1167 ක් මරණ දඬුවම හිමි වී සිරගතව ඉන්නවා


නොමැරී මැරෙන මරණ දඬුවම

මරණ දඬුවම පිළිබඳ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ නොමැරී මැරෙමින් කැකෑරෙමින් රැව් දෙයි. ඒ අතර රට පුරා අපරාධ වැඩි වෙමින් පවතී. සමහර විට නීතිය ක්‍රියාත්මක කිරීම මහජනයා අතට ගත් අවස්ථා ද වේ. ඒ තරමටම නීතිය සදාචාරය අවිධිමත් වී ඇත. මෙවන් ක්ෂේත්‍රයන් පිළිබඳව නීතිමය වශයෙන් විධිමත් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක නොකර මරණ දඬුවම අච්චාරු හැළියක් බවට පත්ව තිබීම රටටත් පාලන තන්ත්‍රයටත් හෑල්ලුවකි. බලධාරීන් දැන්වත් ඒ පිළිබඳව ඇස් ඇර බැලිය යුතුව ඇත.  


අප එසේ සඳහන් කරනුයේ පසුගිය කාලයේ වරින් වර මරණ දඬුවම අමුතු අමුතු වෙස් ගත් බැවිනි. එසේ සිදුවන්නේ නම් රටකට නීතියක් අවශ්‍යද? නීතිය කාටත් පොදු විය යුතුය. සාධාරණ විය යුතුය. මරණ දඬුවම සම්බන්ධව ඒ තත්ත්වය එසේ පැවතිණිද? ඒ පිළිබඳව විමසිලිමත් වූයේ කවුරුන්ද? අසාධාරණය දරාගත නොහැකිව මීට කලකට පෙර මරණ දඬුවමට නියම වූ පිරිසක් බෝගම්බර බන්ධනාගාරයේදී ආහාර වර්ජනයක යෙදුණද ප්‍රශ්නය විසඳීමට එය ප්‍රමාණවත් වී නැත. එසේ නම් රටක නීතිය පොතට පමණක් නොව ප්‍රායෝගිකව ද ක්‍රියාත්මක වීමේදී විධිමත් විය යුතු බව යළි යළිත් පෙන්වා දීමට සිදුව ඇත. අප මේ අදහස් දක්වනුයේ යථාර්ථය හඳුනාගෙන තීන්දු තීරණයන් ගත යුතු බවට කරුණු දැක්වීමටය.  


 මේ වන විට අප වැනිම මිනිසුන් 1167 දෙනෙකු පමණ මරා දැමීමට නියමිතව අඳුරු කුටිවල රඳවා ඇති බව සමහර විට ඔබ නොදන්නවා විය හැක. ඇත්තටම ඔවුන් සැබෑ ලෙස ජීවත්වනවා නොව මැරී මැරී ජීවත්වන බවයි කිව යුත්තේ. ඒ වැරදි කර හෝ නොකර නීතියෙන් වරදකරුවන් වූ අයයි. එමෙන්ම නීතිය විධිමත්ව ක්‍රියාත්මක නොවීම නිසයි.  


ආදි යුගයේ සිටම ගල් ගැසීම, අලි ඇතුන් ලවා පෑගීම, උලහිටවීම ආදී විවිධ ම්ලේච්ඡ ක්‍රම මගින් මරණය සිදුකිරීම සිදුව ඇති අතර විධිමත් ලෙස අපට නීති පද්ධතියක් ලෙස මරණ දඬුවම ද හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. ඒ අනුව 1779 දී ප්‍රකාශයට පත් කළ මරණ දඬුවම 1802 දී නීති සංග්‍රහයට ඇතුළත් කරන ලදී. ඒ අතරම 1799 දී මහනුවර නගරමැද මැලේ ජාතිකයන් කීප දෙනෙකු මරා දමන ලද අතර 1818 දී ඇහැලේපොළ නිලමේතුමා මරණයට පත් කරන ලදී. එහෙත් ඒ දිනවල එල්ලුම්ගසක් නොවූ හෙයින් එළිමහන් ස්ථානවලදී මරණ දඬුවම දීම සිදුකර ඇත.  


 නිදසුනක් වශයෙන් මහනුවර වර්තමාන වෙළෙඳ සංගමය පිහිටා ඇති ස්ථානයේ එදා මැලේ ජාතිකයන් මරණයට පත් කළ අතර තවත් විටෙක පෑලියගොඩ නගර මධ්‍යයේදීද කළුඅප්පු නමැති පුද්ගලයා මරා දමන ලදී. එකල කාන්තාවන් එල්ලා මැරීමක් සිදු නොවුණේ පළමු වරට මරණ දඬුවම නියම වූ පහළගෙදර ඩිංගිරි මැණිකේ ගර්භණියව සිටි බැවිනි. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කුඩාපොළ හිමියන් ද විවෘතව මරණ දඬුවමට ලක්කර ඇත. මෙම ඛේදජනක සිදුවීම සිදුව ඇත්​ෙත් මෙයට වර්ෂ 200 කටත් එපිට බව අප අමතක කළ යුතු නැත.  


