රජයෙන් කෝටි ගාණක් අරගෙනත් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණන්න හදනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය


(සමන්තිකා මාධවී)  
ජනසතු ආයතනයක් බවට පත් කරමින් රජයට පවරා ගන්නා බව කී මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට මාසිකව රුපියල් මිලියන තුන්සියයක් බැගින් රුපියල් බිලියන දෙක හමාරකට වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයෙන් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘ඉරිදා ලංකාදීප’යට පැවසුවේය.  
රෝහල රජයට පවරා ගැනීම සිදුවූ ඉකුත් ජුලි මස සිට මෙම මස දක්වා අදාළ ගෙවීම් සිදුවී ඇත.  


ගිවිසුමක් මත රෝහල රජයට පවරා ගැනීම සිදුකළ බවට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළ ද අභිමතය ප්‍රකාශ කිරීමේ ලියැවිල්ලක් මත අස්සන් තැබීමෙන් පමණක් අදාළ පවරා ගැනීම සිදුවී ඇති බවත් එම ලියැවිල්ලට අනුව එක් පාර්ශ්වයකට තම මතය අනුව ඉවත්ව යා හැකි බැවින් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීමට අදාළ පුවත්පත් දැන්වීමක් ඉකුත් සතියේ පළ කිරීමට රෝහල් පාලන අධිකාරිය කටයුතු කර තිබෙන බවද ඒ මහතා කීවේය.  


නිසි ආකාර ගිවිසුමකින් තොරව පවරාගත් ආයතනයක් සඳහා මෙකී ආකාරයට රාජ්‍ය මුදල් යොදවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමින් සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේය.