රාජ්‍ය බැංකු, ආයෝජන මණ්ඩල වැඩ ගැන පරීක්ෂණ


(අජන්ත කුමාර අගලකඩ)

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සිටි අධ්‍යක්ෂ මණ්ඩල පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආයතන තුනේ අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිවරයා විසින් හදිසියේම විසුරුවා හරිනු ලැබුවේ එම පරික්ෂණවල පළමු පියවර වශයෙන් යැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ. 


අධ්‍යක්ෂ මණ්ඩලය තිබියදීම එහි ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම, එම කටයුතුවලට බාධාවක් විය හැකි බැවින් ජනාධිපතිවරයා එම අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බව ද රජයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. 


මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ඔහුගේම ව්‍යාපාරයක් සඳහා විශාල මුදලක් ණය වශයෙන් අනුමත කර ගැනීමත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලයක් හොබවන අයකු ව්‍යාපෘතියක් අනුමත කිරීමට කොමිස් මුදල් ඉල්ලා ඇති බවට පැමිණිලි ලැබීමත් යන කාරණා මත අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.