අනුන් ඇටවූ විදුලි රැහැනේ පැටලී පියා මිය යයි


ජීවිතය ඉල්ලන කිරි කැටියෙක්   

අඩක් නිමකළ නිවස

 

 

එය හාලිඇල, උඩකොහොවිල අඩු අාදායම්ලාභීන් බහුතරයක් ජීවත් වන දුෂ්කර ගම්මානයකි. 


අඩක් නිමකළ නිවසක කඳුළු බොමින් සිටින තරුණ මවකි. ඇය අතේ සිටියේ සිවු හැවිරිදි පුතෙකි. 


සිදු වූ විපත තේරුම් ගන්නට නොහැකිව පුතු පැටියා සිනාසෙද්දී මවගේ දුක තවත් වැඩිවන සෙයකි. 


සිමෙන්ති බිත්ති හතර පමණක් ඉදිකර තිබූ මෙම කුඩා නිවසේ වහල හනි හනිකට සෙවිලි කළේ ගම්වැසියන් විසිනි. ඒ මරණකරුගේ සිහිනයක් සැබෑ කරවන්නටය. 


නිවසේ එකම කාමරය තුළ මිනී පෙට්ටියේ නිසසලව සිටියේ ගෘහ මූලිකයා වූ 30 හැවිරිදි නිශ්ශංක වීරසිංහය. සිය ස්වාමියාගේ වියෝගය උහුලාගත නොහැකිව සුරතල් සුනඛ ජිමී මිනීපෙට්ටිය ළඟ නිරාහාරව වැතිර සිටියේය. 


නිශ්ශංකගේ පියා (69) හැවිරිදි ආර්.යූ. වීරසිංහය. 


කුලී වැඩ කර තම බිරිඳ පමණක් නොව රැකියාවක් අහිමිව සිටි (මරණකරු) පුතා ද පුතාගේ පවුල ද රැක බලාගත්තේ මේ තාත්තාය. 


බිරිඳ, නිරෝෂා ලක්මාලි (25) සැමියාගේ නිසල දේහය දෙස බලාගෙන අසරණ වෙද්දී අතීත මතකය පවා ගෙන දුන්නේ වේදනාවකි. 


අඩු ආදායම්ලාභී පවුලක ඉපිද ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් ඇයට මේ සැමියා (නිශ්ශංක) හමුවුයේ මහමගදීය. නිශ්ශංක ජල නළ ව්‍යාපෘතියක කම්කරුවෙකු ලෙස සේවය කරද්දී මේ හඳුනා ගැනීම සිදුවිය. 


වසර 5කට පෙර දිනක ඔහු ලක්මාලි කැන්දාගෙන ආවේය. තාත්තාගේම නිවසේ මේ දෙදෙනා යුග දිවිය ඇරැඹූහ. 


දරු පැටියෙක් ද ලැබුණ පසු නිශ්ශංක තමන්ට ලැබුණ සුළු වැටුපෙන් කොටසක් එකතු කර ඉතිරි මුදල ෆිනෑන්ස් කර ත්‍රිරෝද රථයක් ද මිලදී ගත්තේය. 


“තාත්තාට හැමදාම කරදර කරන්න බැහැ. අපි වෙනම ගෙයක් හදාගමු.” බිරිඳ කී කතාවට සවන් දුන් නිශ්ශංක තාත්තාගේ නිවස අසලම කුඩා නිවසකට අත්තිවාරම් දමා කාමර දෙකක් හදාගෙන එමින් සිටියේය. 


එහි සිමෙන්ති ගඩොල් බිත්ති පමණක් ඔසවා තිබියදී ජල ව්‍යාපෘතියේ වැඩ නිමවීම නිසා රැකියාව අහිමි විය. 

 

මිනිය තිබු ස්ථානය

 


උත්සාහය අත්නොහළ ඔහු තම ත්‍රිරෝද රථයේ රැකියාව පූර්ණකාලීනව කළේය. 


එහෙත් අබලන් මාර්ගයේ නිතර ධාවනය වූ නිසා ත්‍රිරෝද රථය කෙටි කලකින්ම අබලන්ව එක්තැන් විය. 


කරකියා ගන්නට දෙයක් නොමැති වීම නිසා නිශ්ශංක කුඩා බිම් කඩක වගාවට බැස්සේය. 


වන සතුන්ගෙන් නිතරම හානි සිදුවන මේ ඉසව්වේ තම වගාව රැකගැනීම සඳහා වගාබිමේ පැලක් අටවාගෙන රාත්‍රී කාලය එහි ගත කළේය. 


නිශ්ශංක පමණක් නොව පැල් රකින්නට බිරිඳ ද නිරතුරුවම එකතු වූයේ පුතු පැටියා ද සමගිනි. 


වගාවට අමතරව එළුවන් ඇති කිරීමෙන් ද ආදායමක් ලබාගැනීමට නිශ්ශංක සිතුවේය. 


මේ වනවිට ඔහු එළුවන් 7 දෙනකුගේ හිමිකරුවෙක් විය. උන්ට කෑම සඳහා හැමදාම හැන්දෑවේ තණකොළ කපාගෙන ඒම ඔහුගේ දෛනික කටයුතු අතර අනිවාර්ය කාර්යයක් විය. 
එදින පොද වැස්සක් පැවැතුණ වේලාවකි. සවස 4.30ට පමණ විය. බිරිඳ දරුවා නිදිකරමින් සිටියාය. 


වෙනදා ලක්මාලි ද සැමියාගේ සෙවණැල්ල මෙන් තණකොළ කපන්නට ගිය නමුත් මෙදින තණකොළ කැපීමට ගියේ නිශ්ශංක පමණි. 


“වැස්ස නේ, වැස්ස පෑව්වාම පුතා නිදිකරලා මාත් එන්නම්. පොඩ්ඩක් ඉන්න.” බිරිඳ කීවත් නිශ්ශංක දෑකැත්ත ගෙන නිවසින් එළියට බැස්සේය. 


තම ආදරණිය සැමියා මේ යන්නේ අවසන් ගමන බව බිරිඳ නොදත්තාය. 


තණකොළ කපන්නට ගිය සැමියා රෑ බෝවන තෙක්ම ගෙදර ආවේ නැත. 


කුලී වැඩට ගිය තාත්තා ගෙදර එනවිට රාත්‍රී 7 පමණ විය. 


පුතා ගෙදර ආවේ නැති බව දැනගත් තාත්තා, පුතා සොයා තණකොළ කපන්නට ගිය ප්‍රදේශය පුරා සොයා බැලුවත් සොයාගත නොහැකි විය. 


පුතාගේ අතුරුදන්වීම මහා අභිරහසකි. එදින නිශ්ශංකගේ බිරිඳ පමණක් නොව තාත්තා සහ අම්මා ද රැය පහන් කළේ දැඩි සංවේගයෙනි. 


තාත්තා පසුදා උදෑසනින්ම අවදි වී යළි පුතා සෙවීම සඳහා යාමට සූදානම් වෙද්දී අසල්වැසි නිවසක කාන්තාවක් වන දිලිණි (25) ගමේ පන්සලට දානය රැගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටියාය. 


ගෙදර ජලය නතර වීම නිසා මෝටරය යෙදූ ළිඳ සොයා ගිය ඇයට දක්නට ලැබුණේ බියකරු දසුනකි. 


එය තරුණ මළකඳකි. 


ඒ කවුරුන්දැයි එකවර හඳුනාගත නොහැකි වූ ඇය කෑගැසුවාය.


වීරසිංහ ඒ වනවිටත් පුතා සොයා එම ඉසව්වට ගමන් කරමින් සිටියේය. 


උඩුබැලි අතට වැටී සිටියේ තම පුතා බව හඳුනාගත් වීරසිංහ නැගූ මර ළතෝනියෙන් නාරංගල්ල කඳු වළල්ලම දෝංකාර දුන්නේය. 


ගම්මු වහ වහා එතැනට රොක්වූවත් නිශ්ශංකට පණ දෙන්නට කිසිවෙක් සමත් වූයේ නැත. 


මරණය අභිරහසක් විය. 


බදුල්ල පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත සහ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.පී.කේ. වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා වහාම ක්‍රියාත්මක විය. 


 අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. දයානන්ද, සැරයන් (19803) රත්නපාල, කොස්තාපල්වරුන් වන (47752) කාරියවසම්, (82396) කුමාර, (54255) ගුණසිංහ සහ (74408) ඒකනායක යන නිලධාරීන් සමග විමර්ශන ආරම්භ කළේය. 


බදුල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ විමර්ශන අංශය ද පැමිණියේය. 


මිනිය පරීක්ෂා කළ ඔවුන්ට දැකගන්නට ලැබුණේ මරණකරුගේ පාදයක දණහිසේ තිබූ පිලිස්සුම් තුවාලයකි. 


මෙය විදුලිය සැර වැදීමකින් සිදුවූවක් යැයි අනුමාන කළ ඔවුන් මෙය වෙනත් තැනක මරණය සිදුවීමෙන් පසු මෙම ස්ථානයට ගෙනැවිත් දැමූවක් බවට සැක කළේ සැකකරුගේ පා සටහන් කිසිවක් දක්නට නොලැබුණ බැවිණි. 


මේ අතර බදුල්ල පොලිසියේ නිල සුනඛ ඩස්ටි ද එම ස්ථානයට රැගෙන ආ බදුල්ල පොලිසියේ නිල සුනඛ අංශයේ පො.කො. (23691) ප්‍රියන්ත සිය රාජකාරිය ආරම්භ කළේය. 
මෘත දේහය හා දෑකැත්ත ඉව කළ ඩස්ටි එක එල්ලේම දිවගියේ මිනිය තිබූ ස්ථානයේ සිට මීටර් 60ක් පමණ දුරින් පිහිටි නිවසක් වෙතය. එය කලක සිට වසා දමා තිබූ පාළු නිවසකි. 
මෙම ස්ථානයේ මීට වසර කිහිපයකට පෙර මෙලෙසම විදුලිය වැදී තරුණයෙක් මියයාමේ සිද්ධියකින් පසු නිවැසියන් නිවස වසා දමා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය බව අනාවරණය විය. 


එම නිවස ඉවකළ නිල සුනඛ ඩස්ටි ඉන්පසු දිව ගියේ ඊට නුදුරින් පිහිටි තවත් නිවසක් වෙතය. මේ වනවිටත් පොලිසියේ සැකය එම නිවසේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් වෙත යොමුව තිබුණේය. 


සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය නොවලහා පැවැසීම හැර වෙනත් මගක් නැති බව තේරුම් ගත් සැකකරු පොලිසියට පාපෝච්චාරණයක් කළේය. 
“මම මගේ බෝංචි කොටුවට විදුලිය දැම්මා. ඌරන්ගෙන් වැලිමුවන්ගෙන් බේරාගන්නයි එහෙම කළේ.” 


විදුලිය ගත්තේ කිසිවෙක් නැතිව වසා දමා තිබූ නිවසින්. එහි විදුලි මනුවට උඩින් කටවුට් එක ළඟින් කම්බියක් යොදා විදුලිය ලබාගෙන එළවළු කොටුවට විදුලිය දැම්මා. 
බෝංචි කඩලා ඉවරවෙලා සවස 5.00ට විතර තමයි විදුලිය දැම්මේ. 


මගේ දියණියන් දෙදෙනකුගේ ස්වාමි පුරුෂයන් වන බෑනලා දෙන්නාත් නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා. 


මම එළවළු ටික බදුල්ලට ගෙනිහිල්ලා නැවත ගෙදර ඇවිත් රාත්‍රී 9.00ට විතර කොටුව ළඟට ගිහින් බලනකොට නිශ්ශංක කරන්ට් වැදිලා වැටිලා හිටියා. එයා මියගොස් ඇති බව මට තේරුණා. 


මම ගෙදර ගිහින් බෑනලා දෙන්නාට මේ සිද්ධිය කිව්වා. මිනිය හංගමු කිව්වා. ඒගොල්ල කැමැති වුණේ නැහැ. පොලිසියට කෝල් කරමු කියලා ඒ ගොල්ල කිව්වත් මම ඊට එකඟ වුණේ නැහැ. 


මගේ පෙරැත්තය නිසා ඔවුන් මා සමග එකඟ වුණා. 


අපි මිනිය උස්සාගෙන ගිහින් පාළු ගෙදරක සැඟෙව්වා. 


ඒකත් ප්‍රශ්නයක් නිසා පසුදා අලුයම එම ස්ථානයෙන් මිනිය අරගෙන ගිහින් ඇළට උඩින් තිබ්බා.” යැයි ඔහු කළ අනාවරණය අනුව බෑණලා දෙදෙනා ගැන සොයා බැලුවත් ඒ වනවිටත් ඔවුන් තමන්ගේ ගම්බිමි වන පොළොන්නරුව හා වැල්ලම්පිටියට ගොස් තිබිණ. 


පොලිසියේ කැඳවීම අනුව පැමිණි බෑනාවරු දෙදෙනා ද පොලිස් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් 21 සහ 43 යන වයස් කාණ්ඩවලට අයත්වූවන්ය. 


සැකකරුවන් තිදෙනාම බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ. 


සැකකරුවන් බදුල්ල බන්ධනාගාරය තුළට රැගෙන යද්දී මුළු ගම්මානයම හඬවමින් නිශ්ශංක අවසන් ගමන ගියේය. 


කුලී වැඩ ජීවිකාව කරගත් පියා අද වියපත් කෙනෙකි. නිශ්ශංකගේ බිරිඳ හා දරුවා අන්ත අසරණ වී සිටිති. 


කාගේ හෝ පිළිසරණක් නොලද හොත් පියාගේ වියෝව ගැන හැඟීමක් නැතිව අද දවසේ සිනාසෙන කිරිකැටියාගේ අනාගතය කෙබඳු වේ දැයි සිතාගන්නටත් බැරිය. 

 


සටහන හා ඡායාරූප:

බදුල්ල - පාලිත ආරියවංශ