අවුරුදු දහයක දි කෝටිපතියකු වූ ත්‍රිරෝද රථ රියැදුරු


අයි එස් සමඟ සබඳතා ඇති බවට සැක  

 

වත්තල පැත්තේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු ගිනි අවි හා කඩු කිනිසි සඟවාගෙන සිටින බවට තොරතුරක් ලැබුණේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය වෙතය.  
ත්‍රි​ෙරා්ද රථ රියැදුරකු ලෙස ජීවිකාව ගෙන ගිය මොහු වසර කිහිපයක් ඇතුළත මහා ධන කුවේරයකු බවට පත්ව තිබෙන බවත් කෙටි කාලයක් තුළ ඔහු ප්‍රකෝටිපතියෙකු වී ඇති බවත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු ඒ තොරතුරෙන් වැඩිදුරටත් කියවී ඇත.   


ලැබුණු තොරතුරු ඔස්සේ රහසිගත සොයා බැලීමක් සිදුකළ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක්ද සමඟ වත්තල, මාබෝලේ ආරච්චිවත්ත ප්‍රදේශයේ බලා පසුගිය 15 වැනිදා පිටත්ව ගියේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවස සෝදිසි කිරීමටය.  


මහල් තුනකින් සමන්විත මෙම නිවසේ උඩු මහලේ පිහිනුම් තටාකයක් ද ඉදිකර ඇති අන්දම එහි ගිය පොලිස් කණ්ඩායමට දැක ගැනීමට ලැබී ඇත.  


ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් වර්ගය හඳුනා නොගත් පිස්තෝලයක් හා උණ්ඩ 114ක් පමණ සමඟ එම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  


අඩි 10ක් පමණ දිග අඩි 02ක් පමණ පළල චීනයෙන් ආනයනය කරන ලද මාළු ටැංකියක් ද විය. 

 
විදේශයකින් ආනයනය කරන ලද මසුන් සුරතලයට ඇති කරන බවද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.  


මේ නිවසේ පදිංචිව සිටින්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ පළමු බිරිය සහ දරු තිදෙනාය.  


පළමු බිරිය ගැබිනියක වන්නීය  


ප්‍රකෝටිපතියාගේ දෙවැනි බිරිය පදිංචිව සිටින්නේද ඒ අසලම පිහිටි තවත් එවැනිම මහල් තුනකින් සමන්විත සුවිසල් නිවසකය.  


ඒ නිවසේ උඩු මහලේද පිහිනුම් තටාකයක් ඉදිකර ඇත.  


දෙවැනි බිරියට දරුවන් දෙදෙනෙක් සිටින අතර ඇයද ගැබිනියක වන්නීය.   


මෙම අධි සුඛෝපභෝගී නිවාස දෙකට අමතරව එම නිවාස දෙකට ආසන්නයේ මහල් දෙක බැගින් සමන්විත නිවාස දෙකක් සහ තනි මහල බැගින් සමන්විත නිවාස දෙකක්  ඊට යාබදව පිහිටා ඇත.  


මේවායේ අයිතිකරු ද මෙම ප්‍රකෝටිපතියා බවට පොලිසියට තොරතුරු ලැබී ඇතත් ඔහු පොලිසියට පවසා ඇත්තේ ඒ නිවාස තුන තමාගේ නොවන බවය.  


පොලිසිය පවසනුයේ එම නිවාස තුන සැකකාර ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා වෙනත් අයගේ නම්වලට මිලදී ගෙන යැයි කියාය.  


පළමු හා දෙවැනි බිරිය පදිංචිව සිටින මෙම නිවාස දෙකේම චිනයෙන් ආනයනය කරන ලද සුඛෝපභෝගි ගෘහ භාණ්ඩ වලින් පිරී ඇත.  


සුපිරි නිවාස දෙකේම සැකකරුට නිදා ගැනීමට ඇති ඇඳන් දෙකක් තිබෙන අතර එයින් එකක වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 45කි.   


සැකකරුගේ නමින් ඇති විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ද නිවාස සෝදිසි කර පොලිසිය සොයාගෙන ඇත.  


එක් විදෙස් ගමන් බලපත්‍රයක කාලය 2027 වසරේද අනෙක් විදෙස් ගමන් බලපත්‍රයේ කාලය 2029 වසරේදී අවසන්වීමට නියමිතය.  


ඩුබායි, මැලේසියාව, ඉන්දියාව හා සිංගප්පූරුව ඇතුළු තවත් විදේශයන් ගණනාවක පසුගිය වසර කිහිපය තුළ මොහු වරින්වර සංචාරයක් තිබෙන බව විදෙස් ගමන් බලපත්‍ර දෙක පරීක්ෂාකර බැලීමේ දී​ පොලිසියට පෙනී ගොස් තිබේ.  


