ඉන්දුනීසියා සුනාමියෙන් කළුතර වැලිපරය සේදී ගියේ මෙහෙමයි


අලුතින් නිර්මාණය වූ දූපත අනගාරික ධර්මපාලතුමන් නමින්...

 

 

‘පීනමුකෝ කළු ගගේ 

කිරි බැබලෙන හඳපානේ’ 


කළු ගඟ දකින විට කාගේත් සිහියට නැගෙනුයේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ ඒ සදා කල් පවතින ගීතයයි. 


පණ්ඩිත් අමරදේවයන් එදා සිප් සතර හැදෑරීම සඳහා උතුරු කළුතර නවාතැ​ෙන් සිට දකුණු කළුතර පිහිටි කළුතර මහා විද්‍යාලය දක්වා ගමන් කළේ කළු ගඟ හරහා ඉදිවී තිබූ පාලම මතිනි. 


එදා තිබූ ආරුක්කු පාලම වෙනුවට නව පාලමක් ඉදිවී ඇතත් කළු ගං කොමළිය එදා මෙන් අදත් එම පාලම යටින් මහා සාගරය වෙත ගමන් කරමින් සිටි. 


එකම ගංගාවක ඇරඹුමත් අවසානයත් යන දෙකම දැක බලා ගත හැකි එකම නගරය වනුයේ කළුතරයි. පැහැදිලි උදෑසනක කළු ගං පාලම මත සිට බැලූ විට කළු ගඟ ගමන් අරඹන සමනල ගිරි හිසත් ආපිට හැරී බැලු විට කළු ගං මෝයත් දැක බලා ගත හැකිය. 


කළුතර ප්‍රදේශයෙන් මහා සාගරයට ගලා බසින කළුගඟ, ශ්‍රී ලංකාවේ දෙවන විශාල ගඟයි. ගඟ ගලා බසින සම්පූර්ණ දිග ප්‍රමාණය සැතපුම් 73කි. ජලය ගලා බසින මුළු ප්‍රදේශයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2688කි. 
ඈත අතීතයේදී කළුගඟ මිනිසාට සෘජුවම ප්‍රයෝජනවත් විය. එමෙන්ම පාරිසරික ලෝලීහු කළුගඟ හාත්පස දර්ශනීය සිරියාවෙන් සැමදාම කුල්මත් වූහ. එමෙන්ම ආස්වාදජනක හැඟීම් ඇතිකර ගත්හ. 


කළුතර පාලමෙහි සිට අවට සිරි නරඹන ඕනෑම පාරිසරික ​ලෝලියකුට කළුගඟ චමත්කාර දර්ශනයකි. ඈතින් ඈත සිට කළපුව දෙසට ගලා එන ජල ධාරාව දෙස සැමදා නෙත් හෙළා සිටිනු ලැබුවත් විඩාවක් නම් නොදැනේ. ඈත අතීතයේ ජීවත් වූ පාරිසරික ලෝලින්ගේ සටහන් විමර්ශනය කිරීමේ දී මෙම කරුණ වඩාත් සුන්දර ලෙස දැකිය හැකිය. ලන්දේසි යුගයේ ඉතිහාසඥයකු වූ දික්වේරු කළුගඟ මෙසේ වර්ණනා කරයි. 


ස්ව​දේශිකයෝ කළුගඟ, සන්තෝෂ ගඟ ලෙසද හඳුන්වති. එහි අර්ථය ප්‍රීතිමත් නදිය යන්නයි. සීතල වන වදුළු හරහා දර්ශනීයව ගලා බසියි. බ්‍රිතාන්‍යයෝ එක්දහස් නමසිය තිස් ගණන්වල සෞඛ්‍ය සම්පන්න ප්‍රදේශයක් වශයෙන් නුවරඑළිය හඳුනාගැනීමට පෙර යුරෝපීයන්ගේ සත්කාරාගාරය ලෙස කළුතර ගඟ අසබඩ සැලකුම් ලැබීය. යුරෝපියයෝ වඩාත් සනීපදායි දේශගුණය ආස්වාදය ලබාගනු පිණිස කළුතරට පැමිණියාහුය. 
කළුග​ෙඟ් ජල ගමන් මාර්ගය ඉතා දීර්ඝ වූවකි. ඇය තම ගමන ආරම්භ කරන්නේ කුරුවිට ප්‍රදේශයේ ඉඳිකටුපානෙනි. මෙසේ ඉඳිකටුපානෙන් ගලා බසින කුඩා ශාඛාවකින් ඇරඹෙන ජල ප්‍රවාහයට සමනල කන්ද දකුණු බෑවුමේ ඇති සියලුම ඇළ දොළෙහි ජලය එකතු වේ. මෙයට පළමුවෙන්ම යාවෙන අතු ගංගාව මුහුදු මට්ටමින් අඩි 4500ක උස් බෑවුමකින් ආරම්භ කරන බලවානේ ඔයයි. ඉන් අනතුරුව දකුණු දිශාවට ගමන්කරමින් රත්නපුරය දිසාවට ගලා බසින ගඟද, ඉඟුරු ගඟද, ගිලිමලේට මඳක් උතුරේදී එක්වේ. එතැන් පටන් ගලන ජල ප්‍රවාහයට දෙනවක් ගඟේ ප්‍රධාන අතු ගංගාව වන බමරබටුව ඔය, ලෑන්ඩ්ස්ටවුන් වත්ත ආසන්නයේදී එක්වේ. 
ඉන් අනතුරුව මුහුදින් ඉතා ඈතින්ම පිහිටි කළුගඟේ ප්‍රධාන අතු ගංගාව වන වේ ගඟ රත්නපුරයේදී එක්වේ. මේ ගඟෙන් කළු ගඟට වාර්ෂිකව ලැබෙන ජලය ප්‍රමාණය ඝන මීටර් 28,60,000කි. රත්නපුර නගරයට ආසන්නයේදී තවත් කුඩා අතු ගංගාවක් වූ ඇත් ඔය, කටුගස් ඇළ එකතුවේ. එමෙන්ම විශාල ගංගාවක් වන හංගොමුව සහ නිරිඇල්ල ගංගා දෙකම එකට එකතු වී රදැල්ලේදී කළුගඟ සමග එකතුවේ. ඉන් ඉක්බිතිව එකිනෙකට සමාන්තරව පිහිටි කඳුවැටි කිහිපයක් අතරින් ගලාබසින කළුගඟට ශාඛා ගංගා කිහිපයක් එකතු වේ. මෙයින් වැදගත් ගංගා දෙකක් වශයෙන් හැඳින්විය හැක්කේ මෝදරදි එක්වන කුරු ගඟත් දොඩංගොඩ අසලදී එකතු වන ගලතුරේ ඇළත්ය. ගඟබඩ පත්තුවේ සහ කුකුල් කෝරළේ ජලය ගෙන එන කුඩා ගඟ අඟුරුවාතොට ආසන්නයේදී කළුගඟට මුණ ගැසේ. මෙසේ ගලා බසින කළුගඟ කළුගොඩදී නිරිත දෙසට හැරී කළුතර තෙක්ම ඒ දිශාවෙන්ම ගලා ඇවිත් දකුණු දෙසට හැරී කළපුවට එක්වේ. ඉන් මුහුද දෙසට ගමන් කරයි. මෙසේ කළුගඟ ඔස්සේ මුහුදට වාර්ෂිකව ගලා බසින ජල ප්‍රමාණය ඝන මීටර් 7,60,00,000කි. 


කළුගං කළපුවත් මහා සාගරයක් හරහා වූ වැලි පරය මෙරට වූ සුවිශේෂී රමණීය ස්ථානයක් විය. එය උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයේ සිට කළුගං මෝය දක්වා කිලෝමීටර් ගණනක් ඈතට විහිද ගොස් තිබුණි. 
ඉතා පළල් බිම් තීරයක් වූ ඒ මතින් වාහන මෝය කට දක්වාම ගමන් කිරීමේ හැකියාව තිබුණි. 


මාදැල්කරුවෝ මාදැල් වට කොට තම ජීවිකා වෘත්තියද මෙම ස්ථානයේ සිදු කළහ. එමෙන්ම මාහැඟි පරිසර පද්ධතියක්ද විය. 
සුනාමියටවත් බිඳී නොගිය මෙම පරිසර පද්ධතිය ඉකුත් වසරේ ගංවතුර සමග කැඩී බිඳී ගියේය. 


කළුගඟේ මහා ජල කඳ පැරණි මෝය කට සොයා නො​ෙගාස් වැලිපරය කැඩී යාමෙන් අලුතෙන් සෑදුණු මෝය කට හරහා මුහුදට ගලා ගියේය. 


කළු ගඟ වෙනදා මුහුද බලා ගියේ එක එල්ලේම නොවේ. මනරම් කළපුවක්ද නිර්මාණය කරමිනි. එහෙත් වැලි පරය බිඳී යාමත් සමග එම කළපුව අහෝසි විය. කොටින්ම කිවහොත් ගඟම මුහුදක් බවට පත් විය. මුහුදු රළ ගොඩබිම දක්වාම ගලා ආවේය. ඒ මුළු කළුතරම හීතියට පත් කරවමිනි. 


මුහුදුබඩ දුම්රිය මාර්ගය, ගාලු පාර, දකුණු කළුතර දුම්රියස්ථානය, කළුතර නාවික හමුදා කඳවුර, කළුතර පාලම හා කළුතර චෛත්‍ය රාජයාණන්ගේ සක්මන් මළුවද මේ අනුව මහත් අවදානමකට ගොදුරුවී තිබුණි. 
කිසිවෙකු විසින් අලුතෙන් මෝයක් කැපීමෙන් වැලිපරය බිඳී ගිය බවට ඇතැම්හු චෝදනා කළහ. කළුගං මෝය හා කැලිඩෝ වෙරළ ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් ඇතැම්හු උද්ඝෝෂණය කළහ. වරෙක කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවැත්වෙමින් තිබූ රැස්වීම්වලට අනවසරයෙන් කඩාවැදී විරෝධය පළ කළහ. 


මෙහිදී කළුතර දිසා ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා කියා සිටියේ කිසිවෙකු අලුතෙන් මෝයක් නොකැපූ බවය. එසේ කියනවා දුටු අයෙකු සිටී නම් පොලිසිය දැනුවත් කරන ලෙසද කළුතර දිසා ලේකම්වරයා එම පිරිස හමුවේ කියා සිටියේය. 


කෙසේ වුවද කළු ගං මෝය ශත වර්ෂයකට වඩා කාලයක් තිස්සේ වෙනස්වූ ආකාරය තහවුරු කෙරෙන ඓතිහාසික සාධක හමුවී තිබේ. ඒ බව කළුතර තේජාන් ප්‍රින්ටර්ස් මගින් ප්‍රකාශයට පත් කරන ලද මනෝ ප්‍රනාන්දු විසින් රචිත කළුතර නම්වූ කෘතියේ සඳහන්වී ඇත. 

 

නිවෙස් කරා ඇවිත් තිබූ මුහුදු වතුර ඉවත් කළ අයුරු.

කැලිඩෝ වෙරළ

 


එහි මෙසේ සඳහන් වේ. 


කළුතර ප්‍රදේශයේ සුවිශේෂතාව නම් ප්‍රදේශය මැදින් කළු ගඟ ගලා බැසීමය. එපමණක් නොව කළු ගඟ, ශ්‍රී ලංකාවේ දෙවැනි දිගම ගඟයි. එබැවින් කළු ගඟ මහ සාගරයට සම්බන්ධවීම මෝය කට ආශ්‍රිත පැරැණි තොරතුරු අනාවරණය කර ගැනීම ආස්වාදජනක වේ.


19 වැනි සියවසේ මැද භාගයේදී කළු ගඟ මෝය කට දකුණු දෙසට පැතිරෙන්නට විය. ඉංග්‍රීසි ආණ්ඩුව ගඟෙහි ගමන් මග වෙනස්වීම මහත්​ සේ සැළකිල්ලට ගනු ලැබීය. ඒ මන්දයත් ඒ මගින් පාරිසරික ගැටළු මතුවීමට ඉඩ තිබූ බැවිනි. එවකට ප්‍රදේශයේ පරිපාලන කටයුතු මෙහෙය වූ කළුතර ප්‍රාදේශීය මණ්ඩලය මෙය නතර කිරීමට විවිධ ප්‍රයත්න දැරුවේය. එහෙත් එම උත්සාහ සියල්ල නිරර්ථක කරමින් කළු ගං මෝය කට දකුණු දෙසට වඩ වඩාත් සංක්‍රමණය වෙන්නට විය. එක් අවස්ථාවක දී කළුතර ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති ෆව්ලර් මහතා මෝය කට සංක්‍රමණයවීම නැවැත්වීමට ඵලදායි යෝජනාවක් කිරීමට සමත් අයකුට රු. 500 ත්‍යාගයක් දෙන බවට පොරොන්දු විය. එහෙත් කිසිවෙක් ක්‍රියාත්මක කළ හැකි විශ්වාසවන්ත යෝජනාවක් ඉදිරිපත් නොකළහ. එක් වරක උණබම්බු වැටක් ඉදිකර ගඟ ගැලීමේ ගමන් මාර්ගය ක්‍රමවත් කිරීමට උත්සාහයක් ගැනිණි. එය අසාර්ථක විය. 


කළු ගඟ මෝය කටට සිදුවූ විපර්යාසයට අදාළ වාර්තාවක් 1907 දී කළුතර උප දිසාපතිගෙන් බස්නාහිර දිසාපති ඉල්ලා සිටියේය. එයට අනුව කළුතර උපදිසාපති විසින් 1907 ජූනි 16 දාතමින් බස්නාහිර පළාතේ දිසාපති වෙත වාර්තාවක් යොමු කරන ලදී. බස්නාහිර පළාතේ දිසාපති 1907 ජුනි 18 දින එම වාර්තාව යටත් විජිත ලේකම්වරයා වෙත ඉදිරිපත් කළේය. අංක 1085 දරණ එම වාර්තාවේ සාරාංශගත සිංහල අනුවාදයක් පහත පළ කරමු. 


ප්‍රාදේශීය මණ්ඩල කාර්යාලයේ තිබෙන ලිපි ලේඛනවලට අනුව කළු ගඟ මෝය කට සම්බන්ධ සිදු වූ වෙනස්කම් සාරාංශ ගත කරමි. 


1878 වන තෙක්ම එනම් කළුතර දුම්රිය පාලම නිමකොට වර්ෂයක් ගතවන තෙක් කළු ගඟ පැරැණි බල​ෙකාටුව වටා ගලා ගෙන අවුත් අනතුරුව දකුණු දිසාවට ගමන් කළේය. ගඟ ගැලුවේ නිරන්තරවම කොළඹ-ගාල්ල මහාමාර්ගයට සමාන්තරවය. පැරණි බල​ෙකාටුවට සැතපුම් 1 1/2ක් දකුණු දිසාවට වෙන්නට කටුකුරුන්දේ දී ගඟ මුහුදට සම්බන්ධ විය. ගඟෙහි ජලය අධික කාලයේදී දිය පහර වේගයෙන් ගැලීමට සලස්වනු වස් ගඟ හා මුහුද අතර වැලි තට්ටුව කපා ඉවත් කරනු ලැබේ. එසේ නොවිණිනම් කළුතර නගරය ද ඉවුරට ඉහළින් පිහිටා තිබෙන ගම්මාන ද ජලයෙන් යටවීම වැළැක්විය නොහැක. ගඟ සන්සුන් වූ පසු ඉවත් කරන ලද වැලි තට්ටු නැවත පුරවනු ලැබේ. කෙසේ නමුදු 1878 වෙන විට මෙය ස්ථිර මෝය කට වශයෙන් සකස් විණි. 


මෙම වකවානුවේදී මහජනයා තුළ පැවැති සාමාන්‍ය අදහස වූයේ දුම්රිය පාලම ​ෙගාඩනැගීම හේතුකොට ගෙන මෝය කට වෙනස්වී යැයි යන්නය. එනමුදු මෙම අදහස ප්‍රසිද්ධ වැඩ අධ්‍යක්ෂ ප්‍රතික්ෂේප කරයි. 1880 දී ආණ්ඩුවට යොමු කරන ලිපියක් මගින් කළු ගඟේ මෝය කටෙහි සිදුවෙමින් පවතින වෙනස සහ දුම්රිය පාලම ගොඩනැගීම අතර කිසි සම්බන්ධතාවයක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. තව ද කැලණි ගඟෙහි පාලමක් නොමැති නමුත් මෝය කට වෙනස්වූ බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය. 


1893 දී මෝය කට දකුණු දිසාවට තවත් වේගයෙන් යොමුවීම නිසා වම් ඉවුර බරපතළ ලෙස ඛාදනය විය. මේ නිසා ඉහළින් වූ පොල් වතු යායටත්, දුම්රිය මාර්ගයටත් මහත් හානි සිදුවිය. 1896 දී ජලය දුම්රිය ස්ථානයට විරුද්ධ දිසාවට ළංවීමට දැරූ තැත වැළැක්වීම පිණිස වේල්ලක් යොදන ලදී. එහෙත් මෙම උත්සාහය නිශ්ඵල වූයේය. ගඟේ ජල පහරට වේල්ල බිඳිණි. ජල පහර නැවැත්වීම පිණිස සැලසුම් යෝජනා වූ නමුදු ක්‍රියාත්මක නොවීය. එහෙයින් තව තවත් දකුණු දෙසට මෝය ගමන් කරන්නට විය. 


1903 වැදගත් සිදුවීමක් ඇතිවිය. මෝය කට නැවත පැරණි ස්ථානයටම එනම් කටුකුරුන්දට ළඟාවීමය. 1903 න් වර්ෂ කිහිපයකට පසුව මෝය කට දැන් තිබෙන ස්ථානය කරා නැවත ගමන් කළේය. 


මා සිතන පරිදි ඉහත කරුණුවලින් හැඟෙන්නේ මෝය කට වෙනස්වීම වේගවත් ජල ප්‍රමාණයක් සමග සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි. 1877 දී දුම්රිය පාලම ගොඩනැගීම මෙම සංසිද්ධියට බලපෑමක් නොකරයි. පාලම් දෙක තිබීම මගින් එය වතුරේ වේගය අඩු කිරීමේ පුනීලයක් ලෙස ක්‍රියා කරයි. 


ඉහත දීර්ඝ ලිපිය මගින් උපදිසාපති මෝය කට වෙනස්වීම අරබයා පැවැති ව්‍යාකූලත්වය මග හැරවීමට උත්සාහ ගත්තේය. 


වර්තමානයේ විසිඑක් වැනි සියවසේ මෝය කට හා දහ නව වැනි සියවසේ මෝය කට තිබූ ස්ථානය අතර ඇත්තේ විශාල පරතරයකි. 


මූලාශ්‍ර Government document 1900-1928 


එම කෘතියේ එසේ සඳහන් වේ. 


එහෙත් වැසි සමය නිමවී වියළි කාලගුණික තත්ත්වය ඇතිවීමත් සමග කළු ගං මෝය සහ මුහුදත් කළු ගඟත් වෙන් කළ ස්වභාවික වැලි පරය යළි නිර්මාණයවීමට පටන් ගත්තේය. 
එහෙත් මෙවර එය නිර්මාණය වූයේ ඉතිහාසය වෙනස් කරමිනි. 


උතුරු කළුතර කැලිඩෝ වෙරළේ සිට පැරණි මෝය දක්වා විහිදුනු වැලි පරය වෙනුවට දකුණු කළුතර දුම්රිය පාලමට දකුණින් අලුතෙන් සැදුණු වැලි පරය කළු ගං කළපුව දෙසට විහිදී ගියේය. සැබැවින්ම කිවහොත් මෙය කලින් තිබූ වැලි පරය විකෘති ලෙස සකස්වීමකි. 


කලින් තිබූ වැලි පරය සමග සේදී ගිය වැලිවලින් මෙම නව වැලි පරය නිර්මාණයවී ඇති අතර එම වැලි කළපුව තුළ තැන තැන එකතු වෙමින් කුඩා දූපත් රැසක්ද නිර්මාණයවී තිබේ. 


මෙම නව ප්‍රවණතාවයේ විශේෂත්වය වනුයේ කළු ගඟ මුහුදට යාමට පෙර නිර්මාණය වී තිබූ පැරණි කළු ගං කළපුව අහිමිවී යාමයි. දැන් කළපුව සම්බන්ධ වනුයේ ගඟට නොව මුහුදටය. 


මේ හේතුවෙන් කළු ග​ෙඟ් පරිසර පද්ධතිය මෙන්ම ජල ජිවි පද්ධතියද මේ වනවිට වෙනස්වී තිබේ. කළු ගං කළපුවටම ආවේණික වූ මත්ස්‍ය වර්ග රැසක් එහි වාසය කළ අතර එම මත්ස්‍යයින් මේ වනවිට කළු ගං කළපුවේ දක්නට නැත. 

 

ගොඩබිම ආක්‍රමණය කළ මුහුදු රළ

සුනාමිය බලපෑ වෙරළ තීරය

 


කළු ගං කළපුව ආශ්‍රිතව ධීවර රැකියාවේ නිරතව සිටි බොහෝ පිරිසක්ද මේ වනවිට එම ජීවිකා ව්‍යාපාරය අතහැර දමා තිබේ. 


කළු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියේ තවත් වෙනස්කම් රැසක් ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා සිදු විය. ඒ ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයත් සමගය. 


මුහුද රළුවී ගොඩබිම වෙත ඇදී ආවේය. ඒ උතුරු කළුතර කැලිඩෝ වෙරළේ ඉතිරිව තිබූ වැලි පර කොටස ද දෙකඩ කරමිනි. ඒ අනුව පොල්ගස් සහිත තවත් කුඩා දූපතක් එහි නිර්මාණය විය. 


එකල අනගාරික ධර්මපාලතුමා ලැගුම් ගෙන සිටි අාවාසයේ නටඹුන් එම කුඩා දූපත ළඟ ඉතිරිවී පවතී. මුහුදු රළ උතුරු කළුතර කැලිඩෝ වෙරළ හා ආබෲ පාරද පසු කරමින් ඒ මායිමේ නි​ෙවස් තුළට හා සංචාරක නිකේතන තුළට රිංගා ගත්තේය. 


සැම දිනකම රාත්‍රියේ වඩදිය සමග එම රළ පහර සමග මුහුදු වැලිවලින් ආබෲ පාර වැසී ගියේය. කාපට් අතුරා ඇති එම මාර්ගය අඩියක් තරම් උසට මුහුදු වැලිවලින් වැසි යාම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය නැවතිණි. මේ වන විට ද එම මාර්ගයේ වැලි කඳු දැක ගත හැකිවෙන අතර රාත්‍රියේ නිවෙස් තුළට එන මුහුදු රළ නවතාගැනීම සඳහා නිවෙස් මායිමේ වැලි කොට්ට දැමීමට ජනතාව දිවා කාලයේ වෙහෙසෙමින් සිටිති. 
අසිරිමත් කළු ගඟ කළපුව කැලිඩෝ වෙරළ ඇතුළු පරිසර පද්ධතිය වසරක පමණ කාලයක් තුළ දැඩි වෙනස්කමකට භාජනය වූයේ ඒ අයුරිනි. 

 


ඉතිහාසයේ සිදුවූවාක් මෙන් මෙම පරිසර පද්ධතිය යළි ස්වභාවිකව සකස් වේදෝයි සිතීම අවිනිශ්චිත ය.

 


සටහන හා ඡායාරූප :
කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි