​පොල් කඩන්නාගේ විකෘති ආශාවට බ්ලිවූ දරුවා


ඒ  පසුගිය 25 වන ඉරු දිනයයි. හලාවත පොලිසියේ සුළු පැමිණිලි ඒකකය වෙත පැමිණි කාන්තාවක් තමන්ට පැමිණිල්ලක් දැමීමට ඇති බව එම ඒකකයේ නිලධාරීන් වෙත දන්වා සිටියාය. තම නව හැවිරිදි වියේ පසුවන පුතා අතුරුදන්ව ඇති නිසා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට අවශ්‍ය බව ඕ අවධාරණය කර සිටියාය. ඒ අනුව සුළු පැමිණිලි ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ පැමිණිල්ල සටහන් කර ගැනීම අරඹා ඇත.   


මා හලාවත ඉරණවිල සමිඳුගම වාසය කරනවා. මගේ නම නාත්තන්ඩිගේ ශ්‍රියංගිකා සුදර්ශනී ප්‍රනාන්දුය. වයස අවුරුදු 33ක්. දරුවන් පස් දෙනකුගේ මවක්. මගේ ස්වාමි පුරුෂයා ධීවරයෙක්. ඔහුගේ නම ජුවන් පේඩිගේ සුරේන් චමින්ද ප්‍රනාන්දුයි. ඔහු බහුදින යාත්‍රාවක (ට්‍රෙ‌ා්ලර් එකක) නැග ගොස් ඈත දියඹේ මසුන් මරනු ලබයි. මේ දිනවල මගේ ස්වාමි පුරුෂයා එසේ ඈත දියඹට තවත් පිරිසක් සමඟ මුහුදු ගොසිනි. මේ නිසා මමත් දරු පස් දෙනාත් මවත් නිවසේ ජීවත් වෙනවා.   


මගේ තුන්වන පුතාගේ නම ජුවන් පේඩිගේ සුසිත් නිර්මාල් ප්‍රනාන්දුය. වයස අවුරුදු නවයකි. ඔහු ඉරණවිල රජයේ විදුහලේ අධ්‍යාපනය හදාරනු ලබයි. මෙදින ඉරුදින නිසා නිර්මාල් පුතා පාසල් ගියේ නැහැ. මම මෙදින උදේ නිවසින් පිටතට ගොස් යළි පෙරළා නිවසට එන අතර නිර්මාල් පුතා ගෙදර සිටියේ නැහැ. ගම පුරා පුතා ගැන විවිධ අයගෙන් විමසා සිටියත් පුතා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.   
මගේ පුතා යළි සවස් වනවිට ආපසු ගෙදර එයි කියා බලා සිටියත් ඇති වූ සැකයෙන් දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයා බලා පුතාව සොයා දෙන ලෙස මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා” යැයි ඇය සිය පැමිණිල්ල මගින් පොලිසියෙන් ඉල්ලා සිටියාය.   


පසුදින උදෑසන මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා හලාවත පොලිසියේ සුළු පැමිණිලි විමර්ශන ඒකකයටත් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාරි මහත්මියටත් නියෝග කළේය.   


ඒ අනුව පොලිස් නිලධාරීන් පිරිසක් පසුදින එනම් 26 වන සඳු දින උදෑසනම ඉරණවිල සමිඳුගමට ගොස් ඇත. පැමිණිලි කාරියවන ශ්‍රියංගිකාගේ නිවසට ගිය විට ඒ වනවිටත් කලින් දින සිට අතුරුදන් දරුවා තම නිවසට පැමිණ නැති බව හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.   


මේ අතර 26 දා සවස නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන නිමල් තිසේරා මහතා මෙම අතුරුදන්වීම ගැන කියමින් සෑම තැනකම දරුවා සොයා බැලුවත් දරුවා ගැන කිසිදු විස්තරයක් සොයා ගත නොහැකිවීම නිසා දරුවාගේ පිංතූරයක් මාධ්‍යයට දී දරුවා සොයා ගැනීමට ආධාර කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු දරුවාගේ ඡායාරූප කිහිපයක්ද අපට එවීය.   


