ඉබ්බා තැම්බූ මස් වැද්දාට දෙනෙත අහිමිවෙයි


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


බළලා මැරූ ධනපාලට ජලභීතිකාව වැළඳෙයි  


කොළඹට නුදුරු හමුදා කඳවුරක සේවය කළ හමුදා සෙබළෙකු (ධනපාල යැයි හඳුන්වමු) නිතර අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා උසස් නිලධාරීහු මොහු මුළුතැන්ගෙයට අනුයුක්ත කළහ. එහිදී එක් අයෙකුට දෙදෙනකුට නොව හාර පන්සියයකට උදේ, දහවල්, රාත්‍රී ආහාර පිසීම නිසා අපතේ යන ආහාර කෑම සඳහා සුනඛයෝ හා බළල්ලු ද පොකුරු පිටින් අවට නිතර ගැවසුණහ.  


මෙසේ සතුන් පැමිණීම ‘ධනපාල’ට මෙන්ම අන් අයට ද හිසරදයක් වුවත් අන් අය ඒ අහිංසක සතුන් බිය කර එළවා දැමූහ. ‘ධනපාල’ කරනුයේ අත තිබූ පිහියෙන් හෝ අතට හසුවන ඕනෑම දෙයකින් දමා ගැසීමයි. මර හඬ දී දුවන සතුන්ට නැවතත් පහර පිට පහර එල්ල කළේය.  


එයින් නොනැවතුණු ‘ධනපාල’ අහිංසක බලු පැටව් හා බළල් පැටව් පණ පිටින්ම ළිපට දමන්නේ සිනහවෙමින් අත්පුඩි ගසමින් උඩ පැන විසිල් ගසමිනි. අහිංසක සත්තු ද මොහු සිටින විට පළාතකටවත් නොආහ.   
යළි සුපුරුදු ලෙස සතුන් ගැවසෙනුයේ ‘ධනපාල’ගේ නිවාඩු දවසකට හෝ මුළුතැන්ගෙයි නොමැති වේලාවන්වලදීය.  


‘ධනපලා’ ගේ අවාසනාවන්ත කාලය උදා වන්නට පටන් ගත්තේ ඔය අතරය. බදාදා දින අනිවාර්යයෙන්ම කුකුළු මස් දහවලට දෙන දිනයකි. මෙදින මොහුට පැවැරී තිබුණේ මස් කැපීමෙ රාජකාරිය නිසා මොහු ඒ සඳහා සැරැසෙනවාත් සමඟම ආගන්තුක බළලෙකු පැමිණියේ ඉවත දමන මස් කටු කෑමටය.  


‘ධනපාල’ කළේ අත තිබූ මන්නයෙන් බළලාට දමා ගැසීමය. මන්න පහරින් බළලාගේ පසුපස ගාත් දෙක දෙකට වෙන් විය. මර ළතෝනි දෙන බළලාට දිව යෑමට නොහැකිව එක තැන දඟලන්නට විය. මෙය දුටු අන් සෙබළු ‘ධනපාල’ට බැණ වදිමින් සතාට සාත්තු කරන්නට වූහ. එහෙත් පැය 6 කට පමණ පසු බළලා අවසන් ගමන් ගියේ අධික ලෙස රුධිරය වහනය වූ නිසාය.  


දිට්ඨධම්මවේදනීය කර්මය අනුව කරන ලද පාපය පැය 24ක් යෑමටත් පෙර ‘ධනපාල’ට පල දුන්නේය. ඒ රාත්‍රී කෑම පිසීම සඳහා කරවල කපන්නට ගිය ‘ධනපාල’ අසල තිබූ රබර් කොටයක පාදය පැටලී වැටුණේය. ඒ ද අමුතුම ආකාරයටය. මන්නය මතට මුහුණේ පැත්තක් වැටුණ අතර කනෙන් භාගයක් වෙන්වී ‘ධනපාල’ මොර දෙන්නට විය.   


මීට වසර පහළොවකට පෙර වෛද්‍ය විද්‍යාව නොදියුණු නිසා රෝහලේ දී කන බද්ධ කිරීමටවත් නොහැකි විය. කනේ භාගයකට හිමිකම් කී ඔහු නැවත කඳවුරට පැමිණිය ද සත්ව හිංසාව නැවතුණ ද දැනට වසර එක හමාරකට පමණ පෙර මිය ගියේ ද සුනඛයකු විසින් සපා කා ‘ජලභීතිකා’ රෝගය වැළඳීමෙනි.  

