විදේශයෙන් උපාධි ගත් හාරදහසක් රජයේ රැකියා ඉල්ලති


(දයාසීලි ලියනගේ)   

විදේශ රටවල උපාධිය ලබාගත් 4096 ක් උපාධිධාරි යෝජනා ක්‍රමය යටතේ රැකියා ලබා ගැනීමට අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වේ.   

අභ්‍යාසලාභී උපාධිධාරි පදනම යටතේ රැකියා ලබා ගැනීම සඳහා අයදුම්පත් 91,665 ක් ඉදිරිපත්වී තිබූ අතර එයින් 49,478කට පත්වීම් ලබාදුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.   


මෙම වැඩපිළිවෙළ යටතේ විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් අයට රැකියා නොදීමට රජය තීරණය කර තිබුණි. එහෙත් විදේශ රටවල උපාධිය ලබාගත් අයට ඔවුන්ගේ කැමැත්ත මත දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල විද්‍යාව, ඉංග්‍රීසි හා තාක්ෂණය යන විෂයයන් ඉගැන්වීම සඳහා ගුරු පත්වීම් ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.