මේ අතර පොලිසිය සමඟ එක්වූ ගම්වාසීහු කලින් දිනයේ සිට අතුරුදන්ව සිටි දරුවා සම්බන්ධයෙන් තොරතුරු සෙවීම යළිත් ආරම්භ කළහ. සියලු දෙනා විවිධ ස්ථානවල සොයන අතර එම ගමේ අතුරුදන් දරුවාගේ නිවස අසල පිහිටි වෙළෙඳසලෙන් ඉරිදා උදේ දරුවා තවත් පුද්ගලයකු සමඟ එහි සිටිය බවට ද තොරතුරු ලැබී තිබුණි.   


එම වෙළෙඳ සලේ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර තිබූ අතර පොලිසිය එම කැමරාවේ සටහන්වී ඇති දර්ශන නැරැඹූ අවස්ථාවේ දී අතුරුදන් දරුවා වෙළෙඳ සලේ බංකුවක් මත අසුන්ගෙන සිටින අතර කිසියම් පුද්ගලයකු ඔහුට කිසියම් දෙයක් රැගෙන දෙනු දර්ශනය විය.   


ඒ අනුව ප්‍රශ්න කිරීමේදී වෙළෙඳසල් හිමියා පොලිසියට කියා ඇත්තේ ගමේ පොල් කඩමින් හා කුලී වැඩ කරමින් ගමන් ගන්නා පුද්ගලයා දරුවා වෙළෙඳ සලට කැඳවා ගෙන විත් කෑමට යමක් මිලදී ගෙන දුන් අතර පසුව දරුවා ඔහු සමඟ වෙළෙඳ සලෙන් පිටත්ව ගිය බවකි.   


එසේ නම් මෙම දරුවා අර කී පුද්ගලයා සමඟ කොහේ හෝ ගොස් ඇත. ඒ අනුව විවිධ තොරතුරු පොලිසියට හෙළිකරගත හැකි විය. ගමේ වෙසෙන වෙනත් දරුවෙක් පොලිසියට දන්වා ඇත්තේ, “පොල් කඩන මාමා මටත් කතා කළා. අර දිරාගිය පොල් ගසේ ඉන්නා ගිරා පැටවුන් අල්ලා දෙන්න යන්න” එහෙත් ඔහු එසේ ඔහු සමඟ නොගිය බව පැවැසීය.   


මෙම පොල් කඩන පුද්ගලයා දරුවකු සමඟ කළපුව පැත්තට යනු දුටු තැනැත්තියක් ඒ දර කැඩීමට යන පිරිසක් යයි සිතා ගණන් නොගත් බවත් කියා තිබුණි. ඇත්තටම දරුවා හා පොල් කඩන්නා කොහේ ගියේද?  
මෙම දරුවාගේ අතුරුදන්වීම සැකයට කරුණක් නිසා මෙම විමර්ශන කටයුතු අපරාධ විමර්ශන ඒකකයට පවරා තිබූ අතර ඒ අනුව පොලිස් නිලධාරින් පොල් කඩන්නා දරුවාට ගිරා පැටවුන් අල්ලා දීමට ගිය දිරාපත් පොල් ගස පිහිටි ස්ථානයට ගොස් ඒ අවට පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.  


ඉරණවිල කළපු ඉවුරෙහි කඩොලාන ශාකයන් පිරි පුංචි වනරොද තුළ ඉදිරියට ගිය පොලිස් නිලධාරින්ට යම් කුයිලයක් දැනී විපරමින් ඒ කුමක් නිසා දැයි බලා ඇත.  


ඒ දුටු දර්ශනය නම් පියවි ඇසින් බැලිය නොහැකි වූවකි. කඩොලාන පඳුරු අතර කොළ රොඩු අතර බිම වැටී මෘත ශරීරයක් තිබී ඇත. ළං වී බැලූ විට ඒ 25දා දහවල් වනවිට සිය නිවසින් අතුරුදන්ව සිටි ජුවන් පේඩිගේ සුසිත් නිර්මාල් ප්‍රනාන්දු නමැති නව හැවිරිදි පාසල් සිසුවාගේ බව හඳුනාගෙන ඇත. එම සිරුරේ පහළ කොටස නිරුවතින් තිබී ඇත. එම ඇඳුම් අසල බිම වැටී තිබුණි. විපරමින් බැලූ විට දරුවාගේ හිසේ පිටුපස ලේ ගැලූ තුවාල කැළලක් තිබී ඇත.  


