උඩරට යන්න සැරසෙන දෙනුවර මැණිකේ


දෙණුවර මැනිකේ රැකබලා ගන්නා සේවක මඩුල්ල

 

 

දුම්රිය යනු රටක සංස්කෘතියක උප සංස්කෘතියකැයි මට සිතේ. කෝපි මල් සුවඳත් තේ වගාවේ උණුහුමත් රැගෙන අතීතයේ සිට වර්තමානයට පැමිණි දුම්රිය, අද මගී ප්‍රවාහනයේ වැඩි බරක් උර මතට ගෙන දුර ගමනක යෙදී සිටී. 
ඈත අතීතයේ සිට විරාජමානව වැජඹුණ දුම්රිය මෑත අතීතයේ හැළ හොල්මනක් නොමැතිව ගමනේ යෙදුණා සේය. කාලෙක සිට සංවර්ධනයක් නොමැති මන්දගාමී ගමනක යෙදුණු නිසාම ඒ පිළිබඳ එදා මගීන්ගෙන් නැගුණු මැසිවිලි බොහොමයකි. 
 මැදිරි තුළට කාන්දුවුණ වැසි ජලය, ප්‍රමාද වෙන පැය ගණන, ඉරීගිය ආසන, පැරණි වැඩිකමට දුඟඳ හමන වැසිකිළි, දුම්රියේ පැරණි බවට ඉපැරණි හේතු සැපවූවේය. 


ඈත අතීතයේ දුම්රියේ ස්වර්ණමය යුගය ලෙස ඉතිහාස ගතවූ එවකට සිටි දුම්රිය සාමාන්‍යාධිකාරී බමුණුසිංහආරච්චිගේ දොන් (බී.ඩී) රම්පාල මහතාගේ සේවය ලද 1955-1970 මතකයට දෙවැනි නොවන ලෙස වර්තමානය පිබිදෙමින් තිබේ. 
මැදිවියට පත්වූවත් ලාලිත්‍යයෙන් අනූන මැණිකෙලා, දේවිලා, කුමාරිලාගේ සුන්දරත්වයට දෙවැනි නොවන ලෙසින් හැඩවැඩ වූ අලුත් වූ ශ්‍රී දේවිය, උදය දේවිය, උත්තර දේවිය රට වටා ගමනේ යෙදී ඇත්තේ එකී පිබිදීමට අරුත් සපයමිනි. 


අද අප ඔබට කියන්නට සැරසෙන්නේ පසුගියදා චීනයේ සිට පැමිණ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට ගොඩබට ඇය පිළිබඳවය. 
කවුද මේ ඇය? මොකක්ද ඇගේ නම? කිසිදු මාධ්‍යයකින් මෙතෙක් හෙළි නොකළ ඇයගේ නම හා.. හා.. පුරා කියා මුල් වරට ඉරිදා ලංකාදීප වෙතින් අපි ඔබට කියන්නෙමු. 
ඇඟේ තිඹිරිගෙය වන චීන කර්මාන්ත ශාලාව තුළදී ඇය ලද නම S14 ය. ඇතැමෙක් පැවසුවේ ඇය පොඩි මැණිකේගේ ඥාති සොහොයුරිය ලෙසය. 
ඇත්තෙන්ම ඇය කවුද? 


රට වටේම දුම්රියලෝලී පෙම්බරයන් ඇයගේ නම දැනගන්නට දක්වන්නේ දැඩි උනන්දුවකි. 
අලුත ගෙනා මනාලියක සේ කාගෙත් සිත් වසඟ කරගත් ඇයට ගණ පිහිටුවා නම් තැබූයේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසිනි. 
කඳු පල්ලම් තරණයට හෙට දිනයේ එකතුවෙන ඇය දෙනුවර මැණිකේ විය. 
දුම්රිය මැණිකෙලා අතරට එකතු වුණ දෙනුවර මැණිකේ සහ ධාවනයට එක්වන නව දුම්රියන් මෙන්ම දුම්රියේ නව පිබීදවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ඔබට කියන්නට ඉරිදා ලංකාදීප අප හා එක් වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි කතාවකි. 
දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා, වර්තමානයේ අලුත් දුම්රිය කිහිපයක් දුම්රිය ධාවනයට එක් වුණා. ඒ වගේම අද ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට පසු දෙනුවර මැණිකේ බදුලු දුම්රිය සේවයට එක්වෙනවා. මේ පිළිබඳව කතා කළොත්. 


