රාජපක්ෂවරුන්ට කඩේ යාමට මා සූදානම් නෑ !


කුමාර වෙල්ගම

(නාලක සංජීව දහනායක) 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා දේශපාලන පළපුරුද්දක් සහිත පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකු ඉදිරිපත් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. 

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය රාජපක්‍ෂ පවුලට පමණක් සීමා කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතා හැරුණ විට අනෙකුත් රාජපක්‍ෂවරුන්ට කඩේ යාමට තමාගේ කිසිම සූදානමක් නැති බවද කීය. 
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේ දී පවුලේ සාමාජිකයන්ට තැන දුන් බැවින් බොහෝ දෙනෙක් අමනාප වූ බවත් ඒ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණය පරාජයට පත්වූ බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය රාජපක්‍ෂ පවුලේ අයකුටම දීමෙන් නැවතත් එම තත්ත්වයම ඇතිවන බවද පැවැසීය. 


යම් හෙයකින් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් එක්සත් ජාතික පක්‍ෂ විරෝධීන් සියළුම දෙනා නැවත එම පක්‍ෂයට එකතුවනු ඇති බවත් මේ සියළුම කරුණු සිතේ තබාගෙන ආණ්ඩු විරෝධී සටන මෙහෙයවිය යුතු බවද මන්ත්‍රීවරයා කීය.