රේගුවෙන් බඩු පන්නන්නේ මෙහෙමයි


 

ශ්‍රී ලංකා රේගුව රටේ ආර්ථිකයේ විශේෂිත මධ්‍යස්ථානයකි. රටට ආදායම් ලැබෙන ප්‍රධාන ස්ථානයකි. ඒ අනුව පසුගිය වසරේ රේගුව ඇතුළුව රටේ බදු ආදායම (අනුමත ඇස්තමේන්තුව) රුපියල් මිලියන 16,46,000ක් වී තිබිණි. විදේශීය වෙළෙඳාම මත බදු ආනයනය - ආනයන තීරු බදු වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු, විශේෂ වෙළෙඳ භාණ්ඩ හා අනෙකුත් බදු, එකතු කළ අගය මත බද්ද, නිෂ්පාදන බදු, මත්පැන්, දුම්කොළ / සිගරැට් බදු, මෝටර් රථ හා අනෙකුත් බදු, බලපත්‍ර ගාස්තු මුද්දර, සෙස්, සමාජ වගකීම, ජාතිය ගොඩනැගීමේ බද්ද ආදී වශයෙන් රේගුව ඔස්සේ මෙම බදු ආදායම හිමිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


වර්ෂ 2006 දී මෙම බදු ආදායම රුපියල් මිලියන 428,378ක්ද, 2007 දී රුපියල් මිලියන 508,947ක්ද, 2008 දී රුපියල් මිලියන 585,621, 2009 දී රුපියල් මිලියන 618,933, 2010 දී රුපියල් මිලියන 724,747, 2011 දී රුපියල් මිලියන 845,697ක්ද, 2012 දී රුපියල් මිලියන 908,913ක්ද, 2013 දී රුපියල් මිලියන 1,005,895ක්ද, 2014 දී රුපියල් මිලියන 10,50,362ක්ද 2015දී රුපියල් මිලියන 15,37,000ක්ද වී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


රේගුවෙන් ලැබෙන බදු ආදායම් අතර සඳහන්වන මෙම ආදායම සියයට සීයක්ම රේගුවෙන් රජයට ලැබෙනවාද? යන්න පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවේ. රේගුව සාධාරණ ලෙසින් රජයට ආදායම ලබා දෙනවාද යන්න ගැටලුවක් වී ඇත. 


මෙහිදී සියලු රේගු නිලධාරීන් රජයට ලැබෙන ආදායමට බලපෑම් කරන බව සඳහන් නොකරමි. සෑම අංශයකම රාජ්‍ය ආයතනයකම විවිධ බලපෑම් ඇති කරවන නිලධාරින් සිටිය හැකිය.


දේශපාලන ක්ෂේත්‍රයේ සිටින සමස්ත දේශපාලනඥයන් වංක නැත. අවංක දේශපාලනඥයන් අතර වංක කටයුතු කරනු ලබන සුළු පිරිසක් සිටිය හැකිය. පරිපාලන සේවයේ නිලධාරීන් අතරද වංචනිකව කටයුතු කරන නිලධාරීන් සිටිය හැකිය. විදුහල්පති සේවය, පොලිස් සේවය, ගණකාධිකාරි සේවය, මේ සෑම අංශයකම නිලධාරින් සුදු-කළු වශයෙන් දෙකොටසකි. රේගුවේද එසේ විය හැකිය. අවංක රේගු නිලධාරින් අතර මුදලට මූලික තැන ලබාදෙන රේගු නිලධාරින්ද සිටිය හැකිය.


සාමාන්‍යයෙන් රේගු නිලධාරින් අත්අඩංගුවට ගන්නා භාණ්ඩවල වටිනාකමින් කොටසක් රජයට හිමිවන අතර ඉතිරිය රේගු නිලධාරීන්ට හිමිවේ. කස්ටම් අරමුදලට සියයට 10 ක ප්‍රමාණයක්ද වැටලීමට මූලික වූ රේගු නිලධාරියාට සියයට 20ක කොටසක් හා ඉතිරිය ඊට සහභාගිවූ අනෙකුත් නිලධාරීන් අතරද බෙදී යයි.


එම වටිනාකම බෙදීයාම රේගු නිලධාරීන්ට නීතියෙන් හිමිවූ වරප්‍රසාදයකි. 


රේගු නිලධාරීන් ක්‍රිකට් ක්‍රීඩකයන් තත්ත්වයට පත්වී සිටීමට මෙම වරප්‍රසාදය එක් හේතුවකි.


එහෙත් මෙරටට ගෙන්වනු ලබන භාණ්ඩ තක්සේරු කිරීමේදී ඇතැම් අවස්ථාවල අඩු තක්සේරුවක් ලබාදී අඩු බදු මුදලක් නියම කර භාණ්ඩ රේගුවෙන් පිටතට යවන අවස්ථා ඇති බව “ඉරිදා ලංකාදීප”යට වාර්තා වේ.


බොහෝවිට මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ මෙරට වෙළෙඳාමට බලපෑම් කරනු ලබන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී බව වාර්තා වේ. උදාහරණයක් වශයෙන් “මැටීරියල්” කාණ්ඩය යටතේ කිලෝවකට රුපියල් 100ක බද්දක් අය කරනු ලබන අතර මෙම කාණ්ඩය යටතේ ටී ෂර්ට් සරොම් ආදිය ගෙන්විය හැකිය.


එහෙත් නිශ්චිත බදු අය කිරීමකින් තොරව මේවා රේගුවෙන් පිටතට පැමිණෙන අවස්ථා පවතින බව දැන ගන්නට ඇත.


තවත් උදාහරණයක් සඳහන් කළහොත් හාල් කන්ටේනරයක් තුළ කුරක්කන් මලු තිබූ සිදුවීම් වාර්තා වේ. සහල් මලු එකින් එක පරීක්ෂා කිරීමක් නොවන අතර ඒවා සමඟ වෙළෙඳපොළට කුරක්කන් මලු නිකුත්වෙන බව දැන ගත්තත් ඒවා මඟහැරී යන අවස්ථා තිබිය හැකිය.


තවත් අවස්ථාවක රතු කැකුළු සහල් සමඟ බාස්මතී සහල් ගෙන්වා තිබූ සිද්ධියක්ද වාර්තා විය. රතු ලූනු ආනයනය කරන ලද කන්ටේනරයකින් භාගයකට වැඩි ප්‍රමාණයක් අමු ඉඟුරු ආනයන කළ අවස්ථාවද තිබිණි. රතු ලූනු ආනයනය කිරීමේදී කන්ටේනරයේ එක් දොරක් විවෘතව තැබෙන අතර ඒ සමඟම මෙරටට එන අමු ඉඟුරු තොගයද පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත්වී තිබිණි.


රෙදිපිළි, ප්ලාස්ටික් බඩු, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, හාඞ්වෙයාර් භාණ්ඩ, ෂීට් වර්ග, ඩෙනිම්, ෂර්ට්, ආදි භාණ්ඩ ආනයනය කිරීමේදී අඩු තක්සේරුවක් සටහන් කිරීමේ හැකියාව තිබෙන බව දැන ගන්නට ඇත. මෙවැන්නක් රේගු නිලධාරියකුට තනිව කළ නොහැකි වන අතර ඒ සඳහා පිරිසක් සහභාගි වෙන බව කියති. එයට හේතුව රේගු නිලධාරින් බොහෝවිට තනිව රාජකාරි කටයුතුවල නොයෙදීමය. 


වසර දෙකෙන් දෙකට තක්සේරු අංශයේ රේගු නිලධාරීන් මාරු කිරීමේ සම්ප්‍රදායක් ක්‍රියාත්මක වුවත් විශේෂ වෙනසක් එහි සිදුවෙන බවක් පෙන්නුම් නොකෙරේ.


රේගු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ භාණ්ඩ ආනයනයේදී සැබෑ තක්සේරුව රේගුවෙන් නියම කරන්නේ නම් රාජ්‍ය ආදායම තවත් සියයට 30 කින්වත් ඉහළ යා යුතු බවයි. මෙවැනි අවස්ථාවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට රේගුව පැත්ත පළාතකටවත් යාමට නොහැකිවීම තවත් විශේෂත්වයකි. 


රේගුවෙ ජාලය එකිනෙකට සම්බන්ධතාවකින් යුතුය. අල්ලස් නිලධාරියකුට වරායේ රේගුව තුළට යාමට පහසුකම් නැත. රේගුව සමහරුන්ට ධන උල්පතක් වී ඇත්තේ සොයා බැලීම් හා ඇඟිලි ගැසීම්වලින් තොරව එය ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වන නිසාය.


තවත් විශේෂත්වයක් නම් ඇතැම් වාප්පු ලිපිකරුවන්ගෙන් බොහෝවිට රේගු නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාදයයි. භාණ්ඩ නිෂ්කාශනයේදී පහසුවෙන් ඉක්මනින් ඒ කටයුතු කරගෙන යාම සඳහා ලැබෙන උනන්දු කිරීමයි. 


ඇතැම් අවස්ථාවල එක් භාණ්ඩයක් කාණ්ඩයක් නිදහස් කිරීම සඳහා රුපියල් 1000 සිට 5000 අතර ප්‍රමාණයක් හිමිවෙන අවස්ථා ඇති බව කියති. ඒ ආකාරයට දිනකට භාණ්ඩ (කාණ්ඩ) 30ක් 40ක් අතර ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුවේ.


දයාසීලි ලියනගේ


 

 

ඔය කියන තරම් මුදල් ගසා කන්න ඉඩ ලැබෙන්නේ නෑ

රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක
ධර්මසේන කහඳව මහතා


රේගු නිලධාරීන්ට හිතන තරම් පහසුවෙන් මුදල් ගසා කෑමේ අවස්ථාවක් නොලැබෙන බව රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා කීය.


ඒ මහතා මෙසේද කීය. 


මෙරටට ආනයන කරනු ලබන භාණ්ඩයක් සරලව පිටතට ගෙන ආ නොහැකියි. ඒවා අංශ කීපයකින් පරීක්ෂාවට භාජනය කරනු ලබයි. විශේෂයෙන් රේගුවේ දිගු කාමරයෙන් (Long Room) පරීක්ෂාකර වැලිවේෂන් බ්‍රාන්ච් එකට යොමු කරන අවස්ථාවක් ඇත. 
අර්තාපල්, රතුළුෑනු, රටළුෑනු, පරිප්පු ආදිය සඳහා නිශ්චිත බදු මුදලක් අය කෙරෙන නිසා එහිදී කිසිදු වංචනික ක්‍රියාවකට ඉඩ නැත. බොහෝවිට මෙම ආහාර ද්‍රව්‍යයකට කිලෝවකට යම් මුදලක් අය කිරීම සිදුවේ. 


මීට අමතරව පරිගණක ජාලයක් මගින් බොහොමයක් කටයුතු පරීක්ෂාවට භාජනය කරනු ලබන නිසා වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීමට ඇති අවස්ථා බොහෝ සෙයින් අල්පවනු ඇත.


බදු හා වෙළෙඳාම පිළිබඳ පොදු සම්මුතියට :ූ්ඔඔ* අනුව තක්සේරු ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාවත් බැඳී සිටිනවා. ඒ අනුව නිශ්චිත සීමාවට පිටින් කටයුතු කිරීමට රේගු නිලධාරීන්ට නොහැකියි.