අනතුරුව දැක ඇත්තේ විශාල තුවාලයකි. එසේ නම් මෙම දරුවා කිසියම් විකෘති කාමාශාවක් ඇති අයකුගේ ගොදුරක්වී ඇති බව මෙම මළ සිරුරේ තිබූ තුවාල කැළල් අනුව තහවුරු කරගත හැකිවිය.  


මෙයට කලකට කලින් සේයා දැරියත් උතුරේ පුංගුඩුතිව්හි විද්‍යා දැරියත් විකෘති කාමාශාවන් ඇති අයගේ ගොදුරක්වී දැයට අහිමිවූ අකාරයටම නිර්මාල් දරුවාද එවැන්නෙකුට සාහසික ලෙසින් බිලිවී ඇත. ඒ මරණත් මේ මරණයත් අතර තිබූ එකම වෙනස ඒ දරුවන් ගැහැණු දරුවන් වීමත් නිර්මාල් පිරිමි දරුවකු වීමත් පමණය.   

 

පසුව පොලිසිය වහාම හලාවත අධිකරණයට මෙම බාලවයස්කාර දරුවාගේ අමානුෂික ඝාතනය වාර්තාකර තිබුණි. ඒ අනුව හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඩබ්ලිව්. රඛිත පී. අබේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කළ අතර හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී. කේ. විජේවර්ධන මහතා ද එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ සිටියේය.  
සිය නිරීක්ෂණවලින් පසු අතිරේක දිසා විනිසුරු ඩබ්ලිව්. රඛිත පී. අබේසිංහ මහතා වහාම මෘත ශරීරය හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙනගොස් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර එම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙස වෛද්‍ය විජේවර්ධන මහතාට නියෝග කළේය.  


ඒ අනුව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදුකළ වෛද්‍ය විජේවර්ධන මහතා සිය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම දරුවාගේ හිස් කබල සියුම් ආකාරයට පිහිටි අතර ඉතා තදින් අත මිට මොළවා හෝ මොට ආයුධයකින් හිසේ පිටුපස කොටසට පහරදීමෙන් හා දරුවා අස්වාභාවික, බරපතළ ලිංගික ක්‍රියාවලියකට යොදවාගෙන තිබීමත් නිසා ඇතිවූ තුවාලවලින් මෙම මරණය සිදුව ඇති බවත් දරුවාට හුස්ම ගැනීමට අපහසුවන ලෙසින් දරුවාගේ නහය හිරකරගෙන සිට ඇති බවත් එම වෛද්‍ය වාර්තාවේ දක්වා තිබුණි.  


ඊට අමතරව දරුවාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වැඩිදුර වාර්තාවක් ලබා ගැනීමට ද රඳවා ගන්නා බව ද අධිකරණයට වාර්තාකර තිබුණි. දරුවාගේ සිරුර දැඩි ලෙසින් නරක්ව තිබූ නිසා එම සිරුර පිළිබඳව අවසන් කටයුතු ඉකුත් 28 වන දින ඉරණවිල පොදු සුසාන භූමියෙහි සිදුකරනු ලැබීය.  


මෙම දරුවා අතුරුදන්ව සිටි දින දරුවා සිට ඇත්තේ ගමේ ඇවිදිමින් පොල් කඩා හෝ කිසියම් කාර්යයක් කර කීයක් හරි කරදෙන අය සමඟ බව මේ වනවිට තහවුරුවී ඇති බව පොලිසිය කියයි. එම පුද්ගලයා කාගේ කවුද කොහ් සිට එනවාදැයි කීමට ඉරණවිල කිසිවකු නොදැන සිටීම පුදුමයකි. සමහර අවස්ථාවලදී එම අද්භූත පුද්ගලයා ඉරණවිල වෙරළට ගොස් මාදැල් ඇදීමකට ද සහය දී කීයක් හරි ඉල්ලා ගන්නා බවත් ඒ මුදලින් පදම ඉක්මවා අරක්කු බී කිසියම් දෙයක් ආහාරයට ගෙන බොහෝ දිනවල වෙරළේ ඇති ධීවර මඩුවක හෝ තෙප්පමක් මතට වී නිදා ගත් බවට ද තොරතුරු ලැබී ඇත.   


මෙම පුද්ගලයා මිය ගිය නිර්මාල් දරුවා මිතුරු කරගෙන දරුවාට කිසියම් ආහාරයක් මිලට ගෙන දී පසුව කඩොලාන කැලේ දිරාපත් පොල් ගසේ බෙනයෙහි ඉන්නා ගිරා පැටවුන් අල්ලා දීමට යැයි කියා කිසිවකු ඇස නොගැටෙන ලෙසින් එම කැලයට ගෙන ගොස් ඇත.  


කැලය තුළදී ගිරා පැටවුන් වෙනුවට දරුවාගේ ජීවිතය විකෘති කාමාශාවන් ඉටුකර ගැනීමට යොදවා විනාශ කර ඇති බවට තොරතුරු මේ වනවිට පොලිසිය විසින් හෙළි කරගෙන ඇත. එය වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අනුව ද තහවුරු වී ඇත. සැකකාර පොල් කඩන්නා මෙම දරුවා මෙයට කලින් ද කිසියම් ආකාරයට කිසියම් කටයුත්තක් සඳහා යොදා නොගත්තේ යයි කිසිවකුටත් සැක නොසිතීමට කිසිදු හේතුවක් නොමැති බවත් මෙහිදී පොලිසිය සැක කරයි.  


කර ඇති කෲරතර අපරාධය සිහි බුද්ධිය ඇති කිසිවකුට කළ නොහැකිවන කටයුත්තක් වන අතර සැකකරු මෙම කාර්යය කිරීමට කලින් කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට ද සැකයක් ඇති බව ද කියති.  
සිය විකෘති ආශාවන් ඉටු කරගත් පසු ඔහු දරුවාගේ මෘත ශරීරය එම කැලයේම තබා අතුරුදන්ව ඇත. මේ වනවිට මුළු වයඹ පළාත පුරා යමින් මෙම අද්භූත පොල් කඩන්නා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.  


බොහෝ දෙනෙක් පැවැසුවේ ඒ මිනිහා දරුවා කැඳවාගෙන කැලයට ගියා. අපි හිතුවා දර කඩන්න යන දෙන්නෙක් කියා. අපි දැක්කා දරුවා සමඟ එම පොල් කඩන්නා එහේට ගියා. මෙහෙට ගියා” යයි කරුණු ඉතාමත් ලස්සනට ප්‍රකාශ කළත් කිසිවකු” අනේ මම දැක්කා දරුවා අරන් යනවා. මම එම මිනිසාගෙන් ප්‍රශ්න කර දරුවාව ආපසු ගෙනැවිත් ඔහුගේ ගෙදරට යැව්වායි කීවේ නැත.  


දරුවන් මල් වගේය. එය රැක ගැනීම හැම මිනිසකුගේම යුතුකමයි මෙම දරුවා අර අද්භූත මිනිසා සමඟ ගමන් කරන විට පොල් කඩන මිනිහෙක් සමඟ යාමට ගමේ දරුවකුට ඇති හිමිකම ගැන විමසීමට කිසිවකු කටයුතු නොකර සිටීම කොතරම් අගෝචර සිද්ධියක් දැයි විමසිය යුතුය. 

 
නිර්මාල් දරුවා ද දැයෙන් නික්ම ගොස් අවසන්ය. මෙම මරණයෙන් අපේ වෙරළබඩ වෙසෙන බාල වයස්කාර දූ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් රැක ගැනීමේ කිසියම් වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතු බව නම් නොකියා බැරිය. එම දරුවන්ගේ ජීවිත පවා අන්තරායකාරී තත්ත්වයක පවතින බවත් පෙන්වා දිය හැකිය.  


මෙම ඝාතකයා අත්අඩංගුවට ගැනීම පිණිස මේ වනවිට ඉතා පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා කීය.  


හලාවත පොලිස් අධිකාරි සුරම්ජිත් කුමාරපේලි, සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත්, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෆායුඩින් ඇතුළු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු මෙම අද්භූත පොල් කඩන්නා අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල නිරතව සිටිති.

 

 

 

සටහන හා ඡායාරූප
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු