අන්තර්ජාලයේ ජනප්‍රිය ටික් - ටොක් සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • ටික්ටොක් ගෙනා මහ මොළකාරයා වන ෂැංග්යිමින් (Zhang Yiming) උපන්නේ මෝඩයාගේ දවස ලෙස බටහිර මිනිස්සු හඳුන්වන අප්‍රේල් 1 වැනිදා
  • මුලින්ම මේ ඇප් එක චීනයේ සමාගමක් ප්‍රතික්ෂේප කරලා

 


ව්‍යාපාර වෙනුවෙන් හරි අපූරුවට නම් දාන රටක් ලෙස චීනය නම් කරන්න පුළුවනි. චීනය තමන්ගේ ව්‍යාපාර වෙතින් ලෝකය අල්ලා ගන්නට මේ නම් බොහෝ විට හේතුවක් වී ඇති බව කිව හැකියි. තව කෙනෙකුට හිතා ගන්නවත් බැරි විදියට තමයි මෙයාලා ව්‍යාපාරවලට නම් යොදා ගන්නෙ. බලන්න ‘‘අලි බබා’’ යන නාමය? ඒ වගේම ටෙන්සෙන්ට් (ශත දහය) මේ වගේ සමාගම් අද මුළු ලෝකය    වගේම මහජන චීනය අල්ලාගෙන සිටින වග කිව හැකියි. 


අන්තර්ජාලය ඔස්සේ විනෝදාස්වාදය ලබාගත හැකි විදියට වීඩියෝ නිර්මාණය කර ගනිමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදා ගැනීමේ අවකාශය පරිශීලකයින්ට ලබාදුන් ‘‘ටික් ටොක්’’ තවත් එවැනි ආකර්ෂණීය නාමයකි. අද අප විස්තර පවසන්නට සූදානම් වන්නේ ‘‘ටික් ටොක්’’ බිහි කළ සමාගම ගැනය. එහෙනම් ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙතින්, ‘‘ටික් ටොක්’’ සහ එය බිහි කළ මිනිසා ගැන විස්තර අද අපි දැන ගනිමු.   


‘‘ටික් ටොක්’’ චීනයේ හැඳින්වෙන්නේ ඩූයින් (Douyin) ලෙසය. ‘‘ටික් ටොක්’’ යනු චීනයේ අන්තර්ජාලයේ සේවා සපයන ප්‍රකට සාමගමක් වන බයිට් ඩාන්ස් (Byte Dance) සතු වූවකි. සමාජ මාධ්‍ය වේදිකාවක්, රඟහලක් කර ගනිමින්, හාස්‍යය, සංගීතය, ගැයුම, රැඟුම, නර්තනය, මිමිණීම වැනි අංශ ඔස්සේ වීඩියෝ හුවමාරු කර ගැනීමේ ​සේවාවකි. ‘නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස්’’ පුවත්පත විටෙක ප්‍රකාශ කර තිබුණේ. ‘‘ටික් ටොක්’’ ලෝකයට අලුත් පිටුවක් - පරිච්ඡේදයක් ලියා ඇති වගයි. වයස් භේදයකින් තොරව, තමුන්ගේ ඉහත කී හැකියාවන් වීඩියෝ ඔස්සේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගත හැකිවීම නිසා, මෙලෙසින් ‘‘ටික් ටොක්’’ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ. විශේෂත්වය වන්නේ තත්පර පහළොවකට හෝ විනාඩියක් ඉක්මවා යා නොහැකි කාල පරාසයකට අනුව වීඩියෝ නිර්මාණය කරගත හැකිවීමය. කෙනෙනකුගේ තත්පර දෙක - තුනක හිනාවක්, වැනි දෙයක් පවා මිලියන ගණනක් නරඹන තරමට මේ පහසුකම නැති නම් ඇප් එක නිසා හැකිව තිබේ. ‘‘ටික් ටොක්’’ ලෝකයට අවතීරණ වෙද්දී ​බො​හෝ දෙනා විශ්වාස කළේ ටීන් ඒජර්ස්ලා, නොඑසේ නම්, 20 න් පහළ තාරුණ්‍ය පමණක් මෙය උන්මාදයක් ලෙස වැළඳ ගනීවි යන්නය. නමුත් අවසන එය උන්මාදයක් බවට හැරවුණේ වයස් භේදයකින් තොරවය. ළමා ප්‍රජාවට ‘‘ටික් ​ටොක්’’ හානිකර යැයි ඇමරිකාව පවසා සිටි නිසා, ළමයින්ට භාවිතා කළ හැකි අන්දමට පහසුකමක් පවා එනිසා හඳුන්වාදීම ‘‘ටික් ටොක්’’’ ගෙනෙන ‘‘බයිට් ඩාන්ස්’’ සමාගම හට සිදුවිණි.   


චීනය, සවුදි අරාබිය, මලයාසියාව, ඉන්දුනීසියාව සහ මැද පෙරදිග රටවල දී බොහෝ විට ‘‘ටික් ටොක්’’ භාවිතා කරන්නේ, 16 ත් 24 ත් අතර වූ සීමාවේ සිටින අයට වඩා 25 ත් 34 ත් අතර වයස්වල පසුවන අයවීම එක්තරා විදියක විශේෂත්වයකි. ඇමරිකාවේ ‘‘ටික් ටොක්’’වලට ඇබ්බැහි වූ කාන්තා ප්‍රතිශතය 60% ක් පමණ වන අතර පිරිමි ප්‍රජාව 40%ක් පමණ වේ. ලෝකයේ 90න් පසුව බිහිවූ ප්‍රජාව වැඩි හරියක්ම මේ ‘‘ටික් ටොක්’’ උන්මාදයෙන් පෙළෙන බව කිව හැකිය. චීන සහ ඉක්වදෝර සම්භවයක් ඇති ඇමරිකානු ජාතික ස්පෙන්සර් එක්ස් නමැති යූ ටියුබයේ තරුවක් වී සිටින ශිල්පියා ඔහුගේ ඉන්සටර්ග්‍රෑම් ‘‘ටික් ටොක්’’ පිටුව ඔස්සේ මිලියන 30 ක ජනතාවකට සමීපව සිටී. ‘‘බේබි ඒරියල්’’ නමැති තරුණිය ලුහුබැඳ ඇති පිරිස මිලියන 31 ට සමීපය. චාලි ඩි අමෙලියෝ ලුහුබැඳි පිරිස මිලියන 42 ක් පමණ වේ. මෙය හොලිවුඩ්, ​බොලිවුඩ් තරු ලබන අන්තර්ජාල ජනප්‍රියත්වයට වඩා විශාල වූ ප්‍රමාණයකි. මෙනිසා සමහර ‘‘නිර්මාණශීලී’’ වීඩියෝ ඉදිරිපත් කිරීමට පෙළැඹී සිටී. මෙවැනි දේ නිසා ‘‘ටික් ටොක්’’ නිසා බොහෝ දුෂ්කරතාවන්ට පත්ව සිටින්නේ ලෝක ප්‍රකට මියුසික් වීඩියෝ සාමගම් බව කිව යුතුමය. මිලියන ගණනක් මියුසික් වීඩියෝ සහ ගීත නිර්මාණ යොදා ගනිමින් ‘‘ටික් ටොක්’’ වීඩියෝ නිර්මාණය වේ. මෙනිසා කතෘභාගය සහ හිමිකාරිත්වය උදෙසා අයවිය යුතු මුදල් අයකර ගැනීම අතිශය බැරෑරුම් කටයුත්තක් වී තිබේ. මෙනිසා සමහර මියුසියක් වීඩියෝ සහ සංගීත නිර්මාණ අංශයේ සමාගම් ‘‘ටික් ටොක්’’ වෙතින් වන්දි අයකර ගැනීමේ අරමුණින් නීති ක්‍රියාමාර්ගවලට පවා පෙළැඹී ඇත. කෙසේ වෙතත්, ‘‘ටික් ටොක්’’ යනු අන්තර්ජාල සේවාවට අලුතින් බිහිවූ සමාගම් අතරින් ඉහළම වටිනාකමට පත්වූ සමාගමය.  


‘‘ටික් ටොක්’’’ කාගේ කවුද?  


‘‘ටික් ටොක්’’ යනු චීනයේ ‘‘බයිට් ඩාන්ස්’’ සමාගම සතු වග අප මේ සටහන මුල දී සඳහන් කළෙමු. එ​සේ නම් එම සමාගමේ හැඩහුරුකම මොනවගේද කියා අපි බලමු. බයිට් ඩාන්ස් (Byte Dance) යනු චීනයේ මූලස්ථානය කරගනිමින් අන්තර්ජාල සේවා සපයන මහා පරිමාණ සමාගමකි. නමුත් මෙහි නිත්‍ය වාසස්ථානය හෙවත්, පැවැත්ම ඇත්තේ බ්‍රිතාන්‍යයේ කේමන් දූපත් සතුවය. එහි සිට දියත් වූ නමුදු ‘‘බීජිං’’ මූලස්ථානය කරගෙන ලෝකයට විවර වූ බව කිව හැකිය. ‘‘බයිට් ඩාන්ස්’’ සමාගම ස්ථාපිත වූයේ මීට වසර ගණනාවකට පෙර දී නම් නොවේ. මේ කාලයේ දීය. එනම් 2012 දී පමණය. ‘‘ෂැංග් යිමින්’’ (ජංග් යීමින්) යනු ‘‘බයිට් ඩාන්ස්’’ බිහිකළ මහ මොළකරුවාය. කවුද මේ ෂැංග් යිමින්?   


මෝඩයාගේ දිනයේ දී උපන් අන්තර්ජාල නුවණක්කාරයා 

 
අප්‍රේල් පළමුවැනිදා බටහිර මිනිසුන් විසින් හඳුන්වා දී ඇත්තේ​​ මෝඩයාගෙ දවස ලෙසය. නැතහොත් බොරු කියන්නන්ගේ දවස ලෙසය. මේ ෂැංග් යිමින් උපන්නේ බටහිරට බොරුවක් වූ අප්‍රේල් 1 වැනිදාය. ඒ - 1983 වසරේ දී ෆුජියාන් දිස්ත්‍රික්කයේ ලොංග්යාන් හිදීය. ටියෑංජින්හි නැත්කායි සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ක්ෂුද්‍ර මෘදුකාංග අංශයේ මූලිකව හදාරා ඔහු 2005 වසරේ දී ඉන් පිටව ගියේ මෘදුකාංග ඉංජිනේරු උපාධියට හිමිකම් දරමිනි. හැබැයි ‘‘ෂැංග්’’ සරසවියෙන් ලබාගත්තේ උපාධිය පමණක්ම නොවේ. පෙම්වතිය ද ඩැහැගෙන ගිය බව සඳහන් කළ හැකිය. ඔහුගේ බිරිඳ වූයේ ඒ ප්‍රේමයයි. 2006 වසරේ දී ෂෑංග් රස්සාව පටන් ගත්තේ "Kuxun" (චීන බසට අනුව හත්සූන්) නමැති සංචාරක අංශයේ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය සමාගමේ පස්වැනි සේවකයා ලෙසය. මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස එලෙසින් සේවයට එක්වූ ඔහු වසරක් යාමට පෙර එහි තාක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්විය. පසුව ‘‘මයික්‍රෝසොෆ්ට්’’ ආයතනය හා බැඳී සේවය කිරීමට පෙළැඹි නමුත්, ආයතනික ප්‍රශ්න, ගැටලු සහ මතභේදාත්මක දේ නිසා වහා ඉන් ඉවත්වී නැවත "Kuxun" වෙත ආවේය. "Kuxun" ආයතනය මේ මහ මොළකරුව කිසිසේත්ම අත් නොහැරීය. එවර ඔහු "Fanfou" නමින් අංශයක් මෙම ආයතනය වෙත නිර්මාණය කර දුන්න ද එය අසාර්ථක වුණි. හැබැයි මේ චීනා තමා හපනා යැයි නිරන්තරයෙන් විශ්වාස කළ දෙයක් විය. එකී විශ්වාසය සහ කැපවීම සමග සේවය කළ ෂැංග් නිසා "Kuxun" සමාගමට ‘‘එක්ස්පීඩියා’’ නමින් තවත් අංශයක් විවර කරගත හැකි වුණි. පසුව ඔහු මෙම ආයතනය සතුවූ දේපළ වෙළඳාම් අංශය බාරගෙන එහි නියමුවා ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේය. එය නම් වූයේ "99fang.com" යනුවෙනි. එය ෂැංග් යිමින්ගේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය ප්‍රථම සමාගම ලෙස සඳහන් වේ. 2012 වනවිට ඔහු චීන සමාජයේ යමක් සොයා ගත්තේ සමාජයේ අවැසිතාව කෙරෙහි තිබූ සූක්‍ෂම දැක්ම අනුවය. ජංගම දුරකථනය ඔස්සේ චීන සමාජයේ තාරුණ්‍ය අලුත් යමක් සොයමින් සිටින වග ඔහු වටහා ගෙන තිබුණි. එ් වනවිට අලුත් යමක් නිර්මාණය කර දී යමක් දිනා සිටියේ "Baidu" (බයිදු) නමැති සමාගමය. ‘‘කෘත්‍රිම බුද්ධිය’’ මෙහෙයවා කළ යුතු අලුත් දෙයක් ගැන ‘‘ෂැංග්’’ විශ්වාසය තැබීය.   


එසේ වුවද, නිර්මාණශීලී අංශයක් පටන් ගැනීමට තරම් ආර්ථික අතින් ඔහු පො​හොසත් නොවුණි. ඒ හැරත් එවැනි සමාගමක් ස්ථාපිත කිරීමේ දී ආරක්ෂණ සහ ප්‍රතිරක්‍ෂණ සඳහා තැන්පත් මුදලක් පවා දැරිය යුතු වේ. නමුත් තමා ස්ථාවර වන තෙක් මූල්‍යමය වශයෙන් උර දැරීමට චීනයේ අන්තර්ජාල සහ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රකට සමාගමක් (සමූහ) ඔහු හා එකඟ වුණි. එය මහ මෙරක් තරමට ශක්තියක් කරගත් ෂැංග් යිමින් තමාගේ වැඩ පෙන්වීමේ යුගයට අවතීර්ණ විණි. "Toutiao" ටූටියාඕ "APP" එක මුල්වරට ඔහු විසින් හඳුන්වාදුන් අතර, දෙවසරක් ඇතුළත දී දිනපතා මිලියන 13 ක හෙවත් කෝටි 13 ක සුවිශාල චීන ජන ගංගාවක් පරිශීලනය කරන ‘‘ඇප්’’ (APP) එක බටව පත් කරවීමට ඔහුට හැකිවිණි. පුදුමය නම් මෙම ‘‘ඇප්’’ එක නිර්මාණය කිරීම සහ පසුව එය පවත්වාගෙන යාම වෙනුවෙන් ඔහු Sequoia Capital (සිකුවියා කැපිටල්) ආයතනයෙන් මුල දී ඉල්ලා සිටිය ද, එම ආයතනය විසින් එය ප්‍රතික්ෂේප කර තිබිණි. 2014 වනවිට ‘‘ෂැංග්’’ ගේ "Toutiao" ​ඩොලර් මිලියන 100 ක ආදායමක් ලැබීම මගින් ඔහුව ප්‍රතික්ෂේප කළ සමාගමට මොන තරම් නම් දුකක් දැනෙන්නට ඇති ද?  


ඒ මගින් ‘‘ෂැංග්’’ තමා ප්‍රතික්ෂේප කළ අයට කියා දුන්නේ යස පාඩමක් නොවේද? එනිසා අලුත් යමක් කරද්දී, ඔබ යමෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්? එයින් කිසි විටෙකත් පසුබට නොවන්නට ‘‘ෂැංග්’’ වෙත ගත හැකි ආදර්ශය වේ. 2012 දී ඔහු තමාගේ සමාගම බිහි කළේ, ‘‘බයිට් ඩාන්ස්’’ ලිමිටඩ් නිමිනි. (Byte Dance Ltd) ටුටියාඕ "Toutiao" යනු ‘‘පුවත් සිරැසි’’ හෙවත් ‘‘හෙඩ්ලයින්’’ යන තේරුමය. 2018 වනවිට ‘‘බයිට් ඩාන්ස්’’ දිනපතා පරිශීලනය කරන්නන්ගේ ගණන මිලියන 800 ක් වූ බව වාර්තා වුණි. මෙම සමාගම හැඳින්වෙන්නේ "Most Valuable Unicorns" හෙවත් සේවා සැපයීමේ ප්‍රවණතාවයේ දී වඩාත් ක්‍රියාකාරී සමාගම ලෙසය.   


2020 මැයි 19 වැන දින තවත් විශේෂිත දෙයක් සිදුවිණි. ලෝප්‍රකට ‘‘ඩිස්නි’’ සමාගමේ අන්තර්ජාල විකාශන අංශ සේවාව බාරව සිටි ප්‍රධානියා වූ කෙවින් මේයර්, ‘‘බයිට් ඩාන්ස්’’ සමාගම සමග එක්වන බව ප්‍රකාශවීම ඒ සිදුවීමය. 2020 ජුනි සිට අගෝස්තු දක්වා ඔහු ‘‘ටික්ටොක්’’ සහ ‘‘බයිට් ඩාන්ස්’’ හි ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේය. තොරතුරු තාක්ෂණය සහ ඊට අදාළ වැඩකරුවන් සියල්ල කේන්ද්‍රගතව සිටින්නේ ඇමරිකාවේය. එහෙත් ඔවුන් අභිබවා ගිය ‘‘ෂැංග් යිමින්’’ යනු සැබෑ මොළකාරයකු ලෙස හැඳින්වීම වඩාත් සාධාරණය.   


ඒ හැරත් ‘‘චීන’’ අන්තර්ජාල ඇප් එකක් ලෙස ‘‘ටික් ටොක්’’ මගින් ඇමරිකාව අල්ලා ගැනීමම මොනතරම් නම්, හාස්කමක්ද? කෙටියෙන්ම කිවහොත් හිටපු ජනපති විටෙක කියා සිටියේ ‘‘ටික් ටොක්’’ තම රටේ තහනම් කළ යුතුය යන්න පුවත් පවා පළවී තිබිණි. ඇමරිකාව එලෙස ‘‘ටික් ටොක්’’ වෙත හරස් වෙද්දී, දේශ සීමා ප්‍රශ්න නිසා ඇවිලෙන්නට ඔන්න මෙන්න කියා ඇති චීන - ඉන්දීය ප්‍රශ්නය නිසා ඉන්දියාව ද නිකන් හිටියේ නැත. ‘‘ටික් ටොක්’ වෙත පරහට සිටියේය. චීනයේ මිතුරකු වන පාකිස්ථානයේ දී පවා ‘‘ටික් ටොක්’ තහනම් කරවීය. එහෙත් එය වලංගු වූයේ දින 10 කට පමණකි. ‘‘චීන - පාකිස්තානු’’ මිතුදම ඊට වඩා ලොකු නිසා, ‘‘ටික් ටොක්’’ තරගය ජය ගත්තේය. මේ ‘‘ටික් ටොක්’’ ඇමෙරිකාවේ ‘‘තරු’’ අතර වඩාත් ප්‍රකට යැයි මෙම සටහන මුල දී අපි සඳහන් කළෙමු. ඒ අතර, ලෝ ප්‍රකට ජෙනිෆර් ලෝපෙස්, සෙලීනා ගෝමස්, විල් ස්මිත්, ඩ්වේන් ජොන්සන්, කැමිලා කැබෙලෝ යනු ‘‘ටික්ටොක්’ කෙරෙහි පිස්සු වැටුණ චරිතය. ලෝක ජනගහයෙන් කාන්තා 44% ක් සහ පිරිමි පර්ශවය 56% ක් පරිශීලනය කරන බව සඳහන් වේ.   
2020 ජූලි වන විට ඇමරිකාවේ මිලියන 90 ක ජනතාවක් මාසිකව සක්‍රීයව සිටි බව සඳහන් වේ. සියුම් කිතියකින් කමකට නැති වචන දෙකක් වන ‘‘ටික් ටොක්’’ වෙතින් ‘‘චීනා’’ ඇමරිකාව ඇතුළු ලෝකය අල්ලා ගැනීම මොනතරම් නම් දක්ෂතාවයක් ද නේද? අන්තිමට අපට කීමට ඇත්තේ එලෙසින්ය.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