මහජන නියෝජිතයන් වගකීම් ඉටු කරන හැටි


 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අතිවිශාල පිරිසක් රැස්වීම්වලට සහභාගී නොවන බව අනාවරණය වී තිබේ. මන්ත්‍රීවරයෙක් සතුව ඇති කාර්යයන් අතුරින් ප්‍රධානම වෙන්නේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමයි. ඒ තමන් පාර්ලිමේන්තුවට පත් කර එවන ලද රටේ ජනතාව වෙනුවෙනි. ජනතාව දුන් කතිරයට කරනු ලබන වගකීමක් ඉටු කිරීම වශයෙනි.   


පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසනු ලබන අවස්ථාවේ තම තමන්ගේ ප්‍රදේශවලට බලපාන ප