අවිද්‍යාව පැරදවූ ‘යථාරූප’


විද්‍යාව සහ අවිද්‍යාව අතර ඇති වෙනස පිළිබඳවත් මිත්‍යාව සහ සත්‍යය අතර ඇති වෙනස පිළිබඳවත් සොයා බැලීමට ඇති කුහුල මිනිස් චින්තනයෙහි ඇති නොවෙනස්වන ගති ස්වභාවයකි.


මධ්‍යතන යුරෝපයෙහි දේවධාර්මික ඉගැන්වීම්වලට එරෙහිව පැන නැඟුණු චින්තනයෙහි ගැඹුරෙහිම තිබුණේද මිථ්‍යාවටත් අවිද්‍යාවටත් එරෙහි විද්‍යාවාදී හා සත්‍යවාදී අදහස් ධාරාවකි.


එම චින්තනය මගින් විශ්වය, විශ්වයෙහි ආරම්භය හා ගමන්මග සහ මිනිසාගේ ස්වාධීන චින්තනය යනාදිය අදාළව නිර්මාණය කර තිබූ දේවධාර්මික ඉගැන්වීම් රැසක් ප්‍රතික්ෂේප කරමින් ඒවා මිථ්‍යා මතවාද හැටියට තහවුරු කෙරුණු අතර, තව පැත්තකින් යට කී සංකල්පවල විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීමද සිදුවිය.


විද්‍යාව සහ අවිද්‍යාව අතරත් මිථ්‍යාව සහ සත්‍යය අතරත් වන සදාතනික ගැටුම මිනිසාගේ ස්වාධීන චින්තනය වර්ධනය වීම ආරම්භ වූදා සිටම පැවත එන්නක් වන අතර, කලින් කලට ඊට අදාළව සාකච්ඡාවට ගැනෙන මාතෘකාවල වෙනසක් සිදුවීම හැරෙන්නට එහි කෙළවරක්, නිමාවක් කෙදිනක උදා වේදැයි කිසිවකුට කිව නොහැකිය.


මෙවැනි පූර්විකාවකින් මේ ලිපිය ආරම්භ කරන්නට සිදුවූයේ මෙමගින් සාකච්ඡා වන කරුණු කාරණා ඊට අදාළ වන නිසාය.


ජාතික රූපවාහිනියේ විකාශය වන යථාරූප වැඩසටහන සමාජයේ මුල් බැස ගෙන ඇති බොහොමයක් මිථ්‍යා සංකල්ප ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්කරන වැඩ සටහනකි. විශේෂයෙන්ම යන්ත්‍ර මන්ත්‍ර, ගුරුහරුකම්, ජ්‍යොතිෂ ශාස්ත්‍රය මේ ආදි ගුප්ත විද්‍යා ගණයට වැටෙන ශාස්ත්‍ර මගින් මිනිස් චින්තනයටත් සමාජයටත් අදාළව එළිදක්වා තිබෙන ඇතැම් ස්ථාවර විද්‍යාත්මක පදනම් මගින් අභියෝගයට ලක්කිරීම එහිදී සුලභව සිදුවෙයි.


එපරිදි පසුගිය අප්‍රියෙල් මස 22 වැනි බ්‍රහස්පතින්දා දින පැවැති යථාරූප වැඩසටහන විශේෂ වැඩසටහනක් විය. ඊට හේතු වූයේ මෙම වැසටහන මගින් නිරතුරුව අභියෝගයට ලක්වන ගුප්ත විද්‍යා ශාස්ත්‍ර සහ එහි ඇති බල මහිම පිළිබඳ යථාවාදී රූපය ප්‍රයෝගික ක්‍රියාකාරකම් කීපයක් සමග සජීවී ව සමාජය හමුවේ තැබීමට ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙක් ඉදිරිපත් වීම නිසාය.


ඔහු ගුප්ත ශාස්ත්‍රඥ පොල්ගම්පොල එම්.ජී. අනුර මහතාය.


අප්‍රේල් 06 වැනි දින විකාශය වූ යථාරූප වැඩසටහන අතරතුර ඊට දුරකථනයෙන් සම්බන්ධවෙමින් ඒ මහතා අවධාරණය කර ඇත්තේ යථාරූප වැඩසටහනට ගොඩවන බුද්ධිමතුන් විද්‍යාත්මක පදනම් මගින් බැහැර කරන ගුප්ත විද්‍යා ශාස්ත්‍රවල ඇති බල මහිම තමන්ට ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි බවය.


ඒ සඳහා යථාරූප වේදිකාව වෙන් කර දීමට එහි නිෂ්පාදක මඬුල්ල දෙවරක් නොසිතූ අතර ඒ අනුව ඉකුත් අප්‍රියෙල් 22 වැනි දින පැවැත්වුණේ ගුප්ත විද්‍යා ශාස්ත්‍ර බල වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කළ ගුප්ත ශාස්ත්‍රඥ එම්.ජී. අනුර මහතාගේ විශේෂ නියෝජනය සහිත වැඩසටහනයි.


මේ වැඩසටහන නිරික්ෂණය කිරීමට මුද්‍රිත මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන්ටද ආරාධනා කර තිබුණෙන් අප ඊට සහභාගී වූ අතර එහිදී සියැසින් දුටු දෑ මෙසේ පෙළගැස්විය හැකිය.


එදින පැවැති මේ වැඩසටහනට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ ලේකම්, තාරක වරාපිටිය මහතාත්, මාතලේ මහ රෝහලේ සේවයෙහි නියුතු වෛද්‍ය සෙනරත් වේරගම මහතාත් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතාත් පැමිණ සිටියහ.
ගුප්ත ශාස්ත්‍ර බල මහිම වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ සිටි එම්.ජී. අනුර මහතා ඒ සඳහා අභියෝග තුනක් සූදානම් කරගෙන තිබිණි. පළමුවැන්න වූයේ දෙකට පලන ලද කෙසෙල් පිත්තක් මන්ත්‍ර බලයෙන් යළි හා කිරීමේ අභියෝගයයි.


දෙවැන්න ඒ ආකාරයටම හෙළි දෙකක් ළං කිරීමේ අභියෝගයයි. සිත්ගන්නාසුලු එමෙන්ම බොහෝ දෙනෙකු මවිතයට පත් කළ තෙවැනි අභියෝගය වූයේ ඕනෑම කෙනකු ගොළු කිරීමට තමන්ට ඇති හැකියාව උපයෝගී කරගෙන වැඩසටහනට සහභාගී වීම සඳහා පැමිණ සිටි වෛද්‍ය වේරගම මහතා ගොළුවකු කිරීමේ අභියෝගයයි.


වේදිකාව සැණින් සූදානම් වූයේ අනුර මහතාගේ පළමු අභියෝගය ඉදිරිපත් කිරීම සඳහාය. ඒ අනුව වෛද්‍ය වේරගම මහතා ඇතුළු කීපදෙනකුගේ මනා නිරීක්ෂණයට ලක්වූ කෙසෙල් පිත්තක් දෙකට පැළීමෙන් අනතුරුව වැඩ සටහනට සම්බන්ධ වීම සඳහා පැමිණ සිටි විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් අතුරින් දෙදෙනෙකු අනුර මහතා සහ ඔහුගේ ගුරුවරයා වූ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥ පී.එල්.එල්. පෙරේරා මහා විසින් තෝරා ගනු ලැබුවේ මන්ත්‍ර බලයෙන් එම කෙසෙල් පිති පළු දෙක හා කිරීමේ කර්තව්‍යය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහාය.


දෙකට පළන ලද එම කෙසෙල් පිත්තෙහි පතුරු දෙක තිරස් අතට විද්‍යාර්ථින් දෙදෙනාගේ ඉණ මට්ටමින් රැඳුණු පසු අනුර මහතා ඒ අතරමැදට සුරයක් යොමු කරමින් තත්පර තිහක කාලයක් ඇතුළත වෙන් වෙන්ව තිබූ එම කෙසෙල් පතුරු දෙක සමීප කරවීමට කටයුතු කළේය.


සිය මන්තර බලයෙන් ඒ කාර්යය කළ බව ඔහු කීවේය. අනුර මහතාගේ අභියෝගයට ප්‍රතිඅභියෝගයක් කිරීම සඳහා වේදිකාවේ ඉදිරියට පැමිණි වෛද්‍ය වේරගම මහතා කළේ අනුර මහතා කළ ආකාරයටම වැඩසටහනකට සහභාගිවීම සඳහා පැමිණ සිටි දෙදෙනකු තෝරා ගෙන දෙකට පළන ලද කෙසෙල් පිත්තක පතුරු දෙකක් පෙර ආකාරයටම ඔවුන්ගේ ඉණ මට්ටමින් තිරස්ව රඳවා ඒ දෙක යා කිරීමට කටයුතු කිරීමය.


එහි පැවැති විශේෂත්වය වූයේ වෛද්‍ය වේරගම ඒ සඳහා කිසිදු මන්තර හෝ භෞතික හෝ බලයක් භාවිත නොකිරීමය. තිරස්ව රඳවන ලද කෙසෙල් පතුරු දෙක අබියස සිට දැන් ළං වෙනවා තව ටිකක් ළං වෙනවා වැනි වදන් ඔහු විසින් කියනු ලබන බව අපට නිරීක්ෂණය කළ හැකි විය.


මේ කාර්යය නිම කිරීමෙන් පසු වෛද්‍යවරයා ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥ එම්.ජී. අනුර මහතා දෙසට හැරෙමින් ඔහුට තවත් අභියෝගයක් එල්ල කරනු දක්නට ලැබිණි.


එනම්, තමාත් තම මිතුරා වූ මානව විද්‍යා පර්යේෂක දයා සිසිර පෙරේරාත් පෙර පරිදිම දෙකට පළන ලද කෙසෙල් පිත්තක පතුරු දෙක තිරස්ව රඳවා ගෙන සිටින බවත් හැකි නම් ඒ දෙක මන්තර බලයෙන් හාකර පෙන්වන ලෙසත්ය. 


මේ අභියෝගය අනුර මහතා බාර ගැනීමෙන් පසු ලහි ලහියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු පිළියෙල කෙරුණු අතර කෙසේවෙතත් එහිදී අනුර මහතාට තත්පර තිහක කාලයක් ඇතුළත එම කෙසෙල් පතුරු දෙක මන්තර බලයෙන් ළං කිරීමට නොහැකි විය. අමතර කාලයක් නිවේදක විසින් ලබා දෙනු ලැබුවද එහිදී ද අනුර මහතාගේ උත්සාහය නිෂ්ඵල එකක් විය.


පළමු අභියෝගය මේ ආකාරයට නිමවීමෙන් පසු නිවේදක තැන විසින් ඒ සම්බන්ධව දෙපාර්ශ්වයෙන්ම කරණු ලැබූ කරුණු විමසීමේදී ගුප්ත ශාස්ත්‍රඥ අනුර මහතා මන්තර බලයට වඩා චිත්ත ශක්තිය ප්‍රබල වන බවට පිළිගත් අතර අනතුරුව දෙවන අභියෝගය වූ හෙලිදෙකක් මන්තර බලයෙන් ළඟා කිරීමේ අභියෝගයට වේදිකාව සූදානම් වුණි.


පිත්තල හිස් සහිත හෙලි දෙකක් ඒ සඳහා යොදා ගැනුණ අතර එහිදී පැවැති විශේෂත්වය වූයේ තනි පුද්ගලයකු විසින් එම හෙළි දෙක සිය ඉණ මට්ටමින් තිරස්ව රඳවා ගැනීමෙන් පසු ඒ දෙක ළං කිරීම සිදු වීමය.


ඒ අනුව පළමුව අනුර මහතා විනාඩි දෙකයි තප්පර තිහක කාලයක් ඇතුළත එලෙස රඳවන ලද හෙලි දෙක අතරින් සිය සුරය ඇතුළු කොට ළං කිරීමට කිවයුතු කළේය. අනතුරුව එම අභියෝගයට මුහුණ දීම සඳහා වේදිකාවට පැමිණි වෛද්‍ය වේරගම මහතා පෙර පරිදිම කිසිදු මන්තර හෝ භෞතික බලයක් භාවිත නොකර ඒ හෙලි දෙක විනාඩි දෙකකටත් අඩු කාලයකදී ලං කිරීමට කටයුතු කරන අයුරු දැකගන්නට ලැබිණි.


පළමු අභියෝගයේදී මෙන් මෙහිදීද වෛද්‍ය වේරගම ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥ අනුර මහතාට අභියෝග කළේ තමා හෙළි දෙක ඉණ මට්ටමින් තිරස්ව රඳවන බවත් හැකි නම් එය මන්තර බලයෙන් ළං කර පෙන්වන ලෙසත්ය. පෙර ලෙසටම අනුර මහතා එම අභියෝගය භාර ගෙන ඒ සඳහා උත්සාහ කළත් ඔහුට එය සිදු කිරීමට නොහැකි විය.


අනතුරුව උදා වූයේ බොහෝ දෙනකු මහත් ආශාවෙන් බලා සිටි නිමේෂයයි.


එනම් ඕනෑම පුද්ගලයකු ගොළු කිරීමට තමන් සතු හැකියාව උපයෝගී කොටගෙන වෛද්‍ය වේරගම මහතා ගොළු කරන බවට අනුර මහතා කර තිබූ තෙවැනි අභියෝගයට අදාළව වේදිකාව නිර්මාණය වන අවස්ථාවයි.


නිවේදක විසින් මේ බව සිහිකැඳවනු ලැබීමෙන් පසු හෙතෙම එම අභියෝගයට මුහුණ දීම සඳහා වෛද්‍යවරයා සූදානම්දැයි වේරගම මහතාගෙන් විමසීමක්ද කළ අතර වෛද්‍යවරයා තමන් ඒ සඳහා සූදානම් යැයි කී සැණින් නිවේදක තැන හැරුණේ අනුර මහතා දෙසටය.


වැඩසටහනට සම්බන්ධ වීම සඳහා පැමිණ සිටි පිරිස් මෙන්ම එම අවස්ථාවේ වැඩසටහන රූපවාහිනියෙන් සජීවීව නරඹමින් සිටි ප්‍රේක්ෂකයන් ඉච්චාභංගත්වයට පත් කරමින් ඒ මහතා කීවේ තමන් එම අභියෝගය සිදු නොකරන බවය.


නිවේදකයාගෙන් මෙන්ම පැමිණ සිටි මාධ්‍යවේදීන්ගෙන් ඔහුට එවේලේ විසුමක් නොවුයේ භාරගත් අභියෝගය සිදු නොකරන්නේ මන්දැයි කියා ප්‍රශ්න වැලක් ඉදිරිපත් වීම නිසාය. මේ ප්‍රශ්න හමුවේ ඔහුට කිසිවක් කර කියාගත නොහැකි වූ අතර එක එක කාරණා කියනු දක්නට ලැබිණි.


ඔහු වරෙක කීවේ වැඩසටහන මෙහෙය වූ නිවේදකයා හේතුවාදින්ගේ පැත්ත ගෙන කටයුතු කළ බවය.


තවත් වරෙක කීවේ එවැනි දෙයක් කිරීමට (ගොළු කිරීමට) සුදුසු වේලාවල් තිබෙන නමුත් මේ වේලාව ඒ සඳහා සුදුසු නොවන බවය. තවත් අවස්ථාවක ප්‍රකාශ කළේ තම ශාස්ත්‍ර බලය යහපතට මෙන්ම අයහපත සඳහාද යොදා ගත හැකි බවත් ගුරුවරයා තමන්ට උපදෙස් දී ඇත්තේ යහපත සඳහා පමණක් එම බලය පාවිච්චි කරන ලෙසත්ය යනුවෙනි.


මේ ආකාරයේ විවිධ කතා මැද කාලය මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගෙවී ගොස් තිබූ අතර තෙවැනි අභියෝගය සිදු නොවුණි.
වැඩසටහන නිමාවූයේ ඒ විදියටය.


ජ්‍යෝතිෂ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර මේ ආදී ගුප්ත විද්‍යා ශාස්ත්‍රවල ඇති සත්‍ය - අසත්‍යතාව තර්ක කෙරෙන සාකච්ඡා ලංකාවට අලුත් දෙයක් නොවේ. මෙවැනි ශාස්ත්‍ර මගින් පළ කෙරෙන අනාවැකි සහ සිදුකරන හාස්කම්වල කිසිදු සත්‍යයක් හෝ විද්‍යාත්මක පදනමක් නැති බැවින් ඒවා හුදු මිථ්‍යා පමණක් බව ඇතැමුන්ගේ අදහසයි.


තවත් සමහරු ඒවායෙහි යම්තාක් දුරට සත්‍යයක් සැඟව ඇති බවට විශ්වාස කරති. මේවා ගැන සමාජයේ බුද්ධිමය තලයේ පවතින මතවාද අදහස් එයාකාර වුවද සාමාන්‍ය ජන ජීවිතයේදී මිනිසුන් මේවා සමග සමීපව කටයුතු කරන බවක් දක්නට ලැබේ.


පුවත්පතින් රූපවාහිනියෙන් තමන්ගේ ලග්න පලාඵල දැනගැනීමේ සිට ජීවිතයේ කුදු මහත් සෑම දෙයකදීම ගුප්ත  ශාස්ත්‍රවල අනුබල බලාපොරොත්තුවන මිනිස්සු ඕනෑ තරම් සිටිති.


ගුප්ත ශාස්ත්‍රවල ඇත්තක් තිබුණත් නැතත් මේ තත්ත්වය ඉතා බරපතළය. මන්ද අද වනවිට බොහෝ අය ගුප්ත ශාස්ත්‍ර හොඳ බිස්නස් එකක් කරගෙන මිනිසුන් අන්දන නිසාය.


වුමනාවට වඩා මේ දේවල් පසුපස ගොස් වැඩ වරද්දාගත් උදවිය ගැන නිරන්තරයෙන් පුවත්පත්වලින් තොරතුරු අසන්නට දකින්නට ලැබේ.


ඒ නිසා වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ කාලාම සුත්‍රයේදී දේශනා කළ ආකාරයට හැමදේම පිළිබඳ හොඳින් විමසා බලා බුද්ධියෙන් තීන්දු තීරණ ගැනීමය.

උපුල් වික්‍රමසිංහ