රෝගීන් සමග ගැවසුණු වෛද්‍යවරුන් 10ක් නිරෝධායනයේ


​(දයාසීලි ලියනගේ)   

කොවිඩ් 19 රෝගය හේතු කොටගෙන වෛද්‍යවරුන් 10 දෙනෙක් නිරෝධායනයේ යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.   

රෝගීන් පෙර දැනුම්දීමකින් තොරව රෝහල් ගතවීම නිසා විෂබීජ ශරීර ගතවීමට ඉඩ ඇති බවට සැකපිට මෙම වෛද්‍යවරුන් නිරෝධායනය කර සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.   


වෛද්‍යවරුන් ආරක්ෂාවීම මේ පවතින වාතාවරණය යටතේ බෙහෙවින්ම වැදගත් කරුණක් වෙන අතර එසේ නොවුණහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යෙදවීමට නොහැකි වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.  මේ වනවිට බොහොමයක් රටවල වෛද්‍යවරු සේවයට වාර්තා නොකරන තත්ත්වයක් පවතින අතර ජීවිත ආරක්ෂාව සඳහා ඔවුන් වෛද්‍ය වෘත්තියෙන් ඉවත්වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.