අනුන්ගේ කුණුවලින් බැටකන කොටවිල වැසියෝ


 

වර්ෂ 2014 දී එවකට පැවති රජයේ සංකල්පයක් වන “නිල්ල පිරුණු රටක්, කසළින් තොර ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකට අනුව මාතර දිස්ත්‍රික්කයේ, වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවිල ප්‍රදේශයේ ඉදිකරන්නට යෙදුණු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය, මධ්‍යම පරිසර අධිකාරියේත්, පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ සහ මාතර මහනගර සභාවේ මුල්‍ය හා තාක්ෂණික දායකත්වය යටතේ උත්සවාකාරයෙන් පිහිටුවනු ලැබීය.


මීට අමතරව, දැයට කිරුළ ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශය සංවර්ධනය කොට, මාතර පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපනය කිරීමටත් සැලසුම් සකස් කෙරෙමින් පැවතිනි. මේ වන විටත්, එම භුමියේ මාතර නව රෝහල, කොටවිල පොලිස් ස්ථානය හා අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිවී ඇති අතර, ඉදිරියේදී මහාධිකරණ සංකීර්ණය ඇතුළු සියලු පරිපාලන ආයතන මෙම ප්‍රදේශයට ගෙන ඒමට නියමිතව තිබේ.   


තත්ත්වය එසේ වුවද, මෙම කසළ කළමනාකරණ ව්‍යාපෘතිය, අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක නොවූ අතර, ඇරඹීමටත් පෙර ඇන හිටියේය. විවිධ පරිපාලනමය, ප්‍රතිපත්තිමය, කළමනාකරණ සහ මුල්‍යමය අර්බුද හමුවේ අතරමග ඇනහිටි මෙම ක්‍රියාවලිය විදහා පෑවේ නිසි සැලසුමක්, හෝ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ඇරඹි තවත් එක් අසාර්ථක සුදු අලියෙක් බවය.   


එසේ වුවද, මෙම ව්‍යාපෘතිය හරහා මාතර මහනගර සභාවේ පාලනයට නතුවූ මෙම කසළ බැහැරකිරීමේ අංගණය ඉන් අනතුරුව තවත් මහා ව්‍යසනයකට මුහුණ පෑවේය. එනම් මෙම භුමිය, මාතර නගරය ආශ්‍රිත සියලු අපද්‍රව්‍ය අවිධිමත්ව හා අපරීක්ෂාකාරිව බැහැරකරන කසළ කන්දක් බවට අවසානයේ නිර්මාණය වීමය. මාතර මහනගර සීමාව තුළ හා අවට ප්‍රදේශ වලින් එක්වන ටොන් 30 කට අධික කුණු ප්‍රමාණයක්, වැසිකිළි හා රෝහලේ අපද්‍රව්‍යද සමඟින් කිසිදු වර්ගීකරණයකට ලක් නොකර, ට්‍රැක්ටර් හා ට්‍රක් රථ මාර්ගයෙන් දිනපතා, වසර ගණනක් තිස්සේ මෙම කුණු බහාලුම් අංගනයට බැහැර කිරීමේ ප්‍රතිඵලය නිසා ඇතිවූ අහිතකර ප්‍රතිවිපාක අද කොටවිල ප්‍රදේශයට යන්නෙකුට මනාව පැහැදිලි වේ.   
එවකට පැවති රජයත්, වර්තමාන රජයත් ඇතුළු සියලු වගකිවයුත්තන් මේ හමුවේ මුනිවත රකින පසුබිමක, සියලු දෙනාගේ ඇස්පනාපිට දිනෙන් දිනම මෙම කුණු කන්ද වර්ධනය විය. ඒත් සමඟම මෙම කසළ කන්ද නිසා මතුවූ අහිතකර ප්‍රතිඵල ක්‍රමක්‍රමයෙන් එහි ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත පරිසරය වෙළාගන්නට විය.   


ප්‍රදේශයේ වැසියන් මේ වනවිට මුහුණ දෙන තත්ත්වය   


ඉතා සුන්දර, පිරිසිඳු පරිසරයකට උරුමකම් කී කොටවිල, ලැබීම, කළටියාවල, කුරුඳුවත්ත, වැලිගොඩැල්ල, රාහිඳුගොඩ, ගැඩිමඬුව, සුල්තානාගොඩ හා මිහලුගොඩ ගම්වාසීන් අදටත් මේ උවදුරෙන් දැඩි සේ පීඩා විඳිමින් සිටින අතර එහි බලපෑම ලබන්නේ ඔවුන් පමණක් නොවේ. යෝජිත පරිපාලන නගරයට අනුබද්ධිතව ඉදිකෙරුණු, දැනට ක්‍රියාත්මක මාතර නව රෝහල, කොටවිල පොලිස් ස්ථානය මෙන්ම අංගසම්පූර්ණ ක්‍රීඩාංගණය භාවිත කරන්නන් හා ඒවායේ සේවයේ නියැළෙන්නන්ද එක සේ මෙම ගැටලුවට මුහුණ දී සිටී. මෙම කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශය පුරා ඉතා දැඩි දුර්ගන්ධයක් පවතිත අතර වැසි කාලවලදී එම දුර්ගන්ධය දෙගුණ තෙගුණ වී යයි. මේ නිසා එහි වැසියෝ විවිධ ශ්වසන ආබාධ සහ සමේ රෝගවලට ගොදුරු වෙමින් සිටිති. කුණු ආශ්‍රිතව හටගත් මැසි මදුරු වසංගතය නිසා එම ප්‍රදේශවල වැසියන් විඳින ගැහැට අනන්තය. නිවාස ආශ්‍රිතව මැස්සන් බහුලව ගැවසීම එම ප්‍රදේශයේ සුලබ දසුනකි. ආහාර සැකසීමට හා ඒවා පරිභෝජනය කිරීමට අපහසු තරම් මැසි වසංගතය දරුණුය. විශේෂයෙන්ම වැසි සහිත කාලවල මෙම ගැටලුව ඉතා උග්‍ර වේ. කුණු කන්දෙන් නිකුත්වන අහිතකර රසායනික ද්‍රව්‍ය පසට කාන්දු වීමෙන් භූගත ජලය දුෂණය වී ඇති අතර, කසළ කන්ද අවට කි.මී. 5 ක පමණ වපසරියක ඇති ළිං ජලය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ. කුණු කන්ද ආශ්‍රිතව ඉලෙක්ට්‍රොනික කසළද නොඅඩුව දක්නට ඇති අතර, ඒවා මඟින් මෙම ප්‍රදේශයට දිගුකාලීන පාරිසරික බලපෑම් ඇතිවීම නොවැළැක්විය හැකි වනු ඇත.   


කුණු කන්ද ආශ්‍රිතව විශාල වශයෙන් කපුටන් හා බල්ලන් බෝවී සිටින අතර ඔවුන් විසින් කසළ පාරවල් වලට ඇද දැමීම සහ නිවාස ආශ්‍රිත සතුන්ට හිරිහැර කිරීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට විවිධ අපහසුතා එල්ල වෙමින් පවතී. එමෙන්ම කුණු කන්ද ආශ්‍රිතව ජීවත්වන මෙම සුනඛයන් හීලෑ නොවුණු සතුන් ලෙස හැසිරෙන අතර අවට ප්‍රදේශයේ ජීවත්වන වසුපැටවුන් විශාල සංඛ්‍යාවක් මොවුන් විසින් මරාදමා තිබේ. කොටවිල කුණු කන්දට ඉතා ආසන්නව විවෘත ක්‍රීඩා භුමිය පිහිටා ඇති අතර මෙම සුනඛයන් නිතර එහි ගැවසීම මෙහි ක්‍රීඩාකරන කුඩා දරුවන් ඇතුළු සියලු දෙනාට බලවත් තර්ජනයක් වී ඇත.   

 

 


ගම් වැසියන්ගේ ප්‍රතික්‍රියාව   


කිසිදු පාලනාධිකාරියක් මේ වෙනුවෙන් සාධාරණය ඉටු නොකරන පසුබිමක, කොටවිල සහ අවට ගම් වැසියෝ දින, සති, මාස ගණන් මේ විනාශයට විසඳුමක් ලැබෙන තුරු උපේක්ෂා සහගතව ජීවත් වූහ. දිනපතා, මඟ දිගට කුණු හලමින් නිවාස ඉදිරිපසින් යනෙන නගර සභා වාහන දෙස සඟවාගත් ආවේගයෙන් මුවින් නොබැණ බලා සිටියහ. එහෙත් ඔවුන්ගේ ජීවිත ක්‍රම ක්‍රමයෙන් අපා දුකටම වැටුණි. කන්නට අතට ගත් බත්පිඬ නිදහසේ අනුභව කරන්නටවත්, ළිඳෙන් ගත් දිය පොදකින් උගුර තෙමාගන්නටවත්, කොටින්ම නිදහසේ හුස්ම ගන්නටවත් නොහැකිව තමන් විසින් නොකළ වරදකට මේ අහිංසක සාමකාමී ජනතාව දඬුවම් ලබමින් සිටියහ.   


අවසානයේ මෙම කසළ කන්දෙන් සිදුවන පීඩාව ඉවසිය නොහැකිම තැන ගම්වාසීන් පිහිට පැතුවේ කොටවිල පොලිස් ස්ථානයෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව දයාවෙන් පිරි අවංක පොලිස් නිලදරුවෙකු වූ කොටවිල පොලිස් ස්ථානාධිපති තුමා මේ ගැන සංවේදී විය. ඒ අනුව, ගම්වාසීන් පිරිසක් විසින් කොටවිල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ල ඔස්සේ, මහජන පීඩාව යන කරුණ යටතේ මාතර මහනගර සභාවට විරුද්ධව මීට වසර එක හමාරකට පමණ ඉහතදී මාතර අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. ඒ වෙනුවෙන් අධිකරණ ආඥාවක් පසුගිය ජූනි මස 27 වැනිදා නිකුත් වූ අතර, ඒ අනුව තාවකාලිකව මාස තුනක කාලයක් සඳහා කොටවිල කසළ අංගණයට මාතර මහනගර සභාවේ කුණු බැහැර කිරීම අත්හිටුවීමට කටයුතු යොදනු ලැබීය.   


ඒ සඳහා අධිකරණය මඟින් ඔවුන්ට විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී. එසේ වුවද, මාතර මහා නගර සභාවට මේ වන විටත් මෙම ගැටලුව වෙනුවෙන් සාර්ථක විසඳුමකට පැමිණීමට හැකිවී නොමැත. විවිධ පරිපාලනමය ගැටලු හේතුවෙන් මාතර නගරයේ එක් රැස් වන කුණු බැහැර කිරීමට නොහැකිව බලධාරීන් පත්වී ඇත්තේ බලවත් අසීරුතාවකටය. එයට විසඳුමක් සොයන අටියෙන් මහනගර සභාව විසින් ඉහත අධිකරණ ආඥාවට එරෙහිව මෝසමක් ඉදිරිපත් කළ බවද සඳහන් වේ. නමුත්, වරද ඇත්තේ කොතනදැයි නිවැරදිව හඳුනාගෙන, මෙම දෙපාර්ශවයටම හානියක් නොවන විසඳුමකට පැමිණීම අත්‍යවශ්‍ය වේ.   


විසඳුම කුමක්ද?   


මේ වනවිටත් කොටවිල කසළ කන්දේ අහිතකර ප්‍රතිපල ඒ අවට ගම්වාසීන්ට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක, මෙම ගැටලුව සඳහා හැකි ඉක්මනින් විධිමත් විසඳුමක් සොයාගත යුතුව තිබේ. එම විසඳුම යනු, මාතර නගරයේ පවිත්‍රතාව ආරක්ෂාකරනු පිණිස, කොටවිල වැසියන්ගේ ජීවිත පීඩාවට පත් කිරීම නොවේ. නිසි ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් කසළ වර්ගීකරණය කොට බැහැර කිරීම සඳහා ජනතාව පෙලඹවීමටත්, දිරායන කුණු යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති හා, නොදිරන කුණු නිසිලෙස ප්‍රතිචක්‍රීයකරණය කිරීමටත්, ඒ සඳහා සුදුසු ජන ශුන්‍ය ප්‍රදේශයක් තෝරා නිවැරදි කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමත් බලධාරීන්ට පැවරී ඇති වගකීමකි. එමෙන්ම දැනටමත් ව්‍යසනයක් වී ඇති කොටවිල කසළ කන්ද සම්බන්ධයෙන් ඇති ගැටලුවටද ඉක්මන් විසඳුම් අවශ්‍ය වී තිබේ. යළිත් කිසිදාක මෙම ප්‍රදේශයට කසළ බැහැර නොකළද, මේ වනවිටත් කොටවිල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයට සිදුවී ඇති සමාජයීය සහ පාරිසරික බලපෑම නතර වී නොමැත. අක්කර ගණනාවක වපසරියක් පුරා විහිදුණු, මීටර් ගණනාවක් උසට නැඟුණු, කුණු කන්ද අදටත් මහා රකුසෙකු සේ ප්‍රදේශවාසීන්ගේ හුස්ම ගැනීමේ අයිතිය හා නිදහස් සාමකාමී නිස්කලංක දිවිපෙවෙත උදුරා ගනිමින් සිටී.   
මෙම ගැටලුව සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු දේශපාලනාධිකාරියක් සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති අතර, පෞද්ගලික අංශය මඟින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා සිදුකරනලද සියලු ව්‍යාපෘති යෝජනාද පටු පරමාර්ථ මත බලධාරීන් විසින් බැහැර කරන ලද බව පැවසේ. කොටවිල ප්‍රදේශයට පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවටම පොදු වන නිවැරදි කසළ කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, පවතින සෑම රජයකම මුලික වගකීමක් වන්නේය. අවාසනාව යනු, මහජනතාවට හා ස්වභාවික පරිසරයට හානිවන මෙවැනි සංවේදී මාතෘකා ප්‍රතිපත්ති සකසන්නන්ගේ හා ඒවා ක්‍රියාත්මක කරන්නන්ගේ අවම සැලකිල්ලට ලක්ව තිබීමය.   

 


පීඩාවට පත් කොටවිල ආශ්‍රිත සහෝදර ජනතාවට සහනයක් ලැබෙනතුරු සමස්ත සමාජයක් ලෙස අපි අවදියෙන් සිටිමු.

 

 

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය   
නාලිකා ප්‍රියන්වදා රණතුංග