​කොවිඩ් නසන රුසියානු එන්නත ලංකාවට ගේන්න සාකච්ඡා


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  

කොවිඩ් 19 වයිරසය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-5 (Sputnik-V) එන්නත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.  

කොවිඩ් 19 වයිරසය සඳහා රුසියාවේ ගැමලෙයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මූලිකත්වයෙන් නිෂ්පාදිත ස්පුට්නික්-5 එන්නතට එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී ඇති අතර එම එන්නත එරට වැසියන් සඳහා ලබාදීම මේ වනවිට සිදු කෙරේ.  


එම එන්නත සියයට 92ක් පමණ සාර්ථක වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු ද ප්‍රකාශ කළහ.  
මෙම එන්නත මෙරටට ලබාගැනීමට කැමැතිදැයි විමසා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් ද යොමු කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට පිළිතුරු ලිපියක් මේ සතියේ දී රුසියානු තානාපතිවරයා වෙත යවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


රුසියානු කොවිඩ් එන්නත නොමිලේ ගෙන්වා ගැනීමට ඇති හැකියාව ද විමසමින් එම ලිපිය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.  


මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙරට වැසියන්ගෙන් පහෙන් එකකට කොවිඩ් එන්නත නොමිලේ ලබාදීමට එකඟතාව පළ කර ඇත.  


මේ අතර එන්නත පිළිබඳව අවසන් තීරණය ගැනීමේ කටයුතු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට බලය පවරා තිබේ.  


ලලිත් වීරතුංග කමිටුවට ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට අමාත්‍යාංශ මට්ටමේ කමිටු කිහිපයකින් වාර්තා ලැබිය යුතුව ඇති බව ද සඳහන් වේ.  


දැනට ධනවත් රටවල් භාවිත කරනු ලබන ෆයිසර් එන්නත ලබාගෙන ගබඩා කර තැබීම සඳහා වන අධිශීතකරණ (ඍණ 20ට අඩු) හා එම ප්‍රමාණයේ ශීතකරණ සහිත වාහන ලබා ගැනීමේ ඇති ආර්ථික දුෂ්කරතාව මත එම එන්නත වෙනුවට වෙනත් එන්නතක් ලබාගැනීම පිළිබඳව අදාළ විශේෂඥයන්ගේ අවධානය යොමු වී ඇති බව ද දැන ගන්නට ඇත.  


එන්නතක් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදාහැරීම ආදී සියලු කටයුතු සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් වැය වෙතැයි දැනට ගණන් බලා තිබේ.