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා සැපයූ කතාවකි.  

ඉබ්බා තැම්බූ මස් වැද්දාට දෙනෙත අහිමිවෙයි  


කලකට පෙර අපේ රටේ ගම්බද සුන්දරත්වය විනා ඝෝෂාකාරී ජනාකීර්ණ වූ කටුක පරිසරයක් තිබුණේ නැත. කෙත්වතු දිය ඇලි රන්වන් කරලින් බරවූ කුඹුරු යාය සතා සීපාවා මලිති, බටිති, ගිරා, කුරුලු කොබෙයියන් සුන්දර චමත්කාර දසුනක් වූ බව නොරහසකි.   


ගැමි ජනතාවට කිසිදු ආහාර අහේනියක් නොතිබුණි. වස විස අඩංගු කෑම බීම නොගත් බැවින් මී උණ, දියවැඩියා, ප්‍රෙෂර්, ෂුගර්, කොලොස්ට්‍රෝල් හා හෘද රෝග ආදී ලෙඩ දුක් වැළඳුණේ නැත. කොටින්ම කියතොත් උණක් හෙම්බිරිස්සාවක්, බ​ෙඩ් අජීර්ණයක් ආදී සුළු ආබාධයක් මිස දැන් මෙන් මාරාන්තික රෝග ගැන අහන්නවත් නොලැබුණි.  


දැනට නගරබද ‘ලේ මුත්‍රා’ පරීක්ෂා කිරීමේ ආයතන අඩියෙන් අඩිය තිබුණත් එදා තම ශරීරයේ ලේ තිබෙනවාද? නැද්ද? කියා දැන කියා ගැනීමටවත් කිසිවෙකුට වුවමනාවක් තිබුණේ නැත. බාල, තරුණ, වැඩිහිටි, මහලු කොයි කවුරුත් ගමේ ආහාරපාන බුදිමින් වියපත් වෙනතුරා වෙහෙස මහන්සිවී වැඩවල යෙදෙමින් නිරෝගිමත් ජීවිත ගතකළ බව සත්‍යයකි. හදිසි මරණයක් ගැන අහන්නට කලාතුරකින්වත් නොලැබුණ අතර නහරයක් පිපිරී මළත් ඒ ‘යකෙක් ගහලා’ යයි ගමේ අයගේ විශ්වාසය විය.   


ගම්බද නිවැසියන්ට වී සහල්, අල, බතල, එළවළු, පලතුරු, කිරි, බිත්තර, දඩමස් හා වෙල් මාළු, පොල් රා, පැණි හකුරු, කිතුල් රා ආදිය නොඅඩුව තිබුණි. ඇති නැති අය බෙදා හදාගෙන කෑමට බීමට හුරු පුරුදුවීම සමගියේ ලකුණක් විය.  


මේ අතර ගමේ අතුපැලක දිවි ගෙවූ දඩමසට ලොල් වූ මස් වැද්දකු බඳු වූ “සිරා” හැන්දෑ කොරේ කඩපිලට යනවිට මඩවගුරේ ඇවිද යන ඉබ්බෙක් දුටුවේය. සැණෙකින් ඌ අල්ලාගෙන ගෙදර ගෙනගිය සිරා ඉබ්බා මස් කිරීමට සූදානම් විය. ගෙමිදුලේ අයිනක ළිපක් බැඳ ඒ මත වතුර පිරවූ මැටි බඳුනක් තබා ගණ සැරේට ගිනි දැම්මේ ඉක්මනින් වතුර උතුරවා ගැනීමේ අදහසිනි.  


ටික වේලාවකින් වතුර පිරවූ මැටි මුට්ටියේ වතුර ලෝදිය මෙන් උතුරමින් පැහෙන්නට විය. ඉක්මනින් අසල සිටි ඉබ්බා දෑතට ගත් සිරා හෙමින් සීරුවේ ඌ නටන වතුර හැළියට දැම්මා පමණි. හැළියට වැටුණ ඉබ්බා මරු විකලෙන් පණ බේරා ගැනීමට ඉහළට පැනගත් විට නැවත ඒ මතටම වැටී වතුර මුට්ටිය කුඩු පට්ටන් වී ගිනියම් වූ උණු වතුරට අසල සිටි සිරාගේ මුහුණකට හා පපු පෙදෙස අධික ලෙස පිළිස්සී ගියේය.  


