යහපාලන ගිවිසුම ඉවරයි ඇමැති ගණන අඩු කළ යුතුයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය ඉක්මවා ගොස් ඇති නිසා වහාම ඇමැති මණ්ඩලය අඩු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති ​ෙපරමුණ අවධාරණය කරයි.  

ඇමැති මණ්ඩල සංශෝධනයක් ගෙන එන බවට රාවයක් පැතිරුණද මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට වඩා අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම අත්‍යවශ්‍ය බවද ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙන පරිදි අමාත්‍ය ධුර ඉක්මවා ගොස් ඇති නිසා පවතින සංඛ්‍යාවෙන් කැබිනට් අමාත්‍යවරුන් 15කින් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 15කින් අඩු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන් වී දැනට දින ගණනාවක් ගත වී ඇති නිසා දැන් යහපාලන ආණ්ඩුවක් නැති බවද ඒ මහතා කියයි.   


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික ආණ්ඩුවක් සකස් කරන්නේ නම් පමණක් ඇමැති මණ්ඩලය වැඩි කළ හැකි බව ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇතත් ගිවිසුමේ නිල කාලය අවසන්වී ඇති නිසා මෙය ජාතික ආණ්ඩුවක් ලෙස සැළකිය නොහැකි බවයි.  


ඒ නිසා ණය බරින් පීඩාවට පත්ව ඇති රටකට හා එහි ජනතාවට පීඩා නොවන පරිදි ඔවුන් නඩත්තුවට යන විශාල මුදල ඉතිරි කර ගැනීම සඳහා වහාම ඇමැතිවරුන් සංඛ්‍යාව අඩු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.   මේ අතර යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසානවී ඇති නිසා රජය ගනු ලබන තීන්දු තීරණවල වලංගුභාවය පිළිබඳව කළ විමසීමේදී නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩල සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලැබිය යුතුව ඇති අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒ පිළිබඳව තීරණය කරනු ඇති බවය.  මේ මැතිවරණ සමයේ පත් කිරීම් කළ නොහැකි නිසා මැතිවරණයෙන් පසු රජය ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයිද යූ. ආර්. ද සිල්වා මහතා කීය.  


එතෙක් දැනට ගනු ලබන තීන්දු තීරණවල වලංගුභාවය පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.