එදා කොටින්ට බියේ කැලෑ වැදුණු ගැමියෝ අද අලින්ට බියේ කැලෑවල


 

යුද්ධය හමාරවී රටට සාමය ලැබී වසර හතක් ගෙවී ගියද ඒ බිහිසුණු අමිහිරි මතකයන් යුද්ධයට මැදි වූ ජනතාවගේ හදවත් තුළින් බැහැරවී නැත. අදට ද හොල්මං කරති.


කුරිරු ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයන්ට බිලි වූ අහිංසක සිවිල් වැසියන්ගේ සිරුරුවලින් ගලාගිය රක්තවර්ණ රුධිරයෙන් ගම්බිම්වල මහපොළව පෙඟී ගිය යුගයක්ද අපි පසු කළෙමු.


පොළොන්නරුවේ මායිම් ගම්වලට කඩා වැදුණු කොටි ත්‍රස්ත්‍රයෝ වඩාගෙන සිටි කිරි දරුවන්ගේ පටන් අබල - දුබල වියපත් මව්පියවරුන් පවා ආයුධවලින් කපා කොටා කෲර අයුරින් ඝාතනය කළහ.


මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකටවත් මායිම් නොකෙරූ කොටින්ගේ මීළඟ මහා ඝාතනයක කුරුමානම් බිල්ල බවට පත් වූයේ වැලිකන්ද බොරවැව ගම්මානයයි.


ඒ 1989 පෙබරවාරි 27 වැනිදාය. බොරවැව ගම්වාසීන්ගේ බිහිසුණුම රාත්‍රිය එදිනය.


හිරු අවරට හැරී හෝරා කිහිපයක් ගතවෙන විට ලේ පිපාසයෙන් වියරු වැටී සිටි කොටි රැළ බොරවැව ගමට පැන අහිංසක වැසියන් 47 දෙනෙකු කපා කොටා ඝාතනය කළහ.


ගමක්, පළාතක්, රටක් කම්පාවට පත් කළ වියරු කොටින්ගේ එකී ප්‍රහාරයට මුහුණදුන් බොරවැව ගම්මුන්ගේ ඛේදජනක සිද්ධිය අසනවිට අදට ද අපගේ සිත්සතන් කම්පාවේ.


කිසිවක් නොදන්නා අහිසංක කිරි කැටි දරුවන් පවා පොළවේ ගසා කඩු, පොරෝවලින් කපා කොටා ඝාතනය කර බොරවැවම ලේ විලක් බවට පත් කෙරූ මේ අමන කොටි රැළ මව් කුසකින් බිහිවූයේද යන්නත් සැකයකි.


ගැබිනි මව්වරු පවා කපා කොටා ඝාතනය කළ කොටි එතරම්ම වියරු වී එදා අසරණ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළහ.
කොටින්ගේ ලේ පිපාසය කොතෙක්ද කියතොත් එදා බොරවැව මිනිසුන් නසන්නට පැමිණි ඒ අමනයින් ගම්මානයේ ගෙවතුවල වගා කර තිබූ කෙසෙල් පඳුරුවලට පවා කඩුවලින් කොටා තිබිණි. ඒ ගම්මානයේ මිනිසුන් කෙසෙල් පඳුරු අතරේ සැඟවී ඇත්ද යන සැකයෙනි.


නැගෙනහිර තොප්පිගල වනයෙන් කොටි රැළ පන්නා අවසන් ගමන් යන තුරුම බොරවැව ගම්මානයේ ගොවීහු වී ගොවිතැන වසර ගණන් අතහැර දැමූහ.


වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂකයින්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුද ජයග්‍රහණය ලබීමත් සමඟ නැගෙනහිර ජන ජීවිත ක්‍රමයෙන් මන්දගාමී ස්වරූපයෙන් ගොඩ නැගෙමින් පවතී.


කොටි තර්ජන හමුවේ බොරවැව ගම්මානයේ පමණක් පවුල් 150ක් පමණ සිය ගේ දොර, ඉඩකඩම් අතහැර මුල් ගම්මාන බලා පිටව ගියහ.


එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ඉඩම් අදට ද පාළුවට ගොස් වන අලි ලගින මට්ටමට පත්ව තිබේ.


වසර තිහක් පුරාවට වැලිකන්ද බොරවැව ගම්වාසීන් රාත්‍රිය නොනිදා පහන් කළ දින අනන්තවත්ය. 


එදා විදුලිය නොමැතිව සිටි මේ ගම්වාසීන්ට සිය පැල්පත තුළ කුප්පි ලාම්පුව දල්වා ගැනීමට තරම් අවස්ථාවක් නොවීය. ඒ කොටින්ට තිබූ මර බිය නිසාය.


උයාගත් බත්පත කුසට දාගැනීමට සිදු වූයේ බොහෝ විට මහා වනාන්තර මැද අඳුරේමය.


බොරවැව ගම්වාසී වැඩිහිටියන්ට මෙන්ම අත දරුවන්ගේ ලේ පවා මහවනයේ රැය පහන් කරමින් මදුරුවන්ට දන් දීමට සිදු වූයේ කොටින්ගේ මේ සාහසික ම්ලේච්ඡ ක්‍රියාවල ප්‍රතිඵලයන් හමුවේය.


බොරවැව ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපන අනාගතය පවා අඳුරු කිරීමට ත්‍රස්තවාදී ක්‍රියා බිහිසුණු විය. කොටි ප්‍රහාර හමුවේ බොරවැව වැසුණු පාසල අදට ද යුද හමුදා කඳවුරක් බවට පත්ව ඇත.


එදා තොප්පිගල කැලෑවෙන් පැන ආ කොටින්ගෙන් බැට කෑ බොරවැව ගම්වාසීහු මෙදා මාදුරුඔය වනෝද්‍යානයෙන් කඩාපනින වන අලින්ගෙන් ජීවිත බේරා ගැනීමේ යුද්ධයක නිරතව සිටිති.


කොටි තර්ජනවල මෙන්ම ප්‍රහාරවල ප්‍රතිඵල හමුවේ අදටත් මේ ගම්වාසීන්ගෙන් පිරිසකට ස්ථීර නිවසක් තුළ ජීවත්වීමේ වරම් ගිලිහීගොස් තිබේ.


යුද්ධය නිසා වසර 30ක කාලයක් ආපස්සට ඇද වැටුණු බොරවැව ගම්වාසීන්ට එදා සිංහල අවුරුද්දට, නැකතට රතිඤ්ඤා කරලක්, පත්තු කිරීම පවා ආරක්ෂක අංශවලින් තහනම් කර තිබිණ. 


ගෙවත්තට කුඹුරට කඩා පණින වල්අලි පලවා හැරීමට රතිඤ්ඤා කරලක් අලි වෙඩිල්ලක්ද පත්තු කිරීමට අවස්ථාව ගිලිහී තිබුණි. ඒ කොටින්ගේ වෙඩි, ගම්මුන්ටත් ආරක්ෂක අංශවලටත් හඳුනා ගැනීමේදී ඇතිවෙන බාධාවන් නිසාය.


කොටි එදා බොරවැව කුඹරුවල බිම් බෝම්බ, බට්ටෝ පවා වළලමින් ගොවීන් කිහිප දෙනකු ආබාධිත තත්ත්වයට පත් කළහ.
කුඹුරු රැකීමට ගිය ගොවියා කපා කොටා ඝාතනය කළහ. ධීවරයා රැගෙනගොස් කප්පම් ගත්හ. දර කෑල්ලක් සොයා ගැනීමට ගිය කම්කරුවා ද ලීයක් කපා ගැනීමට වනයට රිංගූ ගම්වැසියාද එල්ලා මැරූහ. කොටින්ගේ අපරාධයන් ඉන් නොනැවතුණි. අහල පහල වෙල් යායවල්වලට දිවා, රාත්‍රී යන එන ගොවීන් කොටින්ගේ මාරාන්තික ගොදුරු බවට පත්විය.


දිනෙන් දින ලේ පිපාසයෙන් ගොවියන්ගේ ජීවිතවලට කුරුමානම් ඇල්ලූ කොටි බොරවැව ගොවි බිම් රුධිරයෙන් තෙමා ලූයේ තවත් ජීවිත ගණනාවක්ම අන්ත අසරණ බවට පත්කරවමිණි.


දරුවන්ට මව්පියන්ද මව්පියවරුන්ට දරුවන්ද බිරිඳට ස්වාමියාත්, ස්වාමියාට බිරිඳත්, බොහෝවිට මුළු පවුල පිටින් අහිමි කළ කොටින්ගේ බොරවැව සැහැසිකම් අදට ද සහගහන අපරාධයන්ය.


හමුදාවට පිංසිද්ධ වෙන්නට කොටි නිහඬ කරවා සාමය ලබා දී වසර හතක් ගෙවී යන මොහොතේ එදා යුද්ධයට මුහුණ දුන් ගම්මුන් මෙදා කතා කරන්නේද දැඩි සංවේගයෙන් හා වේදනාවෙනි.


1989 පෙබරවාරි 27 වැනිදා බොරවැව ගම්මානයට එල්ල කළ කොටි ප්‍රහාරයෙන් වැඩියෙන්ම ඝාතනයට ලක්වූයේ බී.එම්. සමතපාල මහතාගේ පවුලේ අයයි.


එදා තම බිහිසුණු අත්දැකීමත් තමන්ගේ දිවි බේරා ගැනීම පිළිබඳවත් අද 65 වියැති බී.එම්. සමතපාල මහතා විස්තර කළේ මෙලෙස දැඩි වේදනාවකිනි.


‘එදා මගේ හාමිනේටයි පුතාලා තුන්දනාටයි දුවටයි කොටි වෙඩි තියලා මැරුවා. මමයි එක පුතෙකුයි බේරුණේ අනූනවයෙන්. බොරවැව ගමට කොටි ගහලා වැඩියෙන්ම මැරුණේ මගේ පවුලේ අය. රෑ හතට විතර අපේ ගෙදරට ඇවිත් අපි ආමි එකෙන් කියලා සිංහලෙන්ම කතා කළා. අපේ ගෙදරට දෙන්නෙක් ආවා. එකෙක් මගේ පපුවට තුවක්කුව තිබ්බා. ඒ වෙලේ මම හිටියේ මිදුලේ. ගෙදර අනිත් අය හිටියේ ගේ ඇතුළේ. ගම හැම තැනින්ම පට පට ගාලා වෙඩි ශබ්දය ඇහෙනවා. මගේ ඇඟත් ගැහෙන්න පටන් ගත්තා. මම දෙයියෝ බුදුන් සිහිකර ගත්තා. මගේ ඇඟට තුවක්කුව තිබ්බ එකාත්, අනිකාත් ගේ ඇතුළට එක පාරට රිංගා ගත්තා. මම ළඟ හිටිය පොඩි පුතා වඩාගෙන ගහක් යටට ගිහිං හැංගුණා. ගේ ඇතුළේ වෙඩි වරුසාවක් ඇහුණා. ගමේ තවත් පැතිවල වෙඩි ඇහෙනවා. මිනිස්සු මර ලතෝනි දෙනවා. මරණවා කපනවා කියලා කෑ ගහනවා. මම හිතා ගත්තා කොටි අපේ ගමම මරණවා කියලා. පැය දෙකකට විතර පස්සේ මමයි පොඩි දරුවයි ගෙදරට ආවා. ඒවෙලේ හඳ එළියත් වැටිලා තිබුණා. එතකොට ගේ ඇතුළේ මගේ හාමිනේයි, පුතාලා තුන්දෙනයි දුවයි ලේ විලක් මැද වැටිලා හිටියා. ඒ සේරගේම පපුවට අත තියලා බැලුවා පණ තියෙනවද කියලා. නෑ. ඔක්කොම මැරිලා හිටියේ.”


සිය බිහිසුණු අත්දැකීම සමතපාල මහතා ඉරිදා ලංකාදීපයට එලෙසින් විස්තර කළේය.


“රෑ හතට විතර තමයි ඔය සිද්ධිය වුණේ. රෑ දහයට විතර ආමි එකෙන් ආවා. ගමේ හැංගිලා කොටින්ගෙන් ජීවිත බේරා ගන්න කැලේට පැන්න අය එළියට ගන්න පැරා ලයිට් දෙක තුනක් ගැහුවා. සමහරු කැලේ හැංගිලා උදේ තමා එළියට ආවේ. මමත් පිස්සෙක් වගේ එහාට මෙහාට ගියා. හැම ගෙදරකම එක්කෙනා දෙන්නා කපලා හිටියා. කොටි ගමේ ළමයි උඩදාලා කඩුව අල්ලලා මරලා තිබුණා. ළමයි හම්බවෙන්න හිටපු අයත් එදා කොටි මැරුවා. ගමේ තිබුණ කෙසෙල් පඳුරුවලටත් කොටි කොටලා තිබුණා. ඒ අපි හැංගිලා ඉන්නවද බලන්න. ඔහොමයි අපේ ජීවිත කොටින්ට බිලි වුණේ. උයා ගත්ත බත් ටික කෑවේ කැලේ මැද හැංගිලා මදුරුවෝ තල තලා. කන්න ගණනක් කුඹුරු වැඩ කරන්න බැරි වුණා.


සමහරු හමුදාවත් එක්ක කුඹුරට ගිහිං වී ගොවි තැන රැක ගන්න කාලයකුත් තිබුණා. අපිට කුඹුරු වැඩ කරන්න මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. ඔහොම අපි අවුරුදු ගණනක්ම කොටින් නිසා දහදුක් වින්දා. 2009 යුද්ධය ඉවර වුණා. හමුදාවට, පොලිසියට, ග්‍රාමාරක්ෂක මහත්වරුන්ට අපි අදටත් පිං දෙනවා. ඒ යුද්ධය ඉවර කළාට.


දැන් මහත්තයෝ යුද්ධය ඉවරවෙලා අවුරුදු අටකටත් ළඟයි. තවම අපේ ගෙවල් දොරවල් හදාගන්න පිහිටක් වුණේ නැහැ. කොටි නිසා අඩපණ වූ රජයේ සංවර්ධන වැඩසටහන් අපේ ගමට තවම නැහැ. අපි කියන්නේ මේ ගමට ඇවිත් අඩුපාඩු බලලා මේ පවුල්වල ආර්ථිකය නංවන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා.


රජයෙන් අපි ඉල්ලන්නේ මේ ගම්මාන වගේම අපේ ජීවිතත් සංවර්ධනය කරන්න කියලා. එදා කොටි නිසා අපි බැට කෑවා. දැන් අලි නිසා දුක් විඳිනවා. ගමට පිරිසිදු වතුර ටිකක් නැහැ.” සමතපාල මහතා වැඩිදුරටත් එලෙස කීය.


රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාලවී දිවි බේරා ගත්ත ද අදට ද ඒ වෙනුවෙන් වන්දි ගෙවන 50 වියැති දෙදරු මවක වන ඒ.එම්. කුසුමාවතී මහත්මිය අතීත ඒ බිහිසුණු මොහොත මෙලෙස ඉදිරිපත් කළාය.


“මගේ මහත්තයා එච්.පී. අබේරත්නයි, අවුරුදු එකහමාරක් වයස පුතාටයි කොටි මා ඉදිරියේ වෙඩි තියලා මැරුවා. මගේ ඔළුවට කොටි කොටන කොට මම කැලේට දුවලා ගිහිං ජීවිතේ බේර ගත්තා. මම මාස තුනක් ඉස්පිරිතාලේ හිටියා. ඒ නිසා මට රජයෙන් දුන්න වන්දි මුදලත් ගන්න බැරිවුණා.


“අපි හමුදාවෙන්. බය වෙන්න එපා දොර අරින්න” කියලා සිංහලෙන් කතා කළා. අපි දොර ඇරලා එළියට එනකොටම වෙඩි තිබ්බා. මට ඒ වෙලාවේ මොනවා වුණාද දන්නේ නැහැ. මගේ ඔලුවට කොටි කෙටුවා. මම දුවලා බේරුණා. අපි ජීවිත හා දේපළවලින් වන්දි ගෙවලත් තවම මේ ගමේ ජීවත් වෙනවා.


කොටින්ට බයේ අපි එදා මේවා දාලා ගියේ නැහැ. ඉස්සර මම දරුවෝ අඬනවාට කටට රෙදි පාංකඩත් ඔබලා තිබුණා. අපිට ලයිට් තිබුණෙත් නැහැ. ලාම්පු කුප්පිය පත්තු කරලා අපි හවස හය හත වෙද්දී කැලයට යනවා උයා ගත්තු බත් ටිකත් අරං
දැන් සාමය ලැබිලා අවුරුදු අටක් වෙනවා. වෙනස කොටින්ට අපේ බය නැතිවෙලා නිදහසේ ගමන්, බිමන් ගිහිල්ලා නිදියන එක විතරයි. ආයේ නම් කොටි කලබල එන්න එපා කියලා මම උදේ හවා දෙයියෝ බුදුන් සිහිපත් කරලා වඳිනවා. අපි ඒතරම්ම දුක් වින්දා.


දැන් අපිට තියෙන එකම කරදරය වල් අලි. ඒ වගේම අපේ ගමට බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. ගමේ ඉගෙන ගන්න දරුවන්ට රස්සාවල් නැහැ. අඩුම තරමේ රජයෙන් මේ පළාතට කියලා ගාමන්ට් එකක්වත් දාලා දෙනවානම් ලොකු දෙයක්. කොටි ගහපු පාර පාසල වැහිලා ගියා. ඒකේ හමුඳා කඳවුරක්. “අපේ ගැටලු විසඳන්න ගමට එන්න කියලා අපි ඉල්ලනවා”


ඒ වගේම මේ ගමේ හිස් ඉඩම් තියෙනවා වල් වැදිලා. මේවායේ වන අලි හැංගිලා අපේ ගමට ඇවිත් ජීවිත, දේපල වනසනවා. ඒ හිස් ඉඩම්වල මිනිස්සු පදිංචිකරවලා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. යුද්ධය ඉවර වුනාට අපිට දැනෙන සංවර්ධනයක් තවම නැහැ. දැන් ඉතිං බයක් සැකක් නැතුව රජයේ නිලධාරීන්ට මේ ගම්මානවලට එන්න යන්න පුළුවන්. අපිටත් නිදහස තියෙනවා. එදා කොටි කරදර නිසා මේ ගම්වලට කිසිම සංවර්ධනයක් කරන්න රජයේ නිලධාරීන් ආවේ නැහැ. දැන් ඉතිං අපිටත් නිදහසේ කුඹුරු වගා, ගෙවතු වගා කරන්න හැකියාව තියෙනවා. නමුත් අලි තර්ජනය තමා ලොකුවට තියෙන්නේ.


ඒ වගේම තවමත් මේ ගම්මානවල උප්පැන්න, හැඳුනුම්පත්, මරණ සහතික හදලා දෙන වැඩපිළිවෙළක් කරනවා නම් ලොකු දෙයක්. ඒ වගේම ස්වයං රැකියා මාර්ග හෝ රැකියා අවස්ථා ලබාදෙනවානම් ලොකු පිනක්” කුසුමාවතී මහත්මිය එලෙසින් කතාව අවසන් කළාය.


යුද්ධය ඉවර කරපු එකනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බුදු බව අත්වෙන්න ඕනෑ. ඒ යුද්ධය ඉවර නොවුනානම් අද අපිත් නැහැ මහත්තයෝ. අද සමහර මිනිසුන්ට යුද්ධයක් තිබුණාද කියලත් මතකයක් නැහැ. අද අපි නිදහසේ කුඹුර හරි කරගෙන ඉන්නේ රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න. කොටි ගහලා මගේ බිරිඳයි පුතයි මැරුවා. මම කොටින්ගෙන් ගොඩක් බැට කෑවා. මේ ගමට කොටි ගහන්න ආවෙත් කුඹුරු රැක්ක ගොවියෝ මරලා දාලා. මේ ගමෙන් කැලේ ලී ඉරන්න ගිය අය එල්ලලා මරලා තිබුණා.

කොටින්ගෙන් වැඩිම තර්ජන තිබ්බේ අපේ ගමට. ඒ වගේම කොටි ගමට පැනලා වැඩිම ගාණක් කපලා කොටලා වෙඩි තියලා මැරුවේ මේ ගමේ. එදා 47 දෙනෙක් මරලා දැම්මා. ඊට ඉස්සරත් ගොවියෝ, ධීවරයෝ මැරුවා. දැන් ඉතිං රජයෙන් මේ ගම්මාන සංවර්ධනය කරන්න කියලා තමා අපි ඉල්ලන්නේ. දැන් යුද්ධයට ගිය සල්ලිත් ඉතුරුයි. ඒවගෙන් ගම් සංවර්ධනය කරන්න තමා රජයට තියෙන්නේ.” ඩී.බී. සුගතපාල මහතා කියයි.


ඒ වගේම අපි දැනටත් ඉන්නේ ගමේ කෙළවරේ. කොටි කලබල කාලේ පදිංචි නොවුණ හිස් ඉඩම් කට්ටි 32ක් අපි ඉන්න එහායින් තියනවා. ඒවායේ වල් අලි ලගිනවා. මේ ඉඩම්වල මිනිසුන් පදිංචි කරවන්න කියලා අපි මහවැලි අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් අලි ඒවායේ හැංගිලා ඉඳලා ගමේ ගොවියෝ මරන්න පටන් ගනියි. යුද්ධය නිසා අපේ ගමේ ගොඩක් දෙනෙක් අදටත් මානසිකව පීඩා විඳිනවා. අද අපි මේ ගම සංවර්ධනය කරන්න කියලා රජයෙන් ඉල්ලන්නේ අවුරුදු 30ක් මේ ගමට කිසිම සංවර්ධනයක් නොවුණ නිසයි. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් බොරවැව ගම්මානයේ සිව්දරු පියෙකුවන 67 හැවිරිදි පී.ඩී. සුගතපාල මහතා එලෙස පැවසීය.


සමස්ත එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් රටක් වශයෙන් අප ජයග්‍රහණය කළ ද කොටි ප්‍රහාරවලට සෘජුවම ගොදුරුවූ ගම්වාසීන්ගේ ජනජීවිත යුද්ධය නිසා පරාජයවී ඇති බව මේ කතාවලියෙන් කියවෙන බව අප සියල්ලන් තේරුම් ගත යුතුව ඇත.


බොරවැව ගම්මානයේ එදා සිට පදිංචිව සිටිමින් ජීවිත පරිත්‍යාගයෙන් තම ගම්මානයට ඉල්ලීම් දිනා ගැනීමට යුද්ධයකට මැදිව ක්‍රියා කරන ශ්‍රී සංඝබෝධි විහාරස්ථ දායක සභාවේ ලේකම් 67 වියැති ටී.බී. කරුණාරත්න මහතා කොටින්ගෙන් බැට කෑ තම ගම්මුන්ගේ පොදු අවශ්‍යතාවන් පිළිබඳව මෙලෙස අදහස් ඉදිරිපත් කළේය.


“මහත්තයෝ බොරවැව ගම්මානයේ අපි කොටි නිසා ගොඩක් දුක්වින්ද අය. ඒ වගේම කොටි හන්දා අපිට ගොඩක් දේවල් අහිමි වුණා. අපේ ජීවිත, දේපළ නැති වුණා වගේම ඒ කාලේ රජයෙන් අපේ ගමට ලැබිය යුතු දේවල් අහිමි වුණා. මේ ගම්මානයේ දැනට ගොවි පවුල් 300ක් විතර ජීවත් වෙනවා. අපේ ගමට තියෙන ලොකුම ගැටලුව තමා පානීය ජල ප්‍රශ්නය. දැනට වැවෙන් වතුර ගහලා අපිට දෙන වතුර බොන්න බැහැ. මේ ගමේ වකුගඩු රෝගීන් දැනට 18ක් විතර හඳුනාගෙන ඉන්නවා. තව කොච්චර ඉන්නවද කියන්න දන්නේ නැහැ. සායනයක් තිබ්බොත් තවත් රෝගීන් හඳුනා ගන්න ලැබෙයි. ඒ වගේම වකුගඩු රෝගය හැදිලා 2000 වර්ෂයෙන් මෙහා 10ක් විතර ගමේ මැරුණා. සමහර පවුල් ගමට එන ලොරියෙන් ලීටර් 01ක් රුපියල් තුන ගානේ බොන්න වතුර ටික ගන්නවා. සෙවනපිටිය නගරයට ගිහිං වතුර ලීටරයක් ගේනවානම් රුපියල් දෙකක් වෙනවා. ඉතිං සල්ලි නැති සමහර පවුල් බොන්නේ අපිරිසිදු වතුරමයි. අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට මොනවා නැතත් කමක් නැහැ බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා.


ඒ වගේම අපිට තියෙන තව ගැටලුවක් තමා වල් අලි ගැටලුව. අලි ගැටලුව නැත්තම් මේ ගමේ අපිට ගෙවත්තේ, කුඹුරේ එළවළු ටිකක් වවාගෙන කාලා ඉතිරි ටික විකුණා ගන්න හැකියාව තියෙනවා. දැනට තියෙන අලි වැට කඩාගෙන අලි ගමට පැනලා අපේ ජීවිත දේපල වනසනවා. ගොවිතැනක් හරියට කර ගන්න අලි ඉඩක් දෙන්නේ නැහැ.” “ඒ වගේම ගමේ තවත් පොඩි ගැටලු තියෙනවා. ඒවාට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරයා මැදිහත්වෙලා විසඳුම් දෙනවා. ගමට ලොකු සම්පතක් තමා බොරවැව උණුවතුර ළිං. ඒවා සංවර්ධනය කරනවානම් බලන්න සංචාරකයෝ එනවා. එතකොට ගමේ අයට තේ කඩයක් හරි දාගෙන කීයක් හරි හොයා ගන්න පුළුවන්. 


ගම ඉදිරියෙන් සෙවනපිටියේ ඉඳලා අරලගංවිල මැද ගමට යන පාර නම් තාර දාලා හදනවා. නමුත් ගමේ මිනිසුන්ගේ ආර්ථිකය නංවන වැඩසටහනක් ක්‍රියාත්මක නැහැ. බොරවැව ගමේ අපි රජයෙන් ඉල්ලන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් ආර්ථිකය ගොඩනගන්න වැඩසටහනක් වගේම ගමේ ස්ථිර ගෙවල් නැති බාගෙට ගෙවල් හදාගෙන ඉන්න අයට නිවාස ණයක්වත් දෙන්න කියලා.


නැගෙනහිර සංවර්ධනයේ අරුණලු තවමත් නොදකින වැලිකන්ද බොරවැව අසරණ මිනිසුන්ගේ හදවත්වල තැන්පත්වී තිබෙන සංවර්ධන සිහිනයක් මල්ඵල ගැන්වෙන්නේ කෙදිනකද?


උදාවූ සාමය හරි හැටි භුක්ති විඳීමට මරණයේ දොරකඩ සිටි බොරවැව ගම්වාසීන්ට තවමත් නොහැකිවී ඇත්තේ තම ජීවිත ජීවත් කරවීමට ඔවුහු ආර්ථික යුද්ධයකට මැදිවී සිටින බැවිනි.


දශක තුනක් පුරා යුද්ධයෙන් කුරිරු අයුරින් දුක් විඳි වැලිකන්ද බොරවැව ගම්වාසීන්ට රජයෙන් සිදුවන සංවර්ධනයන් පිළිබඳව අප වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ “අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වසර තුළ බොරවැව ගමට මෙන්ම වැලිකන්දේ ගම්මාන රැසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.”


එමෙන්ම බොරවැව ගම්මානය වෙනුවෙන් ගැටලු විසඳීමේ ජංගම වැඩසටහනක් ද ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බවත් පවුල් අතර ආර්ථිකය නගා සිටුවීමට විශේෂ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.


සටහන හා ඡායාරූප මනම්පිටිය නිමල් ජයරත්න