“දුම්රිය පොදු ප්‍රවාහන සේවය බල ගැන්වීම අපගේ අරමුණයි. අප මේ වෙනවිට ඉන්දියාවේ (RITS) රයිට්ස් කියන සමාගමෙන් S13 ද්විත්ව බලවේග කට්ටල හයක්, M11 එන්ජින් හතරක් සහ චීනයේ චයිනා රේල්වේ රෝලින්ග් ස්ටොක් කෝපරේෂන් (China railway rollingstock cooperation) කියන සමාගමෙන් S14 ද්විත්ව බලවේග කට්ටලයක් ගෙන්වා තිබෙනවා. 
රජයේ මැදිහත්වීමෙන් දේශීය පුද්ගලික බැංකු දෙකකින් ලබාගත් ණය ක්‍රමයක් යටතේ සහ ඉන්දියානු ණය ආධාර යටතේ මෙම බලවේග කට්ටල සහ එන්ජින් ගෙන්වනු ලැබුවා. 
ශ්‍රී දේවි, උත්තරා දේවී සහ උදයදේවී, පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මෙන්ම බෙලිඅත්තට පැය තුනෙන් යාහැකිවන ලෙස ආරම්භ කෙරෙන නව දුම්රියත් ලෙස ඉන්දියාවෙන් ගෙනා S13 යොදවා තිබෙනවා. 

 

 


ඊට අමතරව බ්‍රසීල ණය ආධාර ක්‍රමය යටතේ ඇමෙරිකාවේ (General Electric Company) ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමෙන් G එන්ජින් දොළහක් සහ ඉන්දියාවෙන් මැදිරි හැත්තෑ පහක් සහ චීන බලවේග කට්ටල අටක් ගෙන්වීමට නියමිතයි. 
ඒ අනුව චීන බලවේග කට්ටලවල මැදිරිත් සමග ගණනය කළහොත් ඉදිරියේදී මැදිරි එකසිය හැටක් ධාවනයට එක් වෙනවා. 
ඇමෙරිකාවෙන් ගෙන්වන G එන්ජින් දොළහත් චීනයෙන් ගෙන්වන බලවේග කට්ටල නවයත් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවනවා. 
චීනය, ඇමෙරිකාව, ඉන්දියව යන රටවල් තුනෙන්ම ඇනවුම් කළ දුම්රිය මැදිරි එංජින් දැන් ලැබෙමින් පවතිනවා. 
ඊට අමතරව දේශීය කර්මාන්තකරුවා නගාසිටුවීම සහ දුම්රිය වැඩබිම්වල වැඩි ඵලදායිතාවක් ඇතිකිරීම අරමුණු කරගනිමින් තන්ත්‍රි සමාගම හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව වසර විසිපහක් පැරණි මැදිරි දෙසීයක් අලුත්වැඩියා කරන ව්‍යාපෘතියෙන් දුම්රිය ධාවනයට මැදිරි එකසිය දහයක් එක්කොට තිබෙනවා. 
ආසියානු සංවර්ධන බැංකුවෙනුත් වර්ෂ 2035 වෙනකල් සාධාරණ පොලී පදනම මත ණය ආධාර අපට ලබාදෙනවා. රටවටා දුම්රිය වේදිකාවන් අදට ගැළපෙන ලෙස නවීකරණය සහ අලුත්වැඩියාව අපි එයින් සිදුකරගෙන යනවා. 
මේ කතාවට වස්තුබීජය වූ S14 බලවේග කට්ටලය රුපියල් මිලියන එක්දාස් අටසිය හතළිස්පහකට මිලදී ගත්තේ චීන සමාගමක් වන චයිනා රේල්වේ රෝලින්ග්ස්ටොක් කෝපරේශන් (China railway rolling stock cooperation) කියන සමාගමෙන්. 
චීනයෙන් මෙවැනි එස්. දාහතර (S14) දුම්රියන් අටක් මෙරටට ගෙන්වීමට නියමිතයි. දෙනුවර මැණිකේ ලෙස නම් කළ S14 දුම්රිය උඩරට සේවාවට එක්වෙනවා. 
අප දුම්රිය එකතුවට එක්වූ නවීනතම දුම්රියක් වන දෙනුවර මැණිකේ වායු සමනය කළ පළමු පංතියේ මැදිරි දෙකකින්, දෙවැනි පංතියේ මැදිරි දෙකකින්, නවීන ආපනශාලාවකින්, තුන් වන පංතියේ මැදිරි දෙකකින් සහ වායු සමනය කළ නියාමක කුටි සහිත එන්ජින් දෙකකින්ද සමන්විතයි. 
ස්වයංක්‍රීය ආසන, ගමන් තොරතුරු සහිත පරිගණක පද්ධති, ආබාධිත මගීන් සඳහා වැසිකිළි පහසුකම්, එන්ජිමේ ඉදිරිපස ගමන්මගෙහි තත්ත්වය පටිගත වන සී.සී.ටී.වී. කැමරා පද්ධති, වායු සමනය කළ මැදිරි, ආබාධිත පුද්ගලයන්ට රෝද පුටුව නවතා තැබිය හැකි විශේෂිත ස්ථාන, යවත්කාලීන වෙන රූපවාහිනී තිර මෙම දුම්රියෙහි ස්ථාපිත කර තිබෙනවා. 


දුරකථන චාර්ජ් කිරීමට, මගීන්ට ඇතිවන විදුලි අවශ්‍යතා සපුරාගන්නටත් මෙහි පහසුකම් තිබෙනවා. 
දෙනුවර මැණිකේ දුම්රියේ අනෙත් දුම්රියන්හී නැති විශේෂත්වයක් ලෙස ආබාධිත මගීන් සඳහා රෝද පුටුවෙන්ම පිවිසිය හැකි විශේෂිත දොරටු, ආබාධිත අය සඳහා වූ වැසිකිළි පහසුකම් හඳුන්වාදිය හැකියි. 
ලොව කොතැනක ගියත් දුම්රිය මගින් අත්විඳින පහසුකම් සමග කලට වේලාවට ගමනාන්තයට ළඟාවිය හැකි තදබදය අවම වූ දුම්රිය ප්‍රවාහන සේවාවක් මෙරට දුම්රිය මගීන්ට මගේ සේවා කාලය තුළ ලබාදීම මගේ බලාපොරොත්තුවයි. 
ඉදිරියේදී තදබදයකින් තොරව කාර්යක්ෂම ගමනක යෙදෙන්නට මගීන්ට ඉඩ සැලසෙනවා. 
දෙනුවර මැණිකේ ඉන්දීය දේවිලා මෙන් දිගින් බරසාර නැත. 
වංගු පිරුණ දරුණු බෑවුම් සහිත කඳු නැගීමේදී සැහැල්ලු ආරක්ෂිත ගමනක යෙදෙන්නට නම් මැදිරිය දිගින් අඩි පනහක් පමණ වීම පහසුවකි. ඉන්දියාවෙන් පැමිණි දේවි ලෙස නම් ලැබූ S13 මැදිරියක් අඩි හැටපහක දිගින් තරවී සිටියදී කඳුරට මැණිකේ දිගින් අඩි පනහක් ලෙස හැඩව සිටින්නීය. 
කඳු නැගීමට පැමිණි මැණිකේ කරදරයකින් තොරව කඳු නගිනවාද? ඒ පිළිබඳ දෝෂ පවතිනවාද යන්න සොයා බැලීමට ක්ෂේත්‍ර චාරිකා කිහිපයක් මහ නුවර, බදුල්ල ඔස්සේ පසුගියදා සිදු කැරිණි. 


එකී බදුලු ගිය ගමනේදී ඉරිදා ලංකාදීප අපගේ කැමරා කාචයේ සටහන් වූ කඳුරට මැණිකේගේ සුන්දර සේයා රූ කිහිපයක් ඔබටද දැකබලා ගැනීමට අපි මෙහි පළකොට ඇත්තෙමු. 
ඇය කොළඹ සිට බදුලු දුවන්නේ කීයටද? ඇය සමග මගීන්ට සැලසෙන වාසි මොනවාද? ලංකා දුම්රිය ගමනේ සිදුවන වෙනස්කම් පිළිබඳ ඔබට පැවසීමට අප හා එක්වූවා අලුත ගෙනා දෙනුවර මැණිකේගේ ගමන් වේලා තීරණය කරන දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා. 
මම හිතන්නේ උඩරට දුම්රිය මාර්ගය තමයි ලංකාවේ මුළු දුම්රිය ඉතිහාසයම ලියැවෙන්න නිමිත්ත සැපයුවේ. කෝපි සහ තේ වගාවේ අස්වැන්න කොළඹට ගෙන ඒමේ අවශ්‍යතාවක ප්‍රතිඵලය අද අපට වටිනා දුම්රිය ඉතිහාසයක් සහ සේවයක් ලෙස හිමිව තිබෙනවා. 
මෙන්න මේ වටිනාකම වඩා විශිෂ්ට ආකාරයට අනාගතයට දායාද කිරීම මේ දිනවල ප්‍රවාහනයට එක් කරන නවීන දුම්රියන් සමග තව තවත් බල ගැන්වෙනවා. 
ඒ අනුව දුම්රිය ගමන්මගේ උපරිම ධාරිතාව අප දුම්රිය ගමන්වාර සඳහා යොදාගෙන තිබෙනවා. අලුතින් ඇරඹෙන කඳුරට මැණිකේ පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, ගම්පොළ, නාවලපිටිය, හැටන්, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පට්ටිපොළ, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල දෙමෝදර, යන දුම්රිය ස්ථානයන්හි නවත්වමින් බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනවා. 
ධාවනයට ගතවෙන කාලසටහන ගැන සඳහන් කළොත් කොළඹ කොටුවෙන් උදෑසන 7:10 ගමන අරඹන කඳුරට මැණිකේ සවස 16:51 වෙනවිට බදුල්ලට ළඟාවීමටත් නැවත කොළඔට එන ගමනේදී බදුල්ලෙන් උදෑසන හතයි තිහට පිටත්ව හවස 18.00 කොළඔට ළඟා වීමට නියමිතය. 
මේ නව දුම්රියන් උඩරට ධාවනයට එක්වීමත් සමග මෙතෙක් ප්‍රවාහන කටයුතු සිදුකළ තවදුරටත් මගී ප්‍රවාහනය කළනොහැකි බවට පරීක්ෂාවකින් තහවුරු කර ගන්නා දුම්රියන් සහ එන්ජින් ගෞරවාන්විත විශ්‍රාමගැන්වීමකට යොමු කිරීමටත් ඒවා දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. 
ඒ වගේම නවීකරණය කළ හැකි දුම්රියන් ප්‍රතිසංස්කරණය කොට එම මැදිරි කාර්යාලයීය දුම්රියන්ට එක්කොට මගීන්ට වැඩි ගමන් පහසුව සලසන්නත් අප බලාපොරොත්තු වෙනවා. 


ඉතින් මෙහිදී අප විශේෂයෙන් සඳහන් කළ යුතුයි දුම්රිය කියන්නේ ඔබේ දරුවන්ට අනාගත පරපුරට දායාද කළ යුතු සම්පතක්. මේ සඳහා යෙදවෙන්නේ ඔබේ මුදල්. ඉතින් දුම්රියට ආදරය ආරක්ෂාව සලසන කටයුත්ත මගීන් විදිහට ඔබට පැවරෙන යුතුකමක් මෙන්ම වගකීමක්. 
ඒ මහතා ඒම කාරුණික ඉල්ලීම ඔබට යොමු කරමින් දෙනුවර මැණිකේ යන එන ගමන්බිමන් ඒ ආකාරයට සැලසුම් කරනවිට දෙනුවර මැණිකේගේ හදවත බඳු ඇන්ජිමේ විස්තර අපට පැවසීමට එක්වුණේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දුම්රිය කර්මාන්ත වැඩබිමේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කීර්ති හේවාවිතාන මහතා. 
ඔහු පවසන ආකාරයට දෙනුවර මැණිකේ අංක 971 සහ අංක 972 දරන වායු සමනය කළ නියාමක සහ රියැදුරු කුටි සහිත එන්ජින් දෙකකින්ද සමන්විතය. 
චීන සමාගමක් වන චයිනා රේල්වේ රෝලින්ග්ස්ටොක් කෝපරේෂන් (china railway rollingstock cooperation)යන සමාගමෙන් මෙරටට ගෙන්වා ඇති අලුත්ම S14 දෙනුවර මැණිකේට පෙර චීනයෙන් මෙරටට ගෙන්වූ දුම්රිය කට්ටල වර්ග සංඛ්‍යාව තුනකි. 
S 9, S 10, 12 සහ අද දෙනුවර මැණිකේ ලෙස ධාවනයට එක්වෙන්නට මග බලන S 14 ත් සමග දුම්රියන් හතරකි. 
කිලෝවොට් 1500ක UIC සම්මත බල සැපයුමක් මෙම දුම්රියට සපයා ඇති අතර. මෙම බලවේග කට්ටලයට ඇතුළත සවිකොට ඇති එන්ජිම ජර්මනියේ MTU සමාගමේ නිෂ්පාදිත MTU12V4000R 41 දරන අංකය හිමි එන්ජිමකි. 
බල සම්ප්‍රේෂණ පද්ධතිය (Power Transmission System) AC-DC විද්‍යුත් පද්ධතියකින් සමන්විතය. 
මෙහි බොගිවල ඇක්සල් සැකසුම (Bogie Axle Arrangement) Bo-Bo ලෙස සකසා ඇති අතර එයට DC ට්‍රැක්ෂන් මෝටර් හතරකින් බලය සපයා ඇත. 
ඒ අනුව එක් ඇක්සල් එකකට වැටෙන බර ටොන් 18.5කි. 
ඇතුළත එන්ජිම විනාඩියට වට 1800ක් කැරකෙන අවස්ථාවේදී නිපදවෙන බලය කිලෝවොට් 1500 වන අතර එයින් කිලෝවොට් 1400 බලයක් දුම්රිය ධාවන අවශ්‍යතාවන්ට අවශ්‍ය වන අතර ඇතුළත සවිකර ඇති එන්ජිම S10 සහ S12 බලවේග කට්ටල වලට යොදා ඇති එන්ජින් වලට බොහෝදුරට සමානය. 
ඩීසල් ලීටර් 3500 යෙදවිය හැකි මෙම එන්ජිම ටොන් 74 බරින් යුතු වන අතර සිලින්ඩර 12කින් යුක්තය. 
 පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයෙන් ධාවනය කළ හැකි එන්ජිමේ දිග මීටර් 15.2/4කින් යුක්තය. 
වායුසමන පද්ධතිය චීනයෙන් මීට පෙර ආනයනය කළ එස් 12 එන්ජිමේ ක්‍රමවේදයට සමානය. නිකල් කැඩ්මියම් ඇල්කලයින් 170(Ah) ඇම්පියර් අවර් බැටර් පද්ධතියකින් සමන්විත විදුලි සැපයුමේ වෝල්ටීයතාව V 96කි. 

 

 


අලුත් රෝදයක උපරිම විෂ්කම්භය මිලිමීටර් 915 වන අතර එම රෝද මිලිමීටර් 845 ලෙස නැවත නැවත හැඩ ගස්සමින් භාවිත කළ හැක. 
වායු බැලුන් මතින් ක්‍රියාත්මක වන සස්පෙන්ෂන් පද්ධතිය ඇති දුම්රියෙහි ගමන මගින්ට වඩා සුවපහසුව දනවන්නකි. 
එන්ජිමට යොදා ඇති K N O R R තිරිංග පද්ධතියද ජර්මනියේ Knorr සමාගමේ නිෂ්පාදනය කර ඇති අතර එය බෑවුම් සහිත කඳු තරණයේදී ආරක්ෂාව තහවුරු කර ඇති බවට ලොව පිළි ගන්නා තිරිංග පද්ධතියකි. 
දුම්රිය කට්ටලයේ දෙපසට සවිකර ඇති එන්ජින් කේබල් පද්ධති දෙකක් මගින් එකිනෙකට සම්බන්ධ කර ඇති අතර ඒ දෙකම දුම්රිය රියැදුරුගේ ධාවන අවශ්‍යතාව අනුව සැකසිය හැක. 
එකම වේගයකින් අවශ්‍ය ධාවන බලය ලැබෙන සේ ස්වයංක්‍රීයව මෙම එන්ජින් ක්‍රියා කරවීමටත් විදුලි පරිපථ එකකට එකක් සම්බන්ධව වුවත් වෙන් වෙන්ව ක්‍රියාකරවිය හැකි නිසාත් එක් එන්ජිමක් ක්‍රියා විරහිත වුවද ඉතිරි එන්ජිමෙන් ගමන නිම කිරීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි. 
පරිගණකගත ක්‍රම මගින් දෝෂ නිවාරණය සහ එන්ජිමට අදාළ සියලුම දත්ත ස්වයංක්‍රීයව ගබඩාවීමේ පද්ධතියකින්ද S14 බලවේග කට්ටලය සමන්විතය. 
ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කීර්ති හේවාවිතාන මහතා සඳහන් කරන ආකාරයට යම් හෙයකින් අනතුරකදී දුම්රිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ තොරතුරු පරිගණක පද්ධතියෙන් ලබාගත හැකි වීම විශේෂත්වයක් වන අතර එය යම් ආකාරයක ගුවන් යානාවලට සවිකොට ඇති කළු පෙට්ටිය වැනි සමානව දත්ත ගබඩා වෙන පද්ධතියකි. 
මෙම පහසුකම සහ විශේෂිත පහසුකම් රැසක් සහිත ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ එකම දුම්රිය බලවේග කට්ටලය S14 ය. ජී.පී.එස්. තාක්ෂණය සහිත විනෝදාස්වාදය සමග ඊළඟ නැවතුම්පොළද පරිගණක තිරමත දර්ශනය වීම මගීන්ට ගමන් පහසුව සලසන්නක් වන අතර ප්‍රධාන විදුලි ආලෝකය පවා එල්.ඊ.ඩී. බල්බ වීම විශේෂත්වයකි. 
කඳුරට මැණිකේලා රැක බලා ගැනීම පහසු නැත. ඇයගේ සියලු කටයුතු ඉටුකිරීමට සියයකට ආසන්න සේවක මඩුල්ලක් ඇත. එකී කණ්ඩායම ඇය සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු අපගේ කැමරා කාචයේ සටහන් වූ අවස්ථාවක්ද අප දක්වා ඇත. 


 දවසින් දවස දුම්රිය අපට සොඳුරු මතකයන් ඉතිරි කොට අතීතයත්, වර්තමානයත් අනාගතයත් යා කරමින් ගමනේ යෙදෙනු ඇත. ඒ වටිනා සේවය සහ දුම්රිය රැක බලා ගැනීම අපගේ යුතුකමට එහා ගිය වගකීමකි. 
මගීන් සවන් දෙන්න..... තුන් වැනි වේදිකාවට පැමිණි දෙනුවර මැණිකේ දුම්රිය බදුල්ල බලා ගමන් ගන්නවා ඇත. දෙනුවර මැණිකේ පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, ගම්පොළ, නාවලපිටිය, හැටන්, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පට්ටිපොළ, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල, දෙමෝදර යන දුම්රිය ස්ථානයන්හි නවත්වා බදුල්ල දක්වා ගමන් කරනු ඇත.  ඕන්න ඉතින් දෙනුවර මැණිකෙත් කඳු නගින්නයි ලැහැස්තිය. මොකද කියන්නේ අලුත් කෝච්චියෙන් යමුද පුංචි රවුමක්? 

 

 

 

රේඛා තරංගනී ෆොන්සේකා