රජයේ කාර්යාල ඇරඹීම අදියර කිහිපයකින්


 

(අජන්ත කුමාර අගලකඩ)  

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය ආයතනවල කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.  


රාජ්‍ය ආයතනවල සියලු සේවකයන් ගෙන්වා ගැනීම රාජ්‍ය ආයතනවලට ජනතාව රැස්වීම මෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ ප්‍රවාහනය කිරීම යනාදිය කොරෝනා වයිරසය ව්‍යාප්තවීමට හේතු විය හැකි බැවින්, මෙලෙස අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව පැවැසේ.  

ඒ අනුව, රාජ්‍ය සේවකයන් සීමිත පිරිසක් ගෙන්වා ගනිමින්, රාජ්‍ය ආයතනවල සේවා පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇත.  එම සේවකයන්ටද මුහුණු ආවරණ පැළඳීම ආදිය අනිවාර්ය කෙරෙනු ඇත.
ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (17) පවත්වා ඇත.  


මේ අතර රජයේ සහ පෞද්ගලික අංශයේ කටයුතු ඉදිරි දින කිහිපයේ ආරම්භ කිරීමට කටයුතු යොදන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් බදාදා (15) උපදෙස් දුන්නේය.