අධිවේගී මාර්ග හැදූ දා සිට ආදායම මෙහෙමයි


 

මෙරට අධිවේගී මාර්ග වලින් 2012 වර්ෂයේ සිට මේ මාසය දක්වා (2020 හැර) ලබා ඇති ආද‌ායම රුපියල් මිලියන 43942 ක් බව වාර්තා වේ.  


මහා මාර්ග අමාත්‍යංශයේ වාර්තාවලට අනුව 2012 වසරේ සිට මෙවර සිංහල අලුත් අවුරුදු කාලය දක්වා මෙම ආද‌ායම ලැබී ඇත.  


ඒ අනුව 2012 වර්ෂයේදී රුපියල් මිලියන 1047.4 ක්ද, 2013 දී රුපියල් මිලියන 1599.6 ක්ද, 2014 දී රුපියල් මිලියන 4097.5 ක්ද, 2015 දී රුපියල් මිලියන 5362.9 ක්ද, 2016 දී රුපියල් මිලියන 7135.5 ක්ද, 2017 දී රුපියල් මිලියන 7140.5 ක්ද, 2018 දී රුපියල් මිලියන 7977.9 ක්ද, 2019 දී රුපියල් මිලියන 9161.8 ක්ද 2021 සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් මිලියන 349 ක්ද ආද‌ායමක් ලැබූ බව වාර්තා වේ.  


මාර්ග තදබදය වැළැක්වීම, කාලය අපතේ යාම වැළැක්වීම සඳහා හොඳම පියවර අධිවේගී මාර්ග ලෙස සඳහන් කළ හැකිය. මාර්ග තදබදය නිසා දිනකට රුපියල් මිලියන 100 ක මුදල් වටිනාකමක් නාස්තිවන බව වාර්තාවේ.  


මාර්ග තදබදය නිසා සිදුවන ඉන්ධන ක්ෂයවීම, වාහනවල ක්ෂයවීම, වායු ගෝලය අපිරිසිදු වීම, නියමිත වෙලාව ප්‍රමාදවීමෙන් සිදුවන හානිය, රස්තියාදුව මේ සියල්ලක්ම ගණන් බැලීමේදී මේ තරම් වටිනාකමක නාස්තියක් සිදුවන බව ගණන් බලා ඇත.  

 

 

අධිවේගී මාර්ග සංකල්පය අප රටට ගෙන ආවේ, ක්‍රියාත්මක වුණේ 2011.11.27 දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ජනතා අයිතියට පැවරීමත් සමඟය. ඒ කටයුත්ත සඳහා මෙරටට අලුත්ම අත්දැකීමක් වූ අධිවේගී මාර්ග සංකල්පය ගැන විවිධ කතා බහ, විවේචන, උද්ඝෝෂණ, විරෝධතා, නඩුහබ මේ සියලු බාධක අලුත් සංකල්පයටත් ඉදිරිපත් වී තිබුණි.  


රටක් සංවර්ධනය කිරීම හෝ රටක දියුණුව රඳා පවතින්නේ සෞඛ්‍ය, විදුලිය, ජලය, නිවාස, මහාමාර්ග, විදුලි සංදේශ මේ සියලු අංශවල පවත්නා දියුණුව මතය. විශේෂයෙන් ප්‍රවාහන පද්ධතිය දුර්වල වූ විට අනෙක් කුමන අංශයක සංවර්ධනයක් තිබුණත් එහි ඔපයක් හරයක් නැත.  


අධිවේගී මාර්ග මේ රටේ ණය බර තවත් වැඩි කරන බවටත් ‘‘අපේ වගේ රටකට මොන අධිවේගද?’’ යන මතයන්හි පිහිටා සිටි පිරිස්ද වූහ. ගම් බිම් විනාශ කරන, ජන ජීවිතයට හානි පීඩා ලබා දෙන, ජනතාවගේ ආර්ථිකය විනාශ කරන, පරිසරයට හානි කරන අධිවේගී මාර්ග භීතිකාව මධ්‍යයේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කළද, අධිකරණමය ක්‍රියාමාර්ග හා විවිධ හේතු මූලික කර ගනිමින් ප්‍රමාද විය.  


ඒ වෙනුවට කොළඹ - මාතර මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල (පින්නදූව) දක්වා අදියර මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය විය. මෙම කොට්ටාව සිට ගාල්ල දක්වා දුර කිලෝමීටර් 131.1 කි. දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වියදම රුපියල් බිලියන 241.9 කි. එයින් පළමු අදියර සඳහා රුපියල් බිලියන 103.3 ක්ද, දෙවැනි අදියර සඳහා රුපියල් බිලියන 55.2 ක්ද තුන්වන අදියර සඳහා රුපියල් බිලියන 31.5 ක්ද, හතරවන අදියර සඳහා රුපියල් බිලියන 52.2 ක්ද ලබා ඇති බව වාර්තා වේ.  


ණය ආධාර දෙනු ලැබුවේ චීන එක්සීම් බැංකුවයි. ඒ සියයට 2 ක් වූ අඩු පොලියකටය.  
මේ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිට කතරගමට පැය 3 1/2 කින් යාමට අධිවේගී මාර්ගය දීර්ඝ කරමින් සිටී. වෙහෙසකාරී බවකින් මාර්ග තදබදයකින් තොරව පැය 3 1/2 ක ගමන් කාලය පිළිබඳ දැනීමක් නොමැතිව මෙම අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කළ හැකි වේ.  


මේ මාර්ගය අද වන විට බෙහෙවින් ජනප්‍රිය, ජනතාවගේ සිත්ගත් මාර්ගයක් වී ඇත. මේ අධිවේගී මාර්ගයේ දිනපතා රැකියාව සඳහා කොළඹට පැමිණෙන අය සිටිති. මේ වන විට කාර්යාල බස්රථ සේවා රාශියක් පවත්වාගෙන යන අතර සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක වාහන තදබදයක් නොවුණත් සිංහල අවුරුද්ද දිනවල මාර්ගයේ විශාල තදබදයක් පැවැති බව වාර්තාවේ.  


කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කොට්ටාව-කඩුවෙල හා කඩුවෙල - කඩවත යන කොටස් ද්විත්වය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජසිකා) මූල්‍ය පහසුකම් සලසා ඇත. ඒ යටතේ සියයට දශම දෙකක පොලී අනුපාතයක් හා වසර 40 ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව ජපන් යෙන් මිලියන 37406 ක වටිනාකමකින් යුත් සහන ණය පහසුවෙන් ජපන් රජය විසින් ලබා දී තිබේ.  


පිටත වටරවුම් මාර්ගය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව අන්තර් හුවමාරුවේ සිට උතුර දෙසට දීර්ඝ වේ. දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව අන්තර් හුවමාරුවේ සිට උතුර දෙසට දීර්ඝ වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේද කිලෝමීටර 66 ක් ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ඇත්තේද ජයිකා ආයතනය විසිනි.  
අධිවේගී මාර්ග ජාලය තුළ බුද්ධිමය ප්‍රවාහන පද්ධති පහසුකම් ස්ථාපිත කිරීම සඳහා ජයිකා ආයතනයෙන් යෙන් මිලියන 940 ක් ලබාදී ඇත.  


කොළඹ පිටත අධිවේගී මාර්ගය කොට්ටාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන අතර කෙරවලපිටියේදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයත්, කඩවත ‘‘සිව් මංසල’’ දී මධ්‍යම අධිවේගී මාර්ගයත් සම්බන්ධ වේ.  


මීළඟට විශේෂ වැදගත්කමක් ගනු ලබන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයයි.   
කඩවතින් ආරම්භ වන මධ්‍යම අධිවේගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර එය කොස්සින්න හරහා ගම්පහ දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත. චීන එක්සීම් බැංකුව රුපියල් බිලියන 158.4 ක්ද, පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගයට රුපියල් කෝටි 15000 ක්ද, කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගයට රුපියල් බිලියන 150 ක්ද, වෙන් කිරීමට නියමිතව ඇත. දඹුල්ල දක්වා දිවෙන මාර්ගය යාපනය දක්වා දීර්ඝ කිරීමටද නියමිතය.   


අධිවේගී මාර්ග වැඩ පිළිවෙළ රටට ඉතාම ඵලද‌ායී එකක් වී ඇති අතර රටේ ජනතාවට විශාල පහසුවක් වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය නිහාල් ලොඩ්රික් මහතා කීවේය.   
අධිවේගී මාර්ගවලට ලබාගත් ණය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ මහාභාණ්ඩාගාරය මගින්ය. ඔවුන් ණය පියවීම් පොලී ගෙවීම් ආදී කටයුතු නිසි වෙලාවට සිදු කරනු ඇත.  
දැනට අධිවේගී මාර්ග වලින් ලබා ගන්නා මුදල් විශේෂ ගිණුමකට බැර කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරිය සතු ගිණුමකට මෙම මුදල් බැර කෙරෙන අතර එයින් මාර්ග ඉදිකිරීම් සඳහා මුදල් අවශ්‍ය වන විට වැය කිරීම සිදුවේ. දැනට පවතින මාර්ගවල නඩත්තු කටයුතු සඳහා ද මාර්ග සංවර්ධන කටයුතු සඳහා ද මෙම මුදල් යොදවනු ලබයි.  


බොහෝ විට මාර්ග සඳහා පමණක් මෙම මුදල් යෙදවීම සිදු වෙයි. අධිවේගී මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පැවතුනත් මේ වන විට එම මාර්ග බෙහෙවින් ජනතාවට ප්‍රයෝජනවත් වන අතර, හොඳ ආද‌ායමක් ලබා දෙන තත්ත්වයටද පත්ව තිබේ.  


අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් පසු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ අඩුවක් පැවතුණි. කොරෝනා තත්ත්වය මත යළි ගිය මාර්තු මාසයේදීත් ආද‌ායමේ අඩුවක් පැවතුණි.  
මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘති වශයෙන් ක්‍රියාත්මක වී අවසන් වූ පසු මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීම සිදු කෙරේ.  

 

 

දයාසීලි ලියනගේ