ලිපි ලක්ෂ 20ක් ගොඩගැහිලා


(සමන්තිකා මාධවි) 

සතියකට වැඩි කාල සීමාවක් පුරා ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ විස්සක පමණ ප්‍රමාණයක් බෙදා හැරීමට නොහැකිව හිරවී තිබෙන බව ලංකා තැපැල් සේවා සංගමය සඳහන් කරයි. 
ගුවන් මගින් එවන ලද ලිපි ලක්ෂ එකොළහකට ආසන්න සංඛ්‍යාවක් හා රට තුළ හුවමාරු වන ලිපි ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් ඒ අතර වේ. 

ගුවන් මගින් එවන ලද තැපැල් මලු ලබා ගැනීමට දුෂ්කර ප්‍රදේශවල සිට කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණෙන මහජනයා හිස් අතින්ම ආපසු හැරී යන බවත් ගුවන් තැපැල් මේ වන විටත් කටුනායක ගුවන් තොටුපොළ තුළ රඳවා තිබෙන බවත් සංගමය සඳහන් කරයි. 


වර්ජනය හේතුවෙන් කටුනායක සිට මධ්‍යම තැපැල් හුවමාරුව දක්වා තැපැල් මලු ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස ගුවන් තැපැල් මලු ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ගොඩගැසී ඇත. වර්ජනය හේතුවෙන් රජයට මේ වන විට රුපියල් කෝටි පහළොවක පමණ පාඩුවක් විඳීමට සිදුවී ඇති බවට දෙපාර්තමේන්තුව ද පිළිගන්නා බව එම සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා ඉරිදා ලංකාදීපය සමග ප්‍රකාශ කළේය.