අනුරපුරේ ලම්බකර්ණ රජකාලේ ගල් ආයුධ පාවිච්චි කළ ජන කොටසක් බලංගොඩ ඉඳලා


දඩයමින් ජීවත් වූ ආදි ජනතාව කාලගුණික දේශගුණික විපර්යාසත් සමග ගොවිතැනට හුරු වුවද පැරැණි සම්ප්‍රදායම රැක ගනිමින් කාල පරාස දෙකක ජීවත් වූ දඩයක්කරුවන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මුල්වරට වැලිගෙපල ඉලුක්කුඹුර ලුණුගල් ගුහාවෙන් මතුකර ගැනීමට මේ දිනවල එහි කැණීම් කටයුතු සිදුකරන කැළනිය සරසවියේ පුරා විද්‍යාව පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකි වී තිබේ.   


 දඩයක්කාරයාගේ සංග්‍රාමය තේමාව යටතේ වසර නවයක පමණ කාලයක සිට බළන්ගොඩ ආශ්‍රිතව පරික්ෂණ කටයුතු කරන රාජ් සෝමදේව මහතා පසුගිය සතියේ කැණීම් කටයුතු කළ පරගහමඩිත්ත වවුල් ගේ හා සබැඳි විස්තර පසුගිය ඉරිදා ලංකාදිප ලිපියෙන් ඉදිරිපත් කළෙමු. මේ වනවිට රාජ් සෝමදේව මහතාගේ කැණීම් බිම වී ඇත්තේ පරගහමඩිත්තට සැතපුම් අටක් පමණ දුරක පිහිටි වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉලුක්කුඹුර ලුණුගල් ගුහාවයි. 2015 වසරේදි ද ලුණුගල් ගෙයි කැණීම් කළ සෝමදේව මහතා මෙවරත් එම ගුහාවේ ම කැණීම් සිදු කරනුවේ කුමන කාරණා පදනම් කරගෙන ද යන කරුණු විමසා බැලීමට “ඉරිදා ලංකාදිප“ වෙනුවෙන් මේ දුෂ්කර ස්ථානයට පිවිසුනෙමු. ඉලුක්කුඹුර බස් නැවතුම් පළේ සිට සැතපුම් දෙකක් පමණ ඉතා දුෂ්කර බෑවුමක පා ගමනින් පිවිස මෙම ගල් ගුහාවට ගොඩ වැදීම සඳහා ලී ඉණිමන් සහිත තවත් අවදානම් ශිකරයක් තරණය කළ යුතුයි. මුහුදු මට්ටමේ සිට මීටර් පන්සියක් පමණ උසකින් යුතු මෙම ගල් ගුහාව දිගින් මීටර් දෙසීයක් පමණ වෙයි. මනහර කඳු වළල්ලකින් වටවු මේ අතීත මානවයාගේ නිජ භූමිය හා බැඳුණු පුරාවෘත රාශියක් කාලයේ වැළි තලාවෙන් වැසි යද්දි ඒවා යළි මතුකර ගැනුමට රාජ් සෝමදේව මහතා ඇතුලු ඔහුගේ සිසුන් පිරිස ගන්නා වෙහෙස අතිශය සංකිර්ණ වු වගකීම් සහගත ක්‍රියාවලියකි .   


 “අපි මේ කැණීම් කරන ගල් ගුහාවට කාල නිර්ණ දෙකක් තියනවා. මීට අවුරුදු 6000කට කලින් මෙහි ජනාවාස තිබිල තියනවා. අපි 2015 වසරේදි කැණීම් කරල ඒ බව කාල නිර්ණය කර ගත්තා. ඒ ජනතාව මේ ගුහාව අතහැරල ගියාට පස්සේ මිට අවුරුදු 1700ක ට කලින් අපේ රාජාවලිය පටන් ගත්තට පස්සේ හරියටම කියනව නම් අනුරාධපුරේ ලම්භකරණ රජවරු රජ කරන කාලේ නැවැත වරක් මේ ගල් ගුහාවේ මිනිසුන් පදිංචි වෙලා ඉඳල ති​යනවා. මෙහි ති​ෙයන වැදගත්කම තමයි පසුකාලීනව පදිංචි වෙලා සිටිය අයත් ගල් ආයුධ පාවිච්චි කරල තියනවා. ඒ අය තමයි මේ ගල් ගුහාවේ තියන මේ බැම්ම බැඳල මේ ප්‍රපාතයෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරගෙන තියෙන්නේ . අපේ ප්‍රධාන ඉතිහාස කතාවේ මෙහෙම පුවතත් අපට වාර්තා වෙන්නේ නැහැ. අපිට වැදි ජනතාව කියල කට්ටියක් සිටිය කියනවා. නමුත් අර 1700 හිටිය අයත් ගල් මෙවලම් පාවිච්චි කරපු අර පරණ සම්ප්‍රදා​ෙයන්ම ආපු පිරිසක් කියන කාරණාව මේ තුළින් අපට පැහැදිලි වෙනවා. ඒ වගේම ඒ හිටපු අය පහළ දියුණු සමාජයත් එක්කත් අන්තර් සබඳ තා පවත්වල තියනවා. අපිට මේ ගුහාවේදි හමුවුණා විදුරු පබලු.

එවැනි දේ ලබා ගෙන තියෙන්නේ තැනිතලාවල දියුණු සමාජයේ ජීවත් වු මිනිසුන් සමග ඇති කරගත් අන්තර් සබඳතා නිසා කියල අපට හිතන්න පුලුවන්. ලුණුගල් ගේ තුළින් අප මේ දිනවල කරන කැණීමේදි තහවුරු වු ප්‍රධානම කාරණාව වන්නේ ඒ වැදි සමාජය ක්‍රමයෙන් ගොවියා බවට පරිවර්තනය වි දියුණු වුවද ඒ පැරණි සම්ප්‍රදායම රැකගත් පිරිසත් මේ කලාපවල ජිවත් වුණාය කියන කාරණාව “ මහාචාර්යවරයා පැවැසීය .   


 මීට වසර හය දහසකට එපිට ජීවත් වු දඩයක්කාර මානවකයන් සිය කලාප තුළ ගොඩනගා ගත් හුවමාරු කරගැනිමේ සංස්කෘතියත් සමග ගල් යුගයේ ජනපද සංස්කෘතියකුත් තිබු බවට මෙවර පරික්ෂණවලදී රාජ් සෝමදේව මහතා තහවුරු කරගෙන තිබෙන අනෙත් වැදගත් සාධකයයි. ලුනුගල් ගේ සිට වර්ග කිලෝමීටර් විසිපහක පමන කලාපයේ මේ වනවිටත් අතීත මානවයා ජීවත් වු බවට සැලකෙන ගුහා සහ එළිමහන් ස්ථාන 18 ක් පමණ සොයාගෙන තිබෙන අතර එම ගණන විස්සකට වඩා වැඩිවිය හැකි බවයි සෝමදේව මහතාගේ අදහස වි ඇත්තේ.  

 
 “අපි හිතාගෙන ඉන්නේ ගල් යුගයේ ජීවත් වු මිනිසුන් නිකම්ම මස් වැද්​ෙදා් විතරයි කියල. නමුත් අපේ සමාජය ගොඩනැගෙන එක ඒ කාලේ ඉඳලම හිමින් හිමින් වර්ධනය වුණ ක්‍රියා වලියක්. මේ වර්ග කිලෝ මිටර් 25ක් තරම් වු මේ කලාපයේ කඳු මුදුන්වල ගල් ගුහාවල ජීවත් වු මිනිසුන් අතර තිබු අන්තර් සබඳතා නිසා තමයි සමාජයක් ලෙස වර්ධනය වෙලා තියෙන්නේ. මේක විජයගේ ආගමනයෙන්ම සිදුවුණ දෙයක් නොවෙයි. එ්වයෙනුත් අපිට සුලු බලපෑම් එන්න ඇති. පෘතුගිරිසි, ලන්දේසින්ගෙනුත් අපට සුලු බලපෑම් එන්න ඇති. නමුත් එහෙම වුණා කියල මුලු සමාජයම අනිත් පැත්ත හැරිල අපි කුරහන් තලප කන එක නැවැත්තුවේ නෑනේ. බාහිර අක්‍රමණවලින් මුහුදුබඩ කලාපවල යම් වෙනස්කම් වෙන්න ඇති. නමුත් රට අභ්‍යන්තරයේ වෙනස් නොවි අපේකම රැකෙමින් වර්ධනය වුණා කියන පණිවිඩය තමයි මේ හම්බ වෙන සාධකවලින් අපට පසක් වෙන්නේ. මේ තුළින් අපි ලංකාවේ ප්‍රාග් ඉතිහාසයට නව සංකල්පයක් හඳුන්වා දෙනවා. ඒ තමයි ගල් යුගයේ ජනපද කියන අදහස. මේ ගල්ගුහා අතර සංනිවේදනයක් තිබුණු බව තහවුරු වෙන්න හේතු රාශියක් ම මේ හම්බ වුණ පුරාවස්තු වලින් පිළිබිඹු වනවා .

පසුගිය සතියේ පරගහමඩිත්තේ වවුල් ගුහාවේදි කළ කැණිම් වලින් හමුවුණ තරු වලල්ල ට සමාන තරු වළල්ලක් මේ ගුහාවෙනුත් අපට 2015 හම්බ වුණා. ඒ වගේම මේ ගුහාවේදි හම්බවුණ ගෙල පළඳනා වැනි සංකේතාත්මක පුරාවස්තු සමාන හැඩවලින් තිබෙන පුරාවස්තු. මේ සෑම ගල් ගුහාවකින් ම අපට හමු වී තියනවා හදවතක හැඩය තියන ගෙල පළඳනා තුන හතරක්. අපට මේ ගල් ගුහා​ෙවන් හමු වී තියනවා. මේ ගල් ගුහා තුළින් හමුවුණ මිණිරන් කැබලි ඒ අය පාවිච්චි කර තියනවා. ඒ අයගේ ශරිර වර්ණ කරන්න. මේ මිනිරන් සෑම ගල් ගුහාවක ම පාහේ හමුවුණා. ඒ තුළින් අපට පැහැදිලි වනවා මෙයාල සමාජයක් ලෙස අන්තර් සබදතා පවත්වමින් සමාජයක් ලෙස එකට වර්ධනය වු බව. ඒ වගේම මේ ගුහාව තුළින් හමු වු පිළිස්සි ගිය ධාන්‍ය ඇට වර්ග මේ අතර වී ඇට තියනවා. දිග් කැකුණ ඇට. ඒ දිග් කැකුණ ඇට ඈත කාලයක ඉඳල පාවිච්චි කරල තියනවා මේදය ලබා ගැනීම සදහා, මෙවැනි පිළිස්සුනු ධාන්‍ය ඇට පසුගිය සතියේ අපි කැණිම් කළ වවුල් ගුහාවෙන් වගේම මේ වර්ග සැතපුම් 25 ඇතුළත අප කැණිම් කළ ගුහා කිපයකින්ම හම්බ වුණා. ඒ නිසා අපට පැහැදිලි වෙනවා ඒ වනවිට දඩයම ම පමණක් නොවෙයි ශාක ආහාර ගැනීමටත් ලොකු නැඹුරුවක් වෙලා තියනවා. හැකිතරම් මේ පරිසරයේම සම්පත් ආහාරයට ගැනිමට ඔවුන් යොමුවෙලා තියනවා කියන කාරණාව. ඒකට හේතුව දැන් අපිට හරි පැහැදිලියි. මේ වර්ග කිලෝ මීටර් 25 ක ප්‍රමාණයේ ජනාවාස 20 ක් කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්. ඒක අද මිම්මෙන් මනින්න අමාරුයි. මොකද ඒක ගණනය කළහොත් එහෙම එක පුද්ගලයෙකුට එක කිලෝ මීටරයක්වත් අහුවෙන්නේ නැහැ. තමන්ගේ ආහාරයට අවශ්‍ය දඩයම හා ගස්වල ශාක වර්ග සපයා ගැනීමට. දීර්ඝකාලිනව එක පුද්ගලයකුට සම්පත් සොයා ගැනීමට සාපේක්ෂව ජනගහනයද වැඩිවෙනවා.

මේ වැඩිවෙන පීඩනයත් එක්ක ශාක ආහාර වගාවට යොමු වෙනවා. අපිට පේනවා අපිට හමුවුණ වල් කැකිරි වර්ග වල් වට්ටක්ක වර්ග වල් තල වර්ග වල් වී වර්ග වල් කරවිල ඒ පිළිබඳව හොඳම සාධක. අපි පසුගිය සතියේ මගේ කණ්ඩායමත් එක්ක මේ කැලැවේ නිරික්ෂණය කරද්දි ඒ ශාක වර්ග තවමත් මේ කැලෑ තුළ තියෙන බව දැන ගත්තා. ඒ වගේ ම මේ කලාපයට ආවේනික වු තවත් එවැනි ශාක වර්ග තියනවා නම් අපව දැනුවත් කරන්න කියල මේ කලාපයේ ජනතාවටත් අපි කියල තියනවා. ඒ වගේම අපිට හමුවුණ වැදගත් ධාන්‍ය වර්ගයක් තමයි වල් කොල්ලු හා වල් අබ. ඒ කියන්නේ මීට අවුරුදු හයදාහකට පමණ කලක ජිවත් වු ජනතාව. අද අපි පාවිච්චි කරන කුළුබඩුවලට අයත් අංග ඒ ශාක වර්ග පාවිච්චි කිරිමට යොමු වෙලා තියනවා. ඒ නිසා අපි සලකන්න ඕනි දේ තමයි අපේ රටේ සංස්කෘතිය. උතුරු ඉන්දියානු බලපෑම් සමග නොයෙක් හැඩතලවලට බඳුන් වුවද අපේ කොදු නාරටිය එයිට එහා ගිය දෙයක් කියන කාරණාව “සෝමදේව’’ මහතා කීය.   


 ජනගහනය වර්ධනය නොවුණ සමාජයේ ගල් යුගයේ මිනිසාට ජිවත්වීමට පහසු පරිසරයන් සොයාගැනිමට අවකාශයන් තිබියදි මෙවැනි අතිශය දුෂ්කර අවධානම්කාරි පරිසරයක ම ඔවුන් වාසස්ථාන ලෙස තෝරා ගෙන තිබෙන්නේ ඇයි?. එවැනි ස්ථානයක් නිශ්චිත ලෙස පුරාවිද්‍යාත්මක සාදක ඇතැයි පුර්ව නිගමනයක එළඹ සුවිසල් ජිවිත අවධානමක් වෙහෙස මහන්සියක් ගෙන එවැනිම ස්ථාන තෝරාගනුවේ කෙසේද? පුරා විද්‍යාඥයෙකුට ඉතිහාසඥයෙකුට හැර සාමන්‍ය ජනතාවට ඒ තුළ යම් කුහුලක් ඇතිවිමේ ඉඩකඩක් තිබෙන හෙයින් ඒ පිළිබඳවද මහාචාර්යවරයාගෙන් විමසීමක් කළෙමු .  

 
 “අපි වර්තමාන අත්දැකීම අතීතයට පරිවර්තනය කිරිමට උත්සාහ කළාම තමයි එහෙම හිතෙන්නේ. අද අපි නගරයේ ජිවත්වන නිසා අද අපි පයින් යන්නේ නෑ. වාහනවල යන්නේ කෙටි දුරක් වුණත් අපට ඒ නිසා හිතෙනවා මේව දුෂ්කරයි කියල. නමුත් ඒ කාලේ මිනිසුන් මේ පරිසරය ඇතු​ෙළමයි ජීවත් වු​ෙණ් .අපි දන්නවා මෙහේ සිටින වයසක උදවිය සමග කතා කළාම ඒගොල්ලෝ මේ පාරවල් වැටෙන්න කලින් විශාල බරමලු කර තියාගෙන නගරවලට විශාල දුරක් පයින් ගිහින් තියනවා. අද අපිට හිතන්නවත් බැහැ එච්චර දුරක් කොහොමද බඩු මලු කර තියාගෙන ගියේ කියල. අද වුණත් මේ ස්ථාන කෙතරම් දුෂ්කර වුණත් මේ ස්ථානය අවට ජනතාව ඇවිදින් වගා කටයුතු කරනවා. එයාලට එහි දුෂ්කරතාවක් දැනෙන්නේ නෑ. ඒ වගේම එදා මේ ගල් ගුහාවල ජිවත් වු මිනිසුන් මේ පරිසරත් එක්ක සමිපතාවයක් දක්වල කටයුතු කළ නිසා එදා හිටිය අයට මේ දුෂ්කරතා දැනිල නැහැ.

අපිට දැනෙන්නේ අපි මේ පරිසරවලින් ඈත නිසයි. ඒ වගේම ඔබ අහපු අනිත් කාරණාව තමයි කොහොම ද මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථානයක් අපි කල් තියා නිවැරදිව හඳුනා ගන්නේ කියන කාරණාව. එ්කට දෙන්න පුලුවන් පිළිතුරු දෙකක් තියනවා. එකක් පුරාවිද්‍යාවේ තියනවා පිළිගත් විධික්‍රම. ඒකට සිතියම් අධ්‍යනය කරන්න පුලුවන්. චන්ද්‍රිකා ජායාරූප ගුවන් ජායාරූප. ඒවා අධ්‍යයන්‍ය කරල තැනක් සොයාගන්න පුලුවන්, එහෙම නැතිනම් පයින් ඇවිදල තමන් නිරික්ෂණය කරල තැනක් සොයාගන්නත් පුලුවන්. මේ දෙකට ම වඩා වැදගත් වන අනිත් කාරණාව තමයි දීර්ඝකාලිනව පුරාවිද්‍යාවේ නිරත වුණහම කිසියම් ආකාරයක විඥ්ඥාණයක් පහළ වෙනවා. අනුමානයක් කරන්න පුලුවන් වෙනවා මේ ස්ථානයේ මේ දේ තිබෙන්න පුලුවන් කියල” 


වැලිගෙපල පරගහමඩිත්ත ඉලුක්කුඹුර කලාපය ආශ්‍රිතව මේ දිනවල කැනීම් කටයුතු සිදුකරන පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය රාජ්සෝමදේව මහතාට සිය ගම්මානයේ බාදාහේන නම් ගල්ගුහාවේ තිබූ අමුතුම ගල් සිදුරු සහිත පුවරුව පිළිබඳව තොරතුරු ඔහුවෙත පැවැසුවේ ඒ ගම්වාසීන් විසිනි. හඳුනාගත් පුරා විද්‍යා ස්ථානයන්හි කැනීම් කටයුතු සිදුකරන අතරතුරම වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බලප්‍රෙද්ශයේම පරගහමඩිත්ත පින්නගල බාදාහේන ගුහාව පිළිබඳව ද ඒ අනුව අවධානය යොමු විය.   


විශාල විස්කම්භයකින් යුතු මෙම ගල්ලෙන තුළ ද මීට වසර 6000ක පමණ කාලය තුළ මිනිසුන් වාසය කළා යැයි මූලික කෑනීම් තුලින් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව මෙම ගල්පුවරුව මීට වසර 6000ක පමණ ඉහතදී නිර්මාණය කළ සිතියමක් බව රාජ්සෝමදේව මහතා විසින් හඳුනාගෙන තිබේ. දිගින් අඩි හයක් පමණ වන මෙහි පළල අඩි හතරක් පමණ වෙයි. ළඟ ළඟ සාදන ලද සිදුරු 500කින් පමණ මෙය නිර්මාණය කර තිබේ.   


“මේවගේ සිතියම් 18 ක් ලෝකයේ වෙනත් රටවලින් හමුවෙලා තියනවා. නමුත් ලංකාවෙන් මේ වගේ සිතියමක් හම්බවුනේ මුල්වරට. මේක 19 වන සිතියම. මීට පෙර හමුවුන මෙවැනි සිතියම් අධ්‍යනය කළ මානව විද්‍යාඥයන් සහ පුරා විද්‍යාඥයන් කියල තියෙන්නේ අතිතයේ ජීවත් වූ මිනිසුන් තමන් ජීවත් වූ ප්‍රදේශය සහ භූමි දර්ශනයන් මෙලෙස සිතියම් කර ති​ෙයනවා කියලයි. මේ සිතියමේ සිදුරුත් ඉතාමත් අසම්මත ආකාරයට කොටා තියෙන්නේ. මෙම සිතියමින් මේ කලාපයේ වර්ග කිලෝමීටර් 25 ක කලාපයේ එවකට තිබූ ජනාවාස 20ක් සිතුවම් කලා වෙන්නත් පුලුවන්. තිත් නොමැති කොටස්වලින් නොයිඳුල් ගණවනාන්තරය වෙන්න පුලුවන් කියන අදහස ගන්නත් පුලුවන්’’   
මේ ස්ථානය පිළිබඳව ලබන වසරේදී වැඩිදුරටත් කැනීම් කටයුතු කිරීමට සෝමදේව මහතා බලාපොරොත්තු වෙයි.   

 

 

 

පිංතුර හා සටහන 

චාමින්ද දිසානායක