ශ්‍රීලනිප ඇමැති 16ක් ආණ්ඩුවෙන් යන්න ජනපතිගෙන් අවසර පතයි


(අජන්ත කුමාර අගලකඩ)  
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමට අවසර ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් භාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

එම ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇමැතිවරයකුගේ නිවසේ රැස්වී මෙම තීරණය ගෙන ඇති බවත් තනතුරුවලින් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලීමේ ලිපිය පෙරේදා (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාට භාරදී ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැවැසීය.  


නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද එම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ.  විශ්වාසභංග යෝජනාවට සහාය දී වත්මන් අගමැතිවරයා සමඟ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ සිටිය නොහැකි බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලින් විශ්වාසභංග යෝජනාව පරාජය කළ ද අගමැතිවරයාට එල්ලවී ඇති චෝදනාවලින් එතුමා නිදහස් නොවන බවත් ඇමැතිවරුන් පිරිස ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියෙන් පෙන්වාදී ඇතැයි ද වාර්තාවේ.   


තනතුරුවලින් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා භාර දුන් ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිළිතුරක් දී නැති බව ද වාර්තාවේ.  


ආණ්ඩුවේ සිටින සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර යාපා, ජෝන් සෙ​ෙනවිරත්න, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන ඇමැතිවරුන් ඇතුළු 16 දෙනෙක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදුන්හ.