කිසි විටෙකත් මෙවැන්නක් සිදුවේයැයි බලාපොරොත්තු නොවූ සිරා මර ළතෝනි දී අවසිහියෙන් බිම ඇද වැටුණේය. ඔහුගේ කෑ ගැසීම අසා අහළ පහල උදවිය පැමිණ රෝගියා ළඟම ඇති ​රෝහල කරා ගෙන ගියත් උණුවතුරට දැඩි ලෙස පිළිස්සී ගිය සිරාගේ දෙනෙත් සුවපත් කළ නොහැකි විය.   

 



දෙල්ගොඩ, මීගහවත්ත සී.පී. වීරසේකර මහතා ලියා එවූ කතාවකි. 

හොරපොල් කැඩූ සයිමන් අප්පුට කළකම් පළදෙයි  


මීට දශක තුන හතරකට පමණ පෙර සිදුවූ සත්‍ය සිද්ධියකි.  ඔහු සයිමන් අප්පුය. පිට පළාතකින් පැමිණ අනුන්ගේ ඉඩමක කුඩා ගෙයක් සාදාගෙන පදිංචිවී සිටියේය. මැදිවයසේ පසුවූ හෙතෙම බිරිඳ සහ දරුවන් පස් දෙනා සමග ජීවිතේ ගෙනගියේ කුලියට පොල් කැඩීමෙනි. ඔහුගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 12ක් වූ අතර බාලයාගේ වයස අවුරුදු 4කි. මෙයින් බාල දෙදෙනා ගෑනු ළමෝයි.  


ගමේ කොයි කවුරුත් මුණගැසුණු විට හිස පහත්කොට සිනාසීම ඔහුගේ පුරුද්දකි. එකල ගසක පොල් කැඩීම සඳහා කුලිය ශත දහයකි. කුලියට අමතරව ඉඩමක පොල් කැඩූ විට පොල් ගෙඩි දෙකක් ද ඔහු ගනී. ඒවා හැඳින්වූයේ ‘බැල ගෙඩි’ නමිනි. පොල් ගෙඩියක් වික්කේ ද ශත දහයකටය.  


‘ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි’ කීවාසේ ගමේ කොහේ හෝ ඉඩමක ගසකින් රාත්‍රි කාලයේ පොල්වල්ලක් හොරෙන් කපා ගැනීම ඔහුගේ නරක සිරිතක් විය. සතියකට තුන් වරක් පමණ ඔහු මේ හොරකම කරයි.  
එකල නිවාස පිහිටි ඉඩම් අඩු තරමින් එකක් අක්කර කාලකටවත් අඩු නොවීය. එම නිසා නිවාස සාදා තිබුණේ මහා මාර්ගයට තරමක් ඈතින් මෙන්ම එකකට එකක් සෑහෙන දුරකින්ය. මහා මාර්ගයේ හා නිවාසවල ද විදුලි ලාම්පු නොතිබුණි. එළිය ලබා ගත්තේ පැට්‍රොල් ලාම්පු, චිමිනි ලාම්පු හා කුප්පි ලාම්පුවලිනි. සවස හය පසුවූ විට මාර්ගය අඳුරේ ගිලී තිබූ අතර වාහන ගමනාගමනය සිදුවූයේ ද අතරින් පතරය. මේ නිසා සයිමන් අප්පුගේ රාජකාරිය පහසුවෙන් කර ගැනීමට අවකාශ තිබුණි.  


තමා පොල් කඩන ඉඩම්වල ලොකු පොල් තිබෙන ගසක තරමක පැසුණු පොල්වල්ලක් ඉතිරිකර කැඩීම ඔහුගේ සිරිතය. පසුදිනක රෑ කාලයේ ගොස් එය කඩාගෙන ගෙදර ගෙනෙයි. පොල් විකිණීමට ගෝනියක දමාගෙන යන විට කවුරුන් හෝ සැකයෙන් බැලුවොත් හෝ විමසුවොත් මේ ‘බැල ගෙඩි ටිකක් ලෙලි ගහගෙන ආවා’ යනුවෙන් පවසයි. එවිට සැක කළ තැනැත්තාගේ සැකය දුරුවෙයි.  


