එද‌ා ත්‍රී’මලේ හොඳම බීජ ගොවියා අද ජීවිතය ඉල්ලා අතපායි


ආයේ කවදාවත් අපේ රටේ යුද්ධයක් නම් ඇති වෙන්න එපා. මොකද යුද්ධය අවසන් උනත් මම අදටත් යුද්ධයෙන් බැට කන දුක් විඳින මිනිහෙක්. යුද්ධය අවසන්ව ඇති නිසා මමත් ආසයි. ඒ කාලේ ජීවත් වුණා වගේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුත් එක්ක එකට මගේ ගමේ මගේ ඉඩම්වල ජීවත් වෙන්ඩ. ඒත් ආයුබෝවං මට ඒක තවමත් සිහිනයක්ම විතරක්වෙලා. මගේ ඉල්ලීම් අයිතීන් සියල්ල ලියුම් කඩදාසිවලට විතරක් සීමා වෙලා නිලධාරින් අතින් අතට මාරු වේවි තියෙනවා. කියන්න තියෙන හැම තැනටමත් ලියන්න තියන හැම තැනටමත් ලිව්වා. බැරිම තැන තමයි මහත්තයෝ මම මේ ඇත්ත කතාව සාක්කි එක්කම පත්තරේට කියන්න තීරණය කළේ.   


ඉතාම දුක්බරව මේ කතාව අප ඉදිරියට පැමිණ විශාල ලිපි ගොන්නක් පෙන්වමින් කීවේ එල්.එම්. ජයසේන විජේසූරිය (72) මහතායි. ඒ මහතා දඹුල්ල රත්මල්ගහඇළ ගම්මානයේ දැනට පදිංචිව සිටී. රැකියාව ලෙස කරන්නේ දඹුල්ල සති පොළේ වෙළඳාමේ යෙදෙන අයගේ බඩු මළු ප්‍රවාහනය කර දී කීයක් හෝ ලබා ගැනීමයි.   


1986 වසරට පෙර දක්ෂ ගොවියකු ව්‍යාපාරිකයකු ලෙස දමිළ මුස්ලිම් සිංහල ජනතාව සමග සමිපයෙන් ජීවත් වූ ඔහු උපන් දා සිට ජීවත් වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කිලිවෙඩ්ඩි, භාරතීපුරම් ගම්මානයේය.   


1986 වසරට පෙර එම ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයකු වූ ඔහු ගොඩ මඩ අක්කර හතරක් නීත්‍යානුකූලව වගා කර ගෙන වෙළඳසැල් පවත්වාගෙන, කිරි හරක් පාලනය මෙන්ම බලපත්‍ර සහිත ගැල් (කරත්ත) ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යමින් සුන්දර ජීවිතයක් ගත කළේය.  


ඔහු ඉදිරියේම පවුලේ හය දෙනෙකු සිය පුතාද කුරිරු යුද්ධයෙන් මිය යෑමත් සමග ජයසේන ඉතිරි වූ දරු පැටවුන් සමග 1986 වසරේ දඹුල්ලට පැමිණ ඇත්තේ යුද්ධයෙන් අවතැන් වූවන් ලෙසය.   


එදා සිට ඔහු ජීවත් වූ ආකාරය පිළිබඳව ඉතා පිළිවෙළකට ලිපි ලේඛන ගොන්නක් ඇතිව අප හමුවීමට පැමිණි ඔහු ළඟ ඇති අපූරු ලියකියවිලි රැසක් අපට පෙන්වීය. එනම්, දෙමළ භාෂාවෙන් ලියැවී ඇති විවාහ සහතිකය, ප්‍රවාහනය සඳහා ලබා ගෙන ඇති කරත්ත බලපත්‍රය, ගුවන් විදුලි බලපත්‍රය, පාපැදි බලපත්‍රය, ඉඩම් ඔප්පු බලපත්‍ර එකල අක්කර බදු ගෙවූ බිල්පත් සිය වෙළෙඳසැල්වල තිබූ කිරුම් මිනුම් උපකරණවල බලපත්‍ර ප්‍රාදේශීය සභා බදු ගෙවු රිසිට් පත්, 1972 වසරේ රජය විසින් නිකුත් කරන ලද ගොවි හැඳුනුම්පත එකල හොඳම බීජ ගොවියා ලෙස ලබා ගත් සහතික සම්මාන පමණක් නොව දෙමළ මුස්ලිම් සිංහල ජනතාවගේ ඉඩම් කන්න කුලියට ගෙන වගා කළ ගිවිසුම් පත්‍ර ආදී රැසක් එහි විය.   


කොටි ත්‍රස්තවාදීන් විසින් සිය සහෝදරිය ගේ මුඛයට තුවක්කුව තබා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග සිය ගම්මානයෙන් ඉක්මණින් පිටව ගොස් ජීවිතය බේරා ගන්නැයි එල්.ටී.ටි.ඊ. සන්ධානයේ ප්‍රබලයෙක්ම මුදල් ලබා දී තමන් පිටත් කර යැවූ බවත් ඔහු අප සමග කීවේය.   


එම අසුන්දර අත්දැකීම් මෙන්ම සිංහල දමිළ මුස්ලිම් ජනතාව යුද්ධයට පෙර ජීවත් වු සමගිය පිළිබඳවත් නැවත එම සමගියෙන් ජීවත් වීමට ඇති අයිතිය යුද්ධයෙන් පසුව තමන්ට අහිමි වී ඇති අසාධාරණය පිළිබඳවත් ජයසේන විජේසූරිය මහතා අප සමඟ මෙසේ පැවසීය.   


මම ඉපදුණේ මුත්තූර් රජයේ රෝහලේ. පාසැල් ගියේ හැදී වැඩුණේ ජීවත් වුණේ කිලි​ෙවඩ්ඩි භාරතීපුරම් ගම්මානයේ. අපි සිංහල වුණාට විශේෂත්වයක් තිබුණේ නෑ. ම​ෙග් යාළුවෝ ඔක්කොමලා දෙමළ මුස්ලිම්. මට දරුවෝ පස් දෙනෙක් සිටියා. එක පුතෙක් සින්තාරුවලදී බෝම්බයට අහුවෙලා 64 දෙනෙක් මිය ගිය කාලේ මැරුණා. එය පාසල් වියේම තමයි මැරුණේ.   


යුද්ධයට පෙර මම හොඳට ගොවිතැන් බත් කරමින් අවට ජනතාවට උදව් කරමින් හිටියා. හොඳට සල්ලි බාගේ තිබුණා. ත්‍රිකුණාමලයේ සිටි හොඳම බීජ ගොවියා හැටියට මම තමයි ආණ්ඩුවෙන් සම්මාන සවාරි හිමි කර ගත්තේ. ආණ්ඩුවෙන් මට දීලා තිබුණ ගොවි හැඳුනුම් පත්‍රයක් පවා.


මට ​ෙගාඩ අක්කර එකයි මඩ අක්කර හතරයි අංගසම්පූර්ණ නීත්‍යානුකූලව තිබුණා. ඊට අමතරව මම ඒ ප්‍රදේශයේ අවුරුද්දට දෙකට බදු අරගෙන ගොවිතැන් කළේ.   


1986 වසරේ දිගින් දිගමට ත්‍රස්ත්‍රවාදීන් ගම්මානවලට පහර දෙන්න පටන් ගත්තා. ගෙවල් ගිනිතියන්න ගත්තා. අවස්ථා කීපයක් මාව මරන්න ආවා. ඇවිත් කිව්වා දැන් උඹ මෙහෙන් පලයන් උඹව මරන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක හිටිය නිසා. උඹ දරුවොත් අරගෙන පලයන් කියලා. අන්තිමට මගේ සහෝදරිය හමුදාවේ මහත්තුරු වගයකට තැඹිලි කඩලා දුන්නා කියා ත්‍රස්තවාදීන් ඇවිත් එයාගේ කටට තුවක්කුව තියලා වෙඩි තියලා මට ඇවිත් කිව්වා උඹ අදම පලයන් දරුවොත් අරගෙන උඹ ගැන ආයෙත් අනුකම්පා කරන්න බෑ කියලා. ඒ අය එල්ටීටීඊ නායකයෙක් වුණාට හොඳට මාත් එක්ක හිතවත් කෙනෙක්. මට රුපියල් 1500ක් ගෙනත් දුන්නා. පලයත් ගිහින් කොහේ හරි ඉඳලා යුද්ධය අපි දිනුවට පස්සේ වරෙන් අපිත් එක්ක ජීවත් වෙමු කියලා. පස්සේ මම ඒ සියල්ල ද‌ාලා අනාථයෙක් හැටියට දඹුල්ලට ආවා.   


දඹුල්ලට ආපු වෙලාවෙ අපට පිහිට වුණේ එකම පුද්ගලයා තමයි දඹුල්ලේ සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ දවසක් වඩිනකොට මම දරු පැටවු එක්ක දින ගණනාවක් කන්ඩ නැතිව හිටියා. මගෙන් විස්තර ඇහුවා. මට ඉඩමක් දීලා සල්ලිත් දීලා මධ්‍යම සංස්කෘතික අරමුදලට කතා කරලා මට රස්සාවක් අරගෙන දුන්නා.   


මගේ දරුවෝ දැන් ලොකුයි. එයාලා දැන් විවාහ වෙලා මොන මොනවා හරි කරගෙන ජීවත් වෙනවා. යුද්ධය ඉවර වුණ දවස තමයි මම ජීවිතයේ ගොඩක්ම සතුටු වුණ දවස. මම සිහින මැවුවා මගේ උපන් ගමට ගිහින් ගේ දොර වතු පිටි නැවත හදා ගෙන සතුටින් ජීවත් වෙන්න. මම ගමට අවස්ථා කීපයක්ම යද්දී මගේ ඉඩම්වල ගෙවල් හදලා. මගේ දේපළවල වෙනත් පිරිස් පදිංචි වෙලා. හැබැයි ඒ අය කිව්වා අපි හිතුවෙ උඹලා මැරිලා කියලා. මට ඒ මිනිස්සු හදා ගත්ත ගෙවල් කඩලා බිඳලා දාන්න කියන්න බැහැ. ඒ මිනිස්සුත් අපි වගේම යුද්ධයෙන් බැටකාපු මිනිස්සු. මම එදා ඉඳලා පැවැති ආණ්ඩු දෙකටම ලිපි ලිව්වා. ගිහින් කිව්වා. පරීක්ෂණවලට ගියා. අන්තිමට යුද්ධයෙන් විනාශ වූ මගේ අයිතිය තවමත් දෙන්නේ නැහැ.   


මට අක්කර පහම එපා එ්කෙන් භාගයක් දෙන්ඩ කියන්න. මට ඒ ඇති. මේ දරු පැටවුන්ට දීලා මැරෙන්ඩ. පරම්පරාවක් ජීවත් වුණ ගම. අපි අදටත් ආසයි ඒ දෙමළ සිංහල මුස්ලිම් අපිට එකට ජීවත් වුණා වගේ ඉන්න. නැවත යුද්ධයක් ඇති නොවෙන්න ජීවත් වෙන්න. ඒත් ඉතින් බලන්න නිලධාරීන් නොවෙයිද මේ වෛරය ජනතාව අතර වපුරවන්නේ. සිංහල අයට එක විදිහක් දෙමළ අයට එක විදිහක් මුස්ලිම් අයට එක විදිහක්. හැබැයි මේ ඔක්කොටම වුණේ යුද්ධයෙන් පීඩාවට පත් වෙලා දේපළ විනාශ වෙලා අවතැන් වීම ජීවිත අහිමි වීම.   


කරුණාකරලා මහත්තයෝ මේ මගේ ​ලිපි ගොන්න හොඳට බලන්න. මම මොන තරම් කැප කිරීමක් මේ රට වෙනුවෙන් කරලා තියෙනවද කියලා. මං රජයට කිසිම බරක් නොවුණු කෙනෙක්. අඩුම තරමේ රේඩියෝ එක ඇහුවෙත් බදුගෙවලා. කරත්තේ පැද්දේ බයිසිකලය පැද්දේ බදු ගෙවලා.   


එහෙම කරපු අපිට කරුණාකරලා දැන් සාධාරණය ඉටු කරලා දෙන්න කියන්න. යුද්දෙන් පීඩාවට පත් වූ දෙමළ මුස්ලිම් ජනතාවට රාජ්‍ය නොවන සංවිධානවලින් රජයෙන් විවිධ ඇමැතිවරු මන්ත්‍රීවරු උදව් කරනවා. ඒත් සිංහල අපිට අද රටේ සංහිඳියාව හිඳිලා ගිහින්.   


අපි මැරිලා යාවි. එතකොට මගේ දරුවන්ගේ සිත්වල නැවත ජාතිවාදය නමැති වෛරය නේද පෝෂණය වෙන්නේ. ඒක මේ අපිට තේරුණාට රට කරවන උන්ට තේරෙන්නේ නැහැ. ඒකයි හිතට දුක. කොහොම හරි කමක් නැහැ. මට සාධාරණයක් ඉටු කරලා දෙන්න ඒ ඇති.


ජයසේන විජේසූරිය මහතා අප සමග එසේ පැවසීය.   


ඔහුගේ ලිපිනය එල්.එම්. ජයසේන විජේසූරිය, 193, හරක්අරවපුයාය, රත්මල්ගහඇළ, දඹුල්ල. 

දඹුල්ල කාංචන කුමාර ආරියද‌ාස