදී. ඇයගේ අවසාන අවුරුද්දේ ඉන්ටර්නල්ෂිප් එක කරන්න යාපනය රෝහලට යාමට සිදුවුණා. ඒ වෙනවිට ඇය ගැබ්බර කාන්තාවක්. මම කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කළේ. ඇයගේ පුහුණු කාලය අවසන් වෙන විට ලොකු දරුවා ලැබිලා හිටියේ. ඇයට සේවය කරන්න වුණේ හල්දුම්මුල්ල ග්‍රාමීය රෝහලේ. මමත් ඇය සමඟ එහි ගියා. අපි වසරක් පමණ එහි සිටියා. මට ආයෙත් පශ්චාත් උපාධිය සඳහා පවුලෙන් දුරස්වීමට සිදුවුණා.   


ඇයට තනියම එහෙ කටයුතු කරන්න සිදුවුණා. ඇයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බෙහෙත් ඒ රෝහලේ තිබුණේ නෑ. එය ඇයට එහෙ ජීවිතය දුෂ්කර වීමට හේතු වුණා. ඒ නිසා ඇය රෝහලෙන් අස්වුණා. ඊට පස්සේ අපි දෙන්නම යාපනයට ගියා. ඉන්පසුවයි ඇයට යාපනය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය පදවිය ලැබුණේ.   


• මේ කාලය වන විට යාපනයේ තිබුණ සමාජ වාතාවරණය මොනවගේද?   


1981 අපි යාපනයට ගියේ. ඒ වෙනකොට එහි ප්‍රචණ්ඩකාරී සංවිධානයක් ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව අපි වේලාසනම දැනගෙන හිටියා. ඒත් අපි කිසිවිටෙකත් ඊට සම්බන්ධ වෙන්න කැමති වුණේ නෑ. මගේ මතය වුණේ යම්කිසි සංවිධානයකට අපි සම්බන්ධවෙලා අපිට අයින්වෙන්න බැරි නම්, අයින් වුණාට පස්සේ හිමිවෙන්නේ මරණය නම් ඒකට අපි සම්බන්ධවෙන්නේ නෑ කියන එක. ඒ මතයේ රාජිණීත් හිටියා.   


• රාජිණී මහත්මියගේ සහෝදරිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධවුණා නේද?   


නිර්මලා එම සංවිධානයට සම්බන්ධ වුණා. ඒත් අපි එයට සම්බන්ධ වුණේ නෑ. නමුත් වරක් හෝ දෙකක් රාජිණීගේ අක්කා නිසා රාජිණීට තුවාල වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට සිදුවුණා. ඒ අැය වෛද්‍යවරියක් නිසා. ඇයට කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් තිබුණේ නෑ. ඒත් එක්තරා අවස්ථාවක රාජිණීගේ අක්කා සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සිදුවුණා. ඒ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහයෝගය දුන්නා කියන චෝදනාව මත.   


1983 වන විට ඒ අය හිර ගෙදර හිටියේ. ඒ කාලයේ රාජිණී එංගලන්තයට ගියා පශ්චාත් උපාධිය කිරීමට.   


මේ වෙනකොටත් දෙමළ ජාතිවාදි කෝලහලය අවසන් වෙලා තිබුණේ නෑ. කොළඹ ඇති වූ ජූලි කලබලයේදී වැලිකඩ සිටි රැඳවියන් මැරුණා. ඒ වෙලාවේ රාජිණීගේ සහෝදරිය මඩකලපුවට මාරු කළා.   


• රාජිණී එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ වෙන්නේ කොහොමද?   


මේ වගේ වාතාවරණයකදී එංගලන්තයේ හිටි රාජිණී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධවෙනවා. ඊට පස්සේ මම ඇයව මුණ ගැහෙන්න එංගලන්තයට යනවා. ඒත් අපිට එකඟතාවයට එන්න බැරි වුණා. එයා හිතුවා එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සම්බන්ධවෙලා සටන් කරනවා කියලා.   


ඒකට මම එකඟ වුණේ නෑ. මම කිව්වා එයා ඒ තීරණය ගන්නවා නම් අපි වෙන්වෙමු කියලා. හේතුව මම ඇය දේශපාලනයට යනවට අකමැති වුණා. ඊට පස්සේ මම හිතුවා ළමයි දෙන්නා හදාගන්නවා කියලා. මම මගේ තීරණය කියලා ආපසු ලංකාවට ආවා. ඊට පස්සේ ඇය මට ලියුමක් එවා තිබුණා. ඇය කසාදය අවසන් කිරීම පිළිබඳ කම්පා වුණා. ඇය කැමති වුණා එල්.ටී.ටී.ඊ එක අතඇරලා පවුලක් වශයෙන් එකට ජීවත් වෙන්න.   
ඒකට හේතුව මම රාජිණී මුණ ගැහෙන්න ගිය වෙලාවේ එල්.ටී.ටී.ඊ. එක දරපු මතවාදය වෙන්න ඇති.   


ඒ වෙනවිට අපිට දරුවෝ දෙන්නෙක් හිටියා. රාජිණී පවුල විසිරෙනවට කැමති වුණේ නෑ. ඒ නිසා ඇය පවුල තෝරා ගත්තා. ඒ නිසාම එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇයට පහර දුන්නා. ඇය ඒ පිළිබඳ කළකිරීමට පත්ව සිටියා.   


• මේ වෙනකොට ඔබේ ජීවිතය කෙබඳුද?   


රාජිණී නැති කාලයේ මමත් දකුණේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුවේ අඩම්තේට්ටම් එන්න පටන් ගත්තා. එය අවසන් වුණේ විශ්ව විද්‍යාල කතිකාචාර්ය ධූරයට සමුදීමෙන්.   
මෙවැනි වාතාවරණයකදී රාජිණී දරුවෝ දෙන්නත් එක්ක ලංකාවට ආවා. මම දිගටම දේශපාලනය කළා.   


රාජිණී යළිත් යාපනයේ විශ්ව විද්‍යාලයට අනුයුක්ත වුණා. එයා තව විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු දෙන්නෙක් එක්ක එකතුවෙලා මානව හිමිකම් පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය පිහිටුවා ගත්තා.   


• මෙම මානව හිමිකම් සංවිධානය හැදීමට තුඩුදුන් ඒ වෙනකොට උතුරේ තිබූ දේශපාලන වාතාවරණය කුමක්ද?   


ඒ අවධිය වෙන විට එල්.ටී.ටී.ඊ. සංවිධානය පැසිස්ට්වාදී විදියට යාපනයේ තිබූ අනිකුත් සංවිධාන විනාශ කර දැමුවා. ​ෙටලෝ ඊ.පී.ආර්.එෆ්. වැනි කුඩා සංවිධාන මෙයට උදාහරණයි. ඒ වගේම එල්.ටී.ටී.ඊ පාලනය තුළ විකල්ප මතවාදයන්ට ඉඩක් ලැබුණේ නෑ. එවැනි මත දරන අය ද්‍රෝහීන් වශයෙන් සැලකුවා. ඔවුන්ව නිශ්ශබ්ද කළා.   


ඒ අවස්ථාව වෙන විට ඔවුන් ලංකා ආණ්ඩුව එක්ක පමණක් නොවෙයි සටන් කළේ. දෙමළ ජනතාවගේ මානව හිමිකම් කැඩෙන ආකාරයටයි කටයුතු කළේ. කතා කිරීමේ නිදහස, රැස්වීම් පැවැත්වීමේ නිදහස, එහා මෙහා යාම වැනි හැමදේම ඒ අයගේ අණසක යටතේ දී සිදු වුණේ ඔවුන් කිසිම ප්‍රතිවිරුද්ධ මතයක් ඉවසුවේ නෑ. හැබැයි එල්.ටී.ටී.ඊ සංවිධානය විටෙක කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැක්කා. හේතුව ඒ අයට ඕනෑ වුණා කාන්තාවන් යුද සේවයට බඳවා ගන්න. යාපනයේ කුල ප්‍රශ්නය උග්‍ර ලෙස තියෙනවා. එවැනි පීඩනයන්ට ලක්ව කාන්තාවෝ බොහොමයක් එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ වුණා. ඔවුන්ට ඉන් යම්කිසි නිදහසක් ලැබුණා. හැබැයි මේකට කාන්තා විමුක්තිය කියන්න බෑ.   


• රාජිණී මහත්මිය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටියේ කුමන ආකාරයකින්ද?   


ඇය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පීඩාවට පත්වන කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටියා. අසරණ අයට පිහිටවීමට කටයුතු කළා. ඇය කිසිම බලවේගයකට යටත් නොවූ ධෛර්යමත් කාන්තාවක්. එකපාරක් රාජිණී ළඟට අම්මා කෙනෙක් ආවා. ඇය පැමිණියේ ඇගේ වයස 8ක් පමණ වන පුතා එල්.ටී.ටී.ඊ සංවිධානය මඟින් පැහැර ගෙන ගියා කියන වේදනාව අරගෙන.   


රාජිණී ඇයත් සමඟ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් දරුවන් රඳවාගෙන යුද පුහුණුව ලබාදෙන කඳවුරට ගියා. ඇය ඒ දරුවා හෙව්වා. ඒ කුඩා දරුවා තමන්ගේ මාපට ඇඟිල්ල උරමින් කඳවුරේ පසෙක වාඩි වී සිටිනවා ඇය දුටුවා. ඔහු ඒතරම් කුඩා දරුවෙක්. රාජණී එ් කඳවුරේ ප්‍රධානියා සමඟ වාද විවාද කර එම දරුවා ඒ අම්මාට ලබා දුන්නා. ඇය එවැනි අනතුරුදායක දේ පවා සිදු කළේ යහපත් සිතින් යුතුව. 

 
රාජිණී මේ වෙනවිටත් විශ්ව විද්‍යාලයේ උගන්වනවා. එහෙත් අැයට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම අසරණ අයට පිහිටවෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළා. ඇය දේශපාලන හේතු නිසා කිසිම කෙනෙක් මරා නොදැමිය යුතුයි කියන දේශපාලන මතයට පැමිණ සිටියා. ඒක සිංහල සොල්දාදුවන්ටත්, දෙමළ සොල්දාදුවන්ටත්, සිවිල් ජනතාවටත් පොදුයි.   


මින් නොනැවතුණු ඇය මරා දමන හැම කෙනෙක්ගේම විස්තර එකතු කළා. එම විස්තර පිටරට වලට යැව්වා. ඒ වගේම රාජිණී ඇතුළු පිරිස එකතු වෙලා ‘බ්‍රෝකන් පැල්මයිරා’ කියලා පොතක් ලිව්වා එය අත් පිටපතක්ව සකස්කර මට ගෙනැත් පෙන්නුවා. මම කිව්වා මේ පොත ප්‍රසිද්ධ කළෙත් කොටි ඔයාව ඝාතනය කරයි කියලා. හේතුව එය එල්.ටී.ටී.ඊ. සංවිධානය විවේචනය කළ කෘතියක් වීම. ඇය ඇයගේ අනිත් පිරිසත් සමඟ ඒ පිළිබඳ කතා කළා. අවසානයේ ඔවුන් පොත ප්‍රසිද්ධ කිරීමට තීරණය ගෙන තිබුණා. ඒත් මෙම පොත ප්‍රසිද්ධ කිරීමට පෙර ඇයට එංගලන්තයට යාමට සිදුවුණා. ඇය ආපසු ආවේ 1987 අගෝස්තු මාසේ.   


ඒත් මට ඇයව මුණ ගැහුණේ නෑ, හේතුව ඒ වෙනකොටත් මට සැඟවුණු ජීවිතයක් ගතකරන්න සිදුවුණා.   


• රාජිණී මහත්මියගේ ඝාතනය සිදුවන්නේ කෙසේද?   


කොකුවිල් හන්දියේ තමයි ඇය නැවතිලා හිටියේ. විශ්ව විද්‍යාලයේ සිට නිවසට එන්නේ බයිසිකලයෙන්. එදත් ඇය සුපුරුදු ලෙස බයිසිකලයේ ඇවිත් තිබුණා. එයා ගැන ඔත්තු බලලා තිබෙන්නේ විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටියේ සිටි එල්.ටී.ටී.ඊ. එකට සම්බන්ධ ශිෂ්‍යයන් කීප දෙනෙක්.   


ඔවුන් දුන් ඔත්තුව අනුව බයිසිකලයකින් ඇය පසුපස පිරිසක් ඇවිත් තිබෙනවා. නිවසට ළන්වෙනවාත් සමඟම ඔවුන් ඇයගේ නම කියා කතාකරලා තිබෙනවා. ඇය පසුපස බලන කොටයි ඇයට වෙඩි තියලා තිබෙන්නේ. එතකොට රාජිණී ඔළුවට අත් දෙක තියාගෙන තිබෙනවා. එක වෙඩිල්ලක් තිබ්බට පස්සේ රාජිණි මුණින් අතට වැටිලා තිබෙන්නේ. ඊට පස්සේ ඔවුන් තව වෙඩිල්ලක් හිස පිටුපසට තබා තිබෙනවා. එය ඇයගේ ඇහෙන් මතුවී තිබුණා. ඒ ආකාරයටයි ඇය මිය ගියේ.   


• එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ පොත ගැන දැනගෙන හිටියද?   


ඔව්. මේ පොත ෆොටෝ කොපි කරන්න දීලා තිබුණා. එතනින් ඒ පොතේ එක කොපි සෙට් එක අරගෙන එල්.ටී.ටී.ඊ සංවිධානයට දීලා තිබුණා. එය ඇයට අහිතකර ලෙස බලපෑවා.   


• මේ මරණය එල්.ටී.ටී.ඊ සංවිධානයම සිදු කළා කියන්නේ කොහොමද?   


ඒ ගැන මුල ඉඳලම සැකයක් තිබුණේ නෑ. මරන්න සම්බන්ධ වෙච්ච අය පසු කලෙක පාපොච්චාරණය කර තිබෙනවා. රාජණ්හුල් ලියලා තිබෙනවා පැල්මයිරා ෆෝලන් කියලා පොතක්. ඒ පොතේ මේ ගැන විස්තර තිබෙනවා.   


• ඒ වනවිට ​ඔබේ පවුලේ තත්ත්වය කෙබඳුද?   


මේ සිද්ධිය වෙන විට මම කොළඹ හිටියේ. දරුවෝ දෙන්නා ගෙදර හිටියේ. වෙඩි සද්දය ළඟම ඇහුණ නිසා ඔවුන් දුවගෙන ගිහින් ගේ ඇතුළේ මුළුවල හැංගිලා තිබුණා. ඔවුන් පස්සෙයි දැන ගත්තේ ඒ වෙඩි තියලා තිබුනේ තමන්ගේ අම්මටයි කියලා.   


• රාජිණී මහත්මිය යුද්ධයෙන් තුවාල වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සුවපත් කළා. ඔවුන්ට පක්ෂ වුණා. පසුව ඔවුන්ගේ අසාධාරණකම්වලට විරුද්ධ වුණා. අවසානයේ ඔවුන් අතින්ම මිය ගියා. ඇය සටන් කළේ උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන්. අද විජය කලා ඇමතිනිය කියනවා උතුරේ කාන්තාවෝ අනාරක්ෂිතයි කියලා. මේ පසුබිම පිළිබඳ කතා කළොත්.   


‘උතුරේ තත්ත්වය ඇත්තටම අනාරක්ෂිතයි. එය පැහැදිලි කාරණයක්. විජයකලා ඇමතිතුමිය එල්.ටී.ටී.ඊ. ය නැවත ගොඩනැගියි යුතුයි කියපු ප්‍රකාශය ලඳ බොළඳ නොමේරු කතාවක්.   


එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩගන්න බෑ. එය දැන් විනාශ වී ඉවරයි. නැවත ගොඩ නැගෙනවානම් එය අලුත් එල්.ටී.ටී.ඊ. එකක්. එය පරණ කරපු වැරදි නැති සංවිධානයක් වෙන්න පුළුවන්. එහෙම නැතිව නැවත එල්.ටී.ටී.ඊ. එකක් එන්නේ නෑ. කලින් තිබුණ ඉඩප්‍රස්ථාවන් වලට වඩා වෙනස් ඉඩ ප්‍රස්ථා අද තිබෙන්නේ. පැරණි කතිකාවලින් දෙමළ සමාජය ඈත්වෙලා ඉන්නේ. එකම රාජ්‍යයක් තුළ ජීවත්වෙන්න අවශ්‍යයි කියන එක පිළිගන්නවානේ.   


ඒත් ​ෙද්ශපාලන තත්ත්වයන්ගෙන් මෙය වෙනස් විය හැකියි. හේතුව එල්.ටී.ටී.ඊ එක පැමිණීම සංහිඳියාවේ මූලධර්ම විය යුතුයි කියලා හිතනවා නම් එය දේශපාලන වශයෙන් ප්‍රඥාගෝචර දෙයක් නොවෙයි. මොකද එල්.ටී.ටී.ඊ සංවිධානය බිහි වෙන්නත් කලින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න තිබුණා. අද තිබෙන ප්‍රශ්න ඊටත් වඩා හුඟාක් වෙනස්. අද යුද්ධය නිසා ඇති වුණ ප්‍රශ්න බො​ෙහාමයක් තිබෙනවා. තවමත් නිවාස සහ දේපල මුළුමනින්ම දෙමළ ජනතාවට ලැබිලා නෑ. ඒ අය හමුදාවට භාර වූ අයගේ ලැයිස්තුවක් ඉල්ලා සිටිනවා. මේ වගේ ප්‍රශ්න දැඩි ලෙස බලපාලා තිබෙනවා. විජයකලා මන්ත්‍රීතුමිය නොකිව්ව හුඟාක් ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවේ සාමාජිකයෙක් වශයෙන් ඇයත් වග කියන්න ඕනෑ.   


අනිත් එක යාපනේ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබෙනවා. මව්පියවරු නැති පවුල් 65,000ක් පමණ සිටිනවා. මේවා සෑහෙන සමාජ ප්‍රශ්න. මීළඟට දේශපාලන හිරකරුවන් නිදහස් කිරීම. මේ ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුව සලකා බලා පිළිතුරු දිය යුතුයි.   


• මත්කුඩු ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, මංකොල්ල කෑම් උතුර භීතියට පත් කරලා තිබෙනවා. රාජිණී මහත්මිය උතුරේ මානව හිමිකම් පිළිබඳව හඬක් නැගුවා. යුද්ධයෙන් පසු උතුර පීඩා විඳිනවා. මෙම තත්ත්වය මැඩලීමට මොකද කළ යුත්තේ.   


මේකට විසදුම එල්.ටී.ටී.ඊ, එක නැවත ගෙන ඒම නොවෙයි. මේවා මැඩලන්න අවශ්‍ය බලතල ඒ ඒ ප්‍රදේශවල රාජ්‍ය ආයතනවලට ලබාදිය යුතුයි.

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්