 ඉංග්‍රීසීන් 1844 දී වැලිකඩ බන්ධනාගාරය ස්ථාපිත කළ අතර 1871 මැයි 25 වනදා පළමු වරට එහි එල්ලුම් ගස ද සකස් කරන ලද්​ෙද් ඔවුන් විසින්මය. මේ අතර බෝගම්බර බන්ධනාගාරය ද පිහිටුවා එහි එල්ලුම් ගස් තුනක්ම ස්ථාපිත කරන ලදී. බෝගම්බර සිපිරි ගෙදර මතක් වන විටත් යම්කිසි ගාම්භීර බියක් සිත තුළ ඇතිවන අතර එවකට වැඩිම පිරිසක් එල්ලා මරණ ලද්​ෙද් එහිය. කෙසේ වුවද ලෝකයේ මරණ දඬුවම කාලය විසින් යම් යම් වෙනස්කම්වලට භාජනය වී ඇත. ඒ මිනිස් වර්ගයා දිනෙන් දින දියුණු වෙමින් බුද්ධිමත් සමාජයකට සමීප වන බැවිනි. එදා බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුතු යැයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන ලද්​ෙද් ඩී.එස්. සේනානායක මහතා විසිනි. ඒ අදහසට බොහෝ දෙනා කැමැති වී ඇතත් එය පාර්ලිමේන්තුවෙන් සම්මත වී නැත. 1956 දී බණ්ඩාරනායක මහතා ද එම යෝජනාව ඉදිරිපත් කළ අතර මරණ දඬුවම නීති පොතෙන් ඉවත් නොවුව ද ක්‍රියාත්මක වීම නතර කරන ලදී. එහෙත් බණ්ඩාරනායක මහතා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් වෙනුවෙන් එය ක්‍රියාත්මක විය. ඒ තත්ත්වය 1976 දක්වාම පැවතුණි. අවසන් වරට එල්ලා මරනු ලැබුවේ හොඳ පපුවා හෙවත් සිරිපාලය.  


 සත්ව හිංසා පවා මහා පාපකර්මයක් ලෙස පිළිගන්නා බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ වසර 15 ක් ඇතුළත පුද්ගලයන් 106 දෙනෙකු එල්ලා මරා දමා ඇත. ඉන් පසුව 1977 දී ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධර්මිෂ්ඨ සංකල්පය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කර ඒ සඳහා වෙනම දඬුවම් පද්ධතියක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව මරණ දඬුවම නියම වූ පුද්ගලයා ජීවිතාන්ත සිර දඬුවමට ලක්වෙයි. ඉන් පසු ලයිප් කැඩීම, සමාලෝචන වාර්තා (වසර 4-8 ආදී වශයෙන්) ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කර වසර 20 දක්වා එම කාලය ලඝු වෙයි. ඒ අතර තවත් අදාළ ක්‍රමවේද අනුව වසර 15 ක් හෝ 14 ක් පමණ දඬුවම ගෙවූ පසු එම පුද්ගලයා නිදහස් වෙයි.  


 මේ ක්‍රමය ඉතාම මානුෂීය එකක් විය. එසේ නිදහස්ව ගිය අයකු යළි අපරාධකරුවකුවී බන්ධනාගාර ගතවීමක් අසන්නට නොලැබිණි. තත්ත්වය මෙසේ තිබියදී කුමන හෝ හේතූන් මත පසුගිය කාලයේ බාහිර සමාජයේ (හෝකන්දර මිනීමැරීම වැනි) අපරාධ කීපයක් සිදුවුණි. සමහර විට එයට හේතු වන්නට ඇත්තේ 70 දශකයේ විෂය මාලාවට කොටුවූ අධ්‍යාපනය තුළින් අපේ සාරධර්ම ගිලිහී යාම නිසා විය හැක.  


 කෙසේ වුවද මෙසේ බාහිර සමාජයේ අපරාධ අසන්නට ලැබීමත් සමඟම බලධාරීන් එයට දඬුවම් දුන්නේ මරණ දඬුවම නියමිතව සිටි සිරකරුවන්ටය. 90 දශකයෙන් ආ එම නව ක්‍රමය අනුව පෙර කී පරිදි සිව් වස් සමාලෝචන සැලකීම හෝ ජීවිත කාල අඩු කිරීම වැනි ක්‍රියාදාමයන් සඳහා සලකා බලනුයේ ජීවිතාන්තය දක්වා (මරණ දඬුවම) දඬුවම් නියම වූවකු පූර්ණ වශයෙන් වසර 20 ක් ගෙවූ පසුව යයි නීතියක් පැනවිණි. මෙය නම් අසාධාරණය, අමානුෂිකය, එහෙත් බලධාරීන් පැනවූ නීතියකට එරෙහි වීමට සිරකරුවකුට තබා වෙනත් අයකුටවත් නොහැක. මේ නිසාවෙන් එය පිළිගැනීමට කාටත් සිදුවිණි. පුදුමය එය නොවේ. 90 දශකයේ අගභාගයේ අදෘෂ්‍යමාන හස්ත තුළින් නීතිය කණපිට පෙරළීමය.  


නීතිය කාටත් සමානය යන්න කෙසේ වෙතත් පෙර කී ලෙස මරණ දඬුවම නියම වී සිටි පිරිස අතරින්​ කොටසක් (23 දෙනෙකු) නිදහස් වී යැවුණ අතර ඒ හා සමානම නැත​ෙහාත් ඊටත් වසරකට ​ෙපර ජීවිත සමාව ලැබ සිටි අක්ෂර වශයෙන් පැරණි 65 දෙනෙකු සුසුම් ලන්නට ඇත්​ෙත් ඒ නීතියේ ඇස් අන්ධ බැවින්ද? එසේ මරණ දඬුවම කැඳ හැළියක් වූයේ නීතිය වල් වැදුණ නිසාද? මේ තත්ත්වය දරාගනු බැරිව වැලිකඩ සිරකරුවන් පිරිසක් වහළ උඩට නැගුණද සිදුවූ දෙයක් නැත.  


 මරණ දඬුවම නියම වූ (ජීවිතාන්ත) සිරකරුවන් විශාල පිරිසක් මේ වන විටත් වසර 20 කට වඩා වැඩි කාලයක් සිර කුටි තුළ ගත කරන මුත් පෙර ක්‍රියාත්මක වූ ක්‍රියාදාමයන් ඔවුනට අහිමිව ඇත්තේ ඇයි? නීතිය වල් වැදී ඇත්ද? අදාළ සමහර සිරකරුවන් සඳහා සිව් වස් සමාලෝචන වාර්තා යවා ඇතත් පැවැත්මේ වෙනසක් නැත.   


‘එක්කෝ අපව මරා දාන්න ඕනෑ. නැතිනම් නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ.’ එසේ පවසනුයේ ජීවිතාන්ත සිරකරුවන්ය. මේ වන විට පවුල්වල අයට ඔවුන් අමතකය. සමහරු ආබාධිතය. තවත් අය වෙනත් විවිධ රෝගවලට ලක්ව ඇත. ඒ අතර බොහෝ දෙනා දැඩි මානසික පීඩනයෙන් පෙළෙති. ඒ අතරම සිහිකළ යුතු තවත් දෙයක් නම් නඩු කල් යාමය. මිනීමැරීම වැනි නඩු ඇසෙන්නේ සිද්ධිය සිදු වී වසර 20 කට පමණ පසුවය. ඒ වන විට සමහර සාක්ෂිකරුවන් ජීවතුන් අතර නැත. තවත් අයට සිද්ධිය අමතකය. එපමණක් නොව මරණ දඬුවම නියමව අභියාචනා කළ අයගේ තත්ත්වය ද එසේමය. ගාල්ල ප්‍රදේශයේ එවන් එක් පුද්ගලයකු සිරගතව සිටිමින් 47 වතාවක් අභියාචනාවට පෙනී සිට 48 වන වතාවේ එම තීන්දුවටම මුහුණ දී වැලිකඩ බන්ධනාගාරය තුළම සිය දිවි නසා ගති. මෙයයි පවත්නා තත්ත්වය.  


මේ වන විට මේ බෞද්ධ රට තුළ ක්‍රමයෙන් අපරාධ වර්ධනය වන්නේ ඇයිද? එයද සිතා බැලිය යුතුය. දැන් දැන් මිනිසා තුළින් මිනිස්කම ගිලිහෙමින් පවතී. එසේ වනුයේ අප පෙර සඳහන් කළ පරිදි මුල් අවධියේ සිටම අධ්‍යාපනය තුළින් සාරධර්ම ඉවත්වීමයි. සාරධර්ම සඳහා වෙනම විෂයයක් නැතත් එදා පොතපත (සාහිත්‍ය) තුළින් අපේ මනස ඉබේම සකස් විණි. එහෙත් වර්තමානයේ විෂයය මූලික අධ්‍යාපනය තුළින් බිහි වන වෛද්‍යවරයකු තවත් කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමට වුවද පෙළඹෙනු ඇත. අද බන්ධනාගාරගතව සිටින්නේ පෙර මෙන් අඩු අධ්‍යාපන මට්ටමේ අයම නොවේ. සමස්තයක් වශයෙන් බලත හොත් අඩු දැනුම් මට්ටමේ සිරකරුවන් සිටිනුයේ 6% ක් පමණි. බන්ධනාගාරගත වන්නන්ගේ අධ්‍යාපන තත්ත්වය මේ සටහනෙන් අවබෝධ වනු ඇත.  


මෙසේ වසරකට උපාධිධාරීන් 160 ක් පමණ උසස් පෙළ සමතුන් 3700 ක් පමණ පිරසක් ද සිරගත වන බව සමහර විට කෙනෙකු නොදන්නවා ඇත. එසේ නම් උගත්කම යනු කුමක්ද? ඒ ඒ විෂයයන් පිළිබඳව හැදෑරීම පමණක්ද? සමහර විට කෙනෙකු වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හෝ වෙනත් විෂයයන් ප්‍රගුණ කළ අයකු විය හැක. එහෙත් එම විෂයයන් හැදෑරිය යුත්තේ මිනිස් මනසක් අැත්තෙකු විය යුතුය. ඒ මනස සුබවාදී මනසක් විය යුතුය. එය උපතින්ම ගෙන එන්නක් නොවේ. ඒ ඒ සුදුසු කාල පරිච්ඡේද අනුව ලද යුතු දායාදයන්ය. ඒ ඉංජිනේරු, වෛද්‍ය විද්‍යාව වැනි උසස් යයි පිළිගත හැකි විෂයයන් හැදෑරීමට පළමුව මනුෂ්‍යත්වයේ විෂයය මනස තුළ ධාරණය විය යුතුව ඇත. නැතිනම් කෙබඳු විෂයය ධාරාවක පරතෙරට ගියද මිනිසත්කම නැති බැවින් එවැන්නෙකුට ඕනෑම අපරාධයක් කළ හැක.  


 මරණ දඬුවම පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ජීවිතයට ජීවිතයකින් පළිගැනීම ගැන ද වර්තමාන සමාජ තත්ත්වය අනුව සිතිය යුතුව ඇත. මෙවන් අපරාධ වැළැක්වීම සඳහා එල්ලුම්ගස් කපා දැමීමට මිනිස් මනස තුළ මානුෂිකත්වයේ ගස රෝපණය කිරීමට හැකි නම් එය කෙතරම් ආශ්චර්යක්ද? මේ අතර ජාත්‍යන්තර ඇවතුම් පැවතුම් පිළිබඳව ද විමසිලිමත් විය යුත්​ෙත් අප දැන් විශ්ව ගම්මානයකට පැමිණ ඇති බැවිනි. පැරණි මතිමතාන්තරවලින් මඳක් බැහැරව ඉදිරියට යන ලෝකය සමග අප ද අත්වැල් බැඳගත යුතුව ඇත. භෞතික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මිකව ද අප පෙරට යා යුතුය. මේ වන විට ලෝකයේ රටවල් 60 ක්ම (දශක 4 ක් තුළ) මරණ දඬුවම අක්‍රියාත්මක කර තිබේ. එම රටවල්වලින් 99% ක්ම කතෝලික හෝ මුස්ලිම් වන අතර නේපාලය (1997) සහ කාම්බෝජය (1989) යන බෞද්ධ රටවල් ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත.  
 මෙහිදී තවත් කරුණක් ගැන ද අවධානය යොමු කළ යුතුව ඇත. අධිකරණය මගින් නිත්‍යානුකූලව මරණ දඬුවම නියම කරනු ලැබුවද එය ක්‍රියාත්මක කිරීමේ තීරණය විනිසුරුතුමාගේද? නැත. දැනට පවතින ක්‍රමය අනුව නම් අධිකරණය මගින් දෙනු ලබන එම තීන්දුවට නැවතත් රටේ නායකයාගේ අත්සන අවශ්‍යය. එසේ නම් අධිකරණ තීන්දුවක් කුමකටද? මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම වෙනම ප්‍රශ්නයකි. එහෙත් විනිසුරුවරයාගේ තීන්දුවට බාහිරව රටේ නායකයාගේ අත්සනින් එය ක්‍රියාත්මක කිරීම තුළින් වන්නේ අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් නොවේද? මේ පිළිබඳව අපේ අධිකරණ ක්ෂේත්‍රය විමසිලිමත් විය යුතු යැයි හැඟේ.  


‘මරණ දඬුවම භාවිත කරන රටවල් එය අහෝසි නොකළ හොත් පසු කලෙක ඔවුනට සිදුවන්නේ ගත් ක්‍රියාමාර්ග ගැන පසුතැවිලි වීමටය.

 

 

 

 


(-කොපි අනන්) 

 

 

 

ජේ. ශීලා වික්‍රමරත්න