සයිමන් අප්පුගේ හොර පොල් කැඩීම ගැන ඔහු​ගේ බිරිඳගේ අකමැත්තක් නොවුණ අතර ඇගේ සහයෝගය හා අනුබලය ද ඔහුට ලැබිණ. ඔහු ඒ කාර්යය සඳහා යෑමට පෙර තමා යන ඉඩමේ නම බිරිඳට පවසයි. එවිට පොල්වල්ල කපාගෙන ඒමට ගතවන කාලය පිළිබඳ දැනීමක් ඇයට තිබුණි.  


මෙසේ කල් ගතවෙද්දී දිනක් රාත්‍රී 7.30ට පමණ පිහියත් ඉනේ ගසාගෙන තමා යන ඉඩමේ නම බිරිඳට පවසා පිටත්ව ගියේය. ඇය අනුමාන කළ වෙලාවට සයිමන් අප්පු නොපැමිණීම නිසා තරමක් නොසන්සුන්වූ ඇය තවත් පැයක් පමණ බලා සිට කලබලවී අසල නිවසකට ගොස් තරුණයකුට කතා කළාය.  


‘අනේ මල්ලියේ අපේ මනුස්සයා 7.30ට පමණ අර පැත්තට ගියා. ටිකක් බලන්න යමුද?’ කියා විමසූ විට තරුණයාගේ පියා, රාත්‍රී කාලයේ මැදිවියේ කාන්තාවක සමග වුවද තම පුතා යැවීමට නොකැමැතිවී ඒ කාන්තාව සමග ඔහු ද හුළු එළියක් දල්වාගෙන පිටත්විය. මඳ දුරක් යද්දී තරුණයාගේ පියාට සැකයක් ඇතිවී කාන්තාවගෙන් විමසූ විට ඇයට සත්‍ය හෙළි නොකර සිටීමට නොහැකි විය.  


‘අනේ මහත්තයෝ අපේ මිනිහට කොච්චරවත් කිව්ව ඔය ජරා වැඩේ කරන්න එපා කියලා. කෝ ඇහුවයැ. රෑට රෑට ගිහින් කාගෙ හරි ඉඩමකින් හොරෙන් පොල් වල්ලක් කපාගෙන එනවනේ. ඔය අදත් ගියේ ඒකට තමයි’ ඇය සුදනා වෙමින් කීවාය.  


දැන් ආපු නිසා කරන්න දෙයක් නැහැයි සිතමින් පිය පුතු දෙදෙනා ගැහැනිය පිටුපසින් ගමන් කළහ. ගැහැනිය ඉඩම හරිහැටි දන්නා නිසා එයට ඇතුළු වූ පසු අනෙක් දෙදෙනා ද ඉඩමට ඇතුළු වූහ. මඳක් විපරම් කරන විට සිහින් කෙඳිරිලි හඬක් ඇසී බලනවිට තැන තැන ගෙඩි විසිවී ගිය පොල්වල්ලකුත් ඒ අසල වැටී සිටි සයිමන් අප්පුත් දැකගත හැකි විය.  


තරුණයා වහා ගොස් කරත්තකරුවෙක් සහ කරත්තයක් ගෙනැවිත් ඔහු ග්‍රාමීය රෝහලට ගෙනයන ලදී. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා තිබුණේ සුසුම්නාවට බරපතළ හානි සිදුවී ඇති නිසා ගිලන් රියක් ගෙන්වා ගෙන මහ රෝහලට යැවිය යුතු බවය.  


පසුදා උදෑසන වනවිට ලැව් ගින්නක් සේ මෙම පුවත ගම පුරාම පැතිරී තිබුණි.  


මාසයක් පමණ අප්‍රමාණ දුක් විඳ රෝහල් ඇඳ මත සයිමන් අප්පු මිය ගියේය. හොරකම් කිරීමේ අකුසල කර්මයේ විපාක මෙලොවදීම විඳින්ට සිදුවූ අතර ඊට අනුබලදීමේ විපාක වශයෙන් ඔහුගේ බිරිඳට දරුවන් පස් දෙනෙක් සමග පාරට බැසීමට සිදුවිය.  

 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ‘ඉරිදා ලංකාදීප’යට යොමු කරන්න.

 

 

 

 

 

 

සකස් කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්