​වැරදි ප්‍රචාරවලට අහුවෙන්න එපා කොරෝනා සිරුරට ඇතුළුවීම මඩින්න ආහාර එළවළු හෝ විටමින් සොයාගෙන නෑ


පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය සුධීර කළුපහන 

(අසුන්තා එදිරිසූරිය)  

කොරෝනා වෛරසය ශරීරගතවීම මැඩපවත්වා ගැනීමට ලොව කිසිදු රටකින් මෙතෙක් ආහාර වර්ගයක් එළවළු වර්ගයක්, පළතුරක් හෝ විටමින් විශේෂයක් සොයාගෙන නැති බව පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය සුධීර කළුපහන මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.  

ඇතැම් එළවළු වර්ග, පලතුරු වර්ග සහ නොයෙකුත් විටමින් වර්ග ශරීරයට ලබාගැනීමෙන් COVID-19 රෝගයෙන් වැළකිය හැකි බවට අන්තර්ජාලයේ සහ වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධවෙන කරුණුවල පර්යේෂණ මට්ටමෙන් ඔප්පු කළ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  පොදුවේ බෝවෙන රෝගයන්ගෙන් මිදීමට සහ රෝගයකට ගොදුරු වූ විට ඉන් ඉක්මන් සුවය ලැබීමට පුද්ගල ප්‍රතිශක්තිය ඉවහල් වන බැවින්, ශරීර ප්‍රතිශක්තිය නිරතුරුවම ප්‍රසස්ථ මට්ටමෙන් තබාගැනීම අත්‍යවශ්‍ය බැවින් එම කරුණු කෙරෙහි වැඩි අවධානය යොමුකිරීම ඉතා වැදගත් බවත් මෙහිදී අවධාරණය කෙරුණි.