පොලිස් අත්අඩංගුවට පත්වූ මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාට මෙරටට අමතරව ඉන්දියා​ෙව් ද පුරවැසිභාවය ලබා ඇති අයෙකි.   


කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයක් හයර් කර 2009 වසර දක්වා ජීවිකාව ගෙන ගොස් ඇති මොහුට මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ​ෙස්වා (කාගෝ) ආයතනයක හා කන්ටේනර් රථ අංගනයක් ද අයිතිකරුවෙකි.  


මහා පරිමාන කුකුළු ගොවිපොළක ද හිමිකරුවෙකු වන මොහුට චීනයේ සහ ඉන්දියාවේ ද ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම තිබෙන බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.  
කන්ටේනර් රථ අංගනය හා කුකුළු ගොවිපොළ පිහිටා ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේය.  


කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගිය මොහු වසර 10ක පමණ කාලයක් ඇතුළත ප්‍රකෝටිපතියෙකු බවට පත්වූයේ කෙසේද යන්න ගැන විශේෂ අවධානයක් යොමුකර පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.   


අත්අඩංගුවට ගත් සැකකරු අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වා ඇති අයෙක් බවට පොලිසිය සැක කරයි.  


සැකකරු එවැනි සම්බන්ධතාවක් පවත්වන්නේද? යන්න ගැනද පොලිසිය සොයා බලාගෙන යයි.  


පාතාල ලෝකයේ ප්‍රබල නායකයෙක් ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් හා කංජිපානි ඉබ්‍රාහිම් සමග ද මොහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.  


ප්‍රකෝටිපතියා ඩුබායි ගිය අවස්ථා කිහිපයකදීම මාකඳුරේ මධුෂ් හා කංජිපානි ඉබ්‍රහිම් සුපිරි හෝටලයක දී හමුවී ඇති බව පැවසේ.   


මේ ප්‍රබල පාතාල නායකයන් දෙදෙනාම ප්‍රකෝටිපතියා හඳුනාගෙන ඇත්තේ රිස්වන් නමැත්තා මාර්ගයෙනි.  


ඒ මාකඳුරේ මධුෂ් හා කංජිපානි මෙරට සිටිය කාලයේදීය.  


රිස්වාන් කියන්නේ මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත බඳු වැනි අයෙකි.  


කොළඹ අලුත්කඩේ උසාවිය ළඟදී රිස්වාන් ඝාතනය කරනු ලැබුවේ 2018 වසරේය.  


රිල්වාන්ගේ ඝාතනය කිරීමට පාතාල සාමාජිකයෙකු බවට සැලකෙන පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලි කඹුරුපිටියේ දී ඝාතනය කර ඔහුගේ හිස රිල්වාන් මරා දැමූ ස්ථානයට ගෙනවිත් දමා තිබිය දී පොලිසිය සොයාගෙන තිබිණි.   


රිස්වාන් නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ කොස්මල්ලි ඝාතනය කර ඔහුගේ හිස සිරුරෙන් වෙන්කර කඹුරුපිටියේ සිට කාර් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගෙන ඒමට සැලසුම්කර තිබුණේ ඩුබායි රටට පලාගොස් සිටි මාකඳුරේ මධුෂ් බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබිණි.  


ඝාතනයට ලක්වූ රිස්වාන්ගේ ව්‍යාපාරික කටයුතුවලට ද මාකඳුරේ මධුෂ් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර තිබුණ බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.  
වත්තල දී අත්අඩංගුවට ගත් ප්‍රකෝටිපතියා මාකඳුරේ මධුෂ් හා කංජිපානි සමග සමීප සම්බන්ධකම් පැවැත්වූයේ කුමන අරමුණකින්ද යන්න ගැන සොයා ගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.   


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පෙරේරා මහතාගේ මෙහෙයවිම යටතේ පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි සහ උප ​ෙපාලිස් පරීක්ෂක රත්නායක, පොලිස් සැරයන්වරුන්වන අබේවර්ධන (95774), අත්තනායක (38576) ලක්මාල්, (64214) පොලිස් කොස්තාපල්වරුන් වන ලහිරු (67702) කුමාරසිංහ (23717) රුවන් (88555) විජේසුන්දර (86254) සහ මොහාන් (91954) යන මහත්වරුන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.   
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීම යටතේ එම බළකායේ නිලධාරින් කණ්ඩායමක්ද මෙම පරීක්ෂණවලට හවුල් වී තිබේ.  

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය