2017 වසර රටට කොහොමද ?


මෙම වසර තුළ තවදුරටත් ස්වභාවික ආපදා, ගිනි ගැනීම්වලින් ඉතා පරෙස්සම් විය යුතු අතර මේ වසර අයහපත් ප්‍රතිඵල වැඩි වශයෙන් ඇතිවිය හැකිය.

 සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමග ජ්‍යෝතිෂයට අනුව රටට කුමක් වේදැයි සෑම කෙනෙක් තුළම ඇති ප්‍රශ්නයකි. සිංහල අලුත් අවුරුදු උදාවත් සමග ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් මතුවිය. ඉන් එකක් මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිනිස් ජීවිත හා දේපල හානි වූ අතර තව පැත්තකින් වසංගත රෝග නිසා ජනතාව පීඩාවට පත්විය. එමෙන්ම වෙන වසරවලට වඩා අවුරුදු නැකත් පිළිබඳව විවේචන උදාවූයේය. මෙම තත්ත්වය හමුවේ උදාවූ නව වසර රටට කෙසේ වේදැයි ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුජිත් නිශාන්ත යෝගිතුමාගෙන් මෙවරත් විමසා බලමු.


වසරක් ගෙවී ගොස් නව වසරක් උදාවන්නේ සූර්යයාගේ ගමනට අනුව අප්‍රේල් මාසයේදීය. 2017 වසර අළුයම 2.04 ට සූර්යයා මේෂ රාශිගතවීමත් සමග අවුරුදු උදාවූ අතර තත්කාල කේන්ද්‍රයට අනුව මේෂ ලග්නයෙන් අලුත් අවුරුද්ද උදාවිය. එම මොහොතේ තත්කාල කේන්ද්‍රයට අනුව මේෂ ලග්නයේ ග්‍රහලොවේ රජු හෙවත් රාජ්‍ය කාරක රවි ග්‍රහයා ඥාණකාරක බුධ ග්‍රහයා සමග යෝගීව ලග්නයේ සිටින අතර ලග්නයේ හතර අධිපති සඳු ග්‍රහයා අටවැන්නේ නීචව පිහිටා ඇති අතර නවය, දොළහ අධිපති ගුරු ග්‍රහයා දුෂ්ඨ ස්ථාන වන හයවැන්නේ පිහිටා ඇත. ඒ අනුව උදාවූ නවවසර රටට එතරම් යහපත් බවක් නොපෙනේ. මේ අතර පීඩිත මහජනයා නියෝජනය කරන ලංකා කේන්ද්‍රය අධිපති සෙනසුරු මෙම මස මුල සිට වක්‍ර ගමනක යෙදෙන සැප්තැම්බර් වනතුරු වෘෂ්චික රාශියේ සිටිනු ඇත. එබැවින් රටට මෙන්ම මහජනයාට අශුභදායක කාල සීමාවක් උදාකරනු ඇත.


මහජන කැළඹීම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි අතර අනපේක්ෂිත සිදුවීම් ඇතිවනු ඇත.


එමෙන්ම රජය උත්සාහ කරන ආර්ථික ස්ථාවරයක් ඇතිකර ගැනීමට හැකියාවක් නොමැති වන අතර කෘෂිකාර්මික දියුණුව පහතට වැටීම, වගා හානි ඇතිවීම, ආර්ථික ක්‍රමවේද අසාර්ථක වීම නිසා නැවත ඇතැම් බඩුමිල ඉහළයාම, ජීවන වියදම් අධිකවීම වනු ඇත.
 තවද රටේ නායකයා වන වත්මන් ජනාධිපතිවරයාට ද ඔහු ගන්නා දේශපාලනික තීරණ ඔක්තෝබර් වනතුරු අසුභ බැවින් පුවපල් නැකතේ උපන් තුලා ලග්නේ හිමි එතුමාගේ කේන්දරේට අනුව දූර්දර්ෂිව තීරණ ගත යුතුය. එතුමා පක්ෂ නායකයකු හා රටේ නායකයා ලෙස ගන්නා දේශපාලන තීරණ එතුමාට සහ පක්ෂයක් ලෙසද ඉතා දුර්වල ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන නිසා ඔක්තෝබර් අගවෙන තුරු දැඩි තීරණවලට කටයුතු නොකළ යුතුය.


තවද අස්විද නැකත කන්‍යා ලග්නයේ උපන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තද බල නරක කාලය ඔක්තෝබර් වලින් සමනය වන අතර ඉදිරි කාලය තරමක යහපත් බවක් ඇති කරමින් අහිමිවී තිබුණු මහජන ප්‍රසාදය නැවත එතුමා වෙත ළඟා කරමින් දේශපාලන වෙනසක් සඳහා නැවුම් මුහුණුවරකින් ඉදිරියේදී ඉතා තීක්ෂණ නුවණකින් ක්‍රියා කරනු ඇත. වත්මන් සම්මුති ආණ්ඩුව තවදුරටත් එක්ව කටයුතු කරන අතර අගමැතිතුමාට එන අභියෝග වලට මැනවින් කටයුතු කරමින් තම දේශපාලන පරිණතභාවය යොදා ගනිමින් කටයුතු කරනු ඇත.


එහෙත් ආණ්ඩුව තුළ ඇතැම් ඇමැතිවරුන්ගේ තනතුරුවල වෙනසක් සිදුවන අතර පක්ෂ දෙකේ ඇතැම් මැති ඇමැතිවරු අතර එළිපිට වාද ඇති වෙමින් ගැටලු වාද විවාද ඇතිකර ගනී. තවත් අය තුළ වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳ කළකිරීම් ඇතිවන අතර සමහර අය දේශපාලන වෙනසකට වෙනත් පාර්ශ්ව සමග කටයුතු කරන්න පෙළඹෙනු ඇත.


 ඉදිරි මැතිවරණයෙන් පැමිණි පසු නැවතත් දේශපාලන නාය යෑමක් ඇතිවන අතර පවතින පාලනයට එරෙහිව බුද්ධිමතුන්, උගතුන්, කලාකරුවන්, දේශපාලන සංවිධාන වේදිකාවකට පැමිණෙන අතර එහි දේශපාලන කුණාටුවෙන් නැවතත් ලංකා දේශපාලනයේ උඩු යටිකුරු වෙමින් දේශපාලන අස්ථාවරයක් ගොඩනැගෙන අතර ඊළඟ මහා මැතිවරණය ඉදිරියේදී විපක්ෂය හා නොසිතූ ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් රටේ ප්‍රබල චරිතයක් ලෙස පවතින ආණ්ඩුවට විරුද්ධව සංවිධාන ගත වනු ඇත. එම නිසා ලාංකීය දේශපාලන ලෝකය නැවත අස්ථාවර බවක් ඇතිවනු ඇත.


ඉදිරි කාලය තුළ අධ්‍යාපනික සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ අර්බුද ඉහළ යමින් විදුලි, ප්‍රවාහන හා රාජ්‍ය සේවකයන් අතර අර්බුද උත්සන්න වී වැඩ වර්ජන උද්ඝෝෂණ ඇතිවන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර විශාල ගැටලු ප්‍රචණ්ඩ ක්‍රියා පවා ඇතිවනු ඇත. උතුරේ අන්තවාදී දේශපාලනය නැවත රටේ යහපාලනයට ගැටලු ඇති කරමින් නැවත ප්‍රශ්න උද්ගත වෙමින් ආරක්ෂක අංශ සමග  පවා ගැටලු ඇතිකර ගැනීම් නිසා ප්‍රචණ්ඩ ක්‍රියා පවා ඇතිවිය හැකි නිසා ආරක්ෂක අංශවල දැඩි අවධානය ඇතිවිය යුතුය.


එමෙන්ම පසුගිය කාලය පුරාවට පැවසූ පරිදි වර්ෂාව ඉතා අඩුවන අතර ඉදිරි කාලය තුළ වර්ෂාව, ගංවතුර ඇතිවීම දක්වා ඇතිවනු ඇත. ඉතා දැඩි වර්ෂා කාල සමග සුළි කුණාටු කඩා වැටීම් දේපල ජීවිත හානි පවා ඇතිවනු ඇත. එහෙත් මේ වසරේ අගෝස්තු පමණ වනතුරු රාහු ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ 7 වැන්න ගෝචර ගමන යෙදෙන නිසා ගොවිජනයාටද ඉතා දුෂ්කර වන අතර අස්වැන්න අඩුවීම්, බෝග විනාශ වීම් ඇතිකරන අතර ජනයා අතර තවදුරටත් වසංගත රෝග පීඩා ඇතිකරමින් පීඩා ඇතිවනු ඇත.


 වාහන අනතුරුවල දරුණු අනතුරු නිසා තරුණ ජීවිත වැඩි හානි ඇතිකරන වසරක් බැවින් අනතුරුවලින් කුඩා දරුවන් හා තරුණ ජීවිත පරෙස්සම් විය යුතු අතර මැදියම් වයස පසුවන කාන්තාවන් රෝගී තත්ත්වයන්ගෙන් පරෙස්සම් විය යුතුවේ.


මෙම වසර තුළ තවදුරටත් ස්වභාවික ආපදා, ගිනි ගැනීම්වලින් ඉතා පරෙස්සම් විය යුතුය. මේ වසර අයහපත් ප්‍රතිඵල වැඩි වශයෙන් ඇතිවිය හැකි වසරකි. කෙසේ වුවද ලංකා කේන්ද්‍රස්ථාන 10 වැන්න වෘශ්චික රාශිය නියෝජනය වන්නේ ආණ්ඩුව බැවින් සෙනසුරු ග්‍රහයා ආපස්සට ගමනයේ යෙදෙමින් 10 වැන්නට පැමිණීම නිසා පාලනයට මහජන අප්‍රසාදය ඇතිවීම් හා ඇතැම් මැති ඇමැතිවරුන්ට දූෂණ චෝදනා යළි යළිත් පැමිණෙනු ඇත.


තවද වත්මන් ආණ්ඩුවේ ඇතැම් සංවර්ධන මන්දගාමී වීමද, මුදල් හිඟ වීම්ද නිසා ආණ්ඩුවට ඉතා අසීරු ආර්ථික ගමනක් යෑමට සිදුවේ. වත්මන් ආණ්ඩුව කුමන ආකාරයට ජනයා වෙත බලාපොරොත්තු ලබා දුන්නද ජනයා බලාපොරොත්තු වන ආර්ථික සහනය හෝ රටේ ආර්ථික ඉක්මන් දියුණුවක් ඇතිකර ගැනීමට මේ වසරේ ඇති ග්‍රහ තත්ත්වය මත සිදුනොවන බව පෙනී යන කරුණකි. ඉදිරි කාලය තුළ ස්වභාවික විපත් ඇති කරමින් ජනයාට පීඩා ඇතිවිය හැකි අතර ආගමික කණ්ඩායම් අතර දැඩි මතවාද නිසා කෝලාහල ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ලේ වැගිරීම් ඇතිවිය හැකි නිසා ආරක්ෂක අංශ ඉතා විමසිලිමත් විය යුතුය. මෙම තත්ත්වය තුළ ජනතාව වෙනදාට වඩා තම තමන්ගේ ආගමට අනුව කටයුතු කරමින් ආධ්‍යත්මයට යොමු වීමෙන් කරදර අඩුකර ගතහැකි අතර රටේ මෙම අසුභ ග්‍රහ තත්ත්වයට පිළියමක් ලෙස රජය අධ්‍යාත්මික ආශිර්වාද පූජා මාලාවක් තුන් වසරක් පුරාවට ප්‍රධාන පූජා සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන රටවැසියාට සෙත්පතා ආශිර්වාද කිරීමෙන් යහපත ළඟා කරගත හැකිය.