ඌරන් මැරූ මස් වැද්දා අකුණු පහරින් නසී


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

කඩවත මහර නුගේගොඩ ජයසේන හේවාපාත මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

නෙළා ගත යුත්තේ ඔබ වැපිරූ දේමය.   


එදා ගමනාගමනය සඳහා යොදවා තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පමණය. අබලන් මාර්ග වල දුර ගමන් සඳහා බස් රථ යොදවා තිබුණේ පැය දෙක තුනකට වරක් එක් මාර්ගයක, එක් බස් රථයක් ධාවනය වන ලෙසටය. මේ හේතුවෙන් සෑම රියක්ම මගීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර ගමනාන්තය දක්වාම සිටගෙන ගමන් කරන මගීන්ගෙන් ද අඩුවක් නොවීය.   


එක්තරා ප්‍රසිද්ධ නගර දෙකක් අතර පිහිටි එදා එතරම් දියුණු නොවූ නගරයක ප්‍රධාන පාර අසල විශාල හෝටලයක් වීය. පැය දෙක, තුනක වෙහෙසකාරී ගමනකින් පසු හමුවන මෙම හෝටලය මගීන්ට ක්ෂේම භූමියක් වැනි විය. මගීන්ගේ අවශ්‍යතාවන් නිසි ලෙස අවබෝධ කරගෙන ගෝන, මුව, ඌරු, මොණර ආදී මස් වර්ගයක් සමග රසවත් ආහාර වේලක් දිවා රාත්‍රී ඕනෑම වේලාවක හෝටලයේ සූදානම්ව තිබුණි. කෑමට පෙර අවශ්‍ය දෑ ඉහළ මහලේ වෙනමම ගැනීමේ පහසුකම් ද නිතරම සලසා තිබුණි. බස් සේවක මහතුන්ට වෙනමම සකස් කළ කාමරයකි. මස් වර්ග බැදුම් සැර බීම කෑම වර්ග අතුරු පස සිගරැට් බුලත් වලින් නිතරම කාමරයේ මේස පිරිණි. ඔවුන්ගෙන් මුදල් අය නොකිරිණි. දවසේ ඕනෑම වේලාවක වාහන හත අටක් හෝටලය ඉදිරි පස නවතා තිබූ නිසා ඒ අවට නිතරම ජනාකීර්ණ ද විය.   


දිවා කාලයේ හෝටලයේ පරිපාලන කටයුතු මුදලාලිගේ එකම පුතා විසින් සිදු කරන අතර රෑ බෝ වෙත්ම පියා හෝටලයට පැමිණි පසු, තුවක්කුවද රැගෙන ගෝලයන් දෙදෙනෙකු සමග මොහු දඩයමේ යයි. දඩයමට රුසියෙකු වූ මොහු දිනකට ගෝනෙක් මුවෙක් හෝ ඌරන් දෙදෙනෙකුවත් දඩයම් කරයි. හෝටලයට අවශ්‍ය මස් ශීතකරණ වල පුරවා තබා ඉතිරි මස් හෝටලය අසල මැස්සක තබා මගීන්ට විකුණයි. එකල දඩයමට හා දඩ මස් විකිණීමට නීතියෙන් එතරම් බලපෑමක් එල්ල ​නොවිණි.   


හෝටලයේ කීර්ති නාමය උදෙසා මෙහි විකිණීම සඳහා තබා තිබුණේ සීල් අරක්කු පමණය. නමුත් සෑම සීල් අරක්කු බෝතලයකටම භාගයක් පුරවා තිබුණේ කසිප්පු වලිනි. අවශ්‍ය කසිප්පු නිෂ්පාදනය කිරීම සඳහා කසිප්පු වාඩියක් මහ කැලේ මැද ගඟ අයිනේ පුතා විසින් පවත්වාගෙන ගියේය.   


රාත්‍රී කාලයේ හෝටලයේ සේවයේ යෙදෙන පියා, උදේ වරුවම නිදාගනියි. ඉර අවරට යත්ම ඔහු තමාගේ එළවළු කොරටු, ධාන්‍ය වැපිරූ හේන් හා කුඹුරු පරීක්ෂාවට ගොස් එම සේවකයන්ට අවශ්‍ය උපදෙස් දෙයි. ඉන් පසු හේන් වලට එහා මහා කැලේ මැද ඇති තහනම් වගාව බලන්ට යයි. ගිනි අවි අත දැරූ සේවකයින් දෙදෙනකු වගාවේ ආරක්ෂාව සඳහා එහි සේවයේ යොදවා ඇත. දඩයම්කරුවකුට හෝ කැලේ අතරමං වූවෙකු හට මෙම වගාව දක්නට ලැබුණහොත් ඒ ඔහු මෙළොව ජීවත් වන අවසාන දිනය විය යුතුයි. ඒ මුදලාලි ආරක්ෂකයින්ට ලබා දී තිබූ ආඥාවයි.   


පාසල් අධ්‍යාපනය හමාර කර පැමිණි මුදලාලිගේ එකම දුවණිය හෝටලයේ මිල මුදල් හා ගබඩාව පාලනය කළ අතර පඩිනඩි ද ගෙව්වාය. පියාටත්, පුතාටත් වඩා කෘෘර වූ මැය සේවකයින්ට වහලුන්ට සේ සැලකුවාය. මුළුතැන්ගෙයි සේවිකාවන්ට ගිණි පෙනෙලි වලින් පහර දී පරුෂ වචනයෙන් බැණ පලවා හරින්නේ කළ සේවයට වේතනය ද අහිමි කරමිනි. එදා පැවති දරිද්‍රතාව හේතුවෙන් එක් සේවිකාවක පළවා හරින විට තවත් දෙදෙනෙක් හෝටලයේ සේවයට ඒමට මඟ බලා සිටියහ. පියාගේත් පුතාගේත් නොමනා බලපෑම් වලින් බේරී සිටීමට කිසිම තරුණ සේවිකාවකට නොහැකි විය.   


පියාටත්, පුතාටත් නොදැනෙන්ට අම්මා ද හවුල් කරගෙන හෝටලයේ මුදල් පොලියට දෙන ක්‍රමයක් දුව සොයා ගත්තාය. අම්මා ඇපයට අවශ්‍ය රන් ආභරණ හෝ වටිනා යමක් ළඟ තබාගෙන ඇය විසින් සකස් කළ ලිපියකට අත්සන් ගෙන එම ලිපිය ණයකරු අත දුවණියට යවයි. රුපියල් සියයක ණය පතකට ඇය ගෙවනු ලැබුවේ රුපියල් අනූවකි. ප්‍රථම මාසයේ පොළිය ඈ එවලේම අය කර ගත්තාය. නොබෝ දිනකින්ම අම්මා ගොඩ පෙරකදෝරුවකුගෙන් නීති සහය ලබාගෙන කුඹුරු හා ඉඩ කඩම් ද ඇපයට තබාගෙන මුදල් පොළියට දුන්නාය. ඒ නිසි කාලයට පෙර මුදල හා පොළිය නිවැරදිව ගෙවා දේපළ නිදහස් කර නොගත හොත් ඉඩමේ අයිතිය අහිමි වන බවට සඳහන් ලිපියකට අත්සන් ගනිමිනි. මෙම පහසු ක්‍රමයෙන් ඇය ටික දිනකින්ම කුඹුරක්, ගොඩ ඉඩමක් හා බොහෝ වටිනා රන් ආභරණ ඈ සතු කර ගත්තාය. එදා ඇඳි වත පිටින් වේටර් කොලුවෙකු හා පැන ආ ඈ, තම මවු පියන් නැන්දා මාමා ඇතුළු සියලුම දුප්පත් නැදෑයින් අමතක කර දැමුවාය. දැන් ඈ කෙසේ හෝ මුදල්, වස්තුව සරි කරන්නේ තම දුවණියට මව් පාර්ශ්වයෙන් ද විශාල දෑවැද්දක් දීම සඳහාය. 

 
කල වයස සම්පූර්ණව සිටි දුවණියට, අග නගරයේ තොග වෙළෙඳාමේ නියුතු මුදලාලි කෙනෙකුගේ පුතෙකු යෝජනා කරනු ලැබුවේ තවත් මුදලාලි කෙනෙකු විසිනි. දෙපාර්ශ්වය හමු වීමෙන් පසු විවාහය තීන්දු විය. දෙපාර්ශ්වයම බල පුළුවන්කාරයන් වූ හෙයින් ජයටම උත්සවය ගැනීමට සියල්ල සූදානම් කෙරුණි.   


මංගල්‍යයට දින තුනකට පෙර, කලින් ඇණවුම් කර තිබූ බෙරලියන්තු මාලය කන කර ආභරණ හා රෙදි පිළි ගෙන ඒමට පුතා අම්මාද, නංගී ද සමග තම රියෙන් අග නගරයට ගියේය. අවශ්‍ය සියලුම දෑ රැගෙන අවසන් වන විට රෑ බෝ වී තිබුණි. ආපසු එන මඟ රාත්‍රී ආහාරය සඳහා කුළුපග යහළුවෙකුගේ හෝටලයේ රිය නතර කෙරුණි. හෝටල් හිමිකරු ඔවුනට ඉතාම ඉහළින් සැලකීය. පදමට වෙරි වී සිටි පුතා වේගයෙන් රිය ධාවනය කළේය. පාළු පාරේ පැයක පමණ ධාවනයෙන් පසු ඔහුට ​නොදැනීම ඔහුගේ දෙනෙත් පියවිණි. වේගයෙන් ආ රථය මහා හඬක් නංවමින් පාර අද්දර වූ මාර ගසක වැදුණි. බොහෝ වේලවකට පසු පැමිණි වෙනත් වාහනයක් පොලිසියට පැමිණිලි කර පොලිසියෙන් පැමිණ දොරවල් කඩා පුතා එළියට ගන්නා විට ඔහුගේ දෙපයම දණ හිස අසලින් වෙන් වී ඔළුව හා පපුවද තුවාල වී තිබුණි. මවත් දුවත් දෙදෙනාම වාහනය තුළම පරලොව ගොස් සිටියහ.   


මාස හයකට වැඩි කාලයක් පුතා රෝහල් ගතව සිටි අතර පියා ඔහු අසලම රැඳී සිටියේ සිහි මඳ භාවයෙනි. රෝහලින් ටිකට් කැපූ පුතා ද රෝද පුටුවක තබා ගෙන හෝටලය අසලට පැමිණි පියාට ගෝලයින් ඉතිරි කර තිබුණේ හෝටලයේ බිත්තිත් වහලත් පමණය.   

 



   
මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

ඌරන් මැරූ මස් වැද්දා අකුණු පහරින් නසී.    


සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වැරදි ලෙස හැසිරීම, බොරු කීම හා මත් වතුර බීම පස් පව් කිරීම බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. එහෙත් අධික තෘෂ්ණාව නිසා මෙම පස් පවේ ඇලී ගැලී ජීවත් වීමට වැඩි දෙනා කැමැත්තක් දක්වන බව දකින්නට ලැබීම කණගාටුවට කරුණකි. 

 
මුදල් දේවත්වයේ ලා සලකන ජන සමාජයක “බල්ලෝ මරා හෝ සල්ලි සෙවීමට” දිවා රෑ වෙහෙසීම එලොව මෙලොව දෙලොවම පිරිහීමට කරුණක් වෙන බව අමතුවෙන් කිව යුතු නැත. 

 
දැනට වසර ගණාවකට පෙර ගමේ ජීවත් වූ ‘සේතුවා’ වැස්සකටවත් පාසල් නොගිය මලපොතේ අකුරක් නොදත් මෝඩ තකතීරුවෙකි. තම වියපත් දෙගුරුන්ගේ පිහිටෙන් කරදඬු උස් මහත් වෙනතුරු කිසිදු රැකියාවක් නොකළ මොහු අවසානයේ තෝරා ගනු ලැබුවේ මස් මඩුවක ඌරන් මසට මැරීමයි. දිනපතා ඌරන් තුන් හතර දෙනෙක් මරණ සේතුවා ඌරෙක් මෙන් අැඟ පත සවිමත් වුණත් අබ ඇටයක තරම් මොළයක් තිබුණේ නැත.   
මේ මස් වැද්දා සමඟ දීග කෑමට ගමේ කිසිදු එකියක් කැමැත්තක් නොදැක් වූ බැවින් පස්පවේ ඇලී ගැලී තනි කඩ ජීවිතයක් ගත කිරීමට සේතුවාට සිදුවිය. දවස පුරාම මස් මඩුවේ වැඩ කරන සේතුවා හැන්දෑ යාමේ ​ෙහාර රා පොළකට ගොස් පදමට වෙරි වී තම නිවසට ගොස් නින්දට යෑම සිරිතක්ව පැවතුණි. දිනපතා උදයේම මස් මඩුවට ගොස් ඌරන් මැරීම මොහුගේ රැකියාවයි.   


​ෙපාලු පහර දී ඇඟ තලා ඌරන් බෙලි කපා මරා දමන මෙම පාපතර ක්‍රියාව වැඩි දෙනා හෙලා දුටුවත් සේතුවාට එය සෙල්ලමක් විය.   


​ෙමම පව්කාර රැකියාව කළ ඔහුට හිසෙන් බහින ලෙඩක් තිබුණේ නැත. එක් වැසි බර දිනක මොහු පුරුදු පරිදි ඌරන් මැරීමේ නිරතව සිටි අතර අහස ගුගුරා හෙණ හඬ පතුරුවා මහ වැසි වැස්සත් මස් මඩුවේ සිටි සේතුවා තම කාරිය කරගෙන ගියේය. හදිසියේ මස් මඩුවට පාත් වූ ‘හෙණ ගෙඩිය’ පුපුරා සේතුවා පමණක් නොව ඌරු කොටුව හා මස් මඩුවද සුනු විසුණු වී යෑමට ගත වූයේ සුළු මොහොතකි. මස් වැද්දාගේ ජීවිතය නිමාවට පත්වූ අතර ඌරු කොටුවේ අවසානය ද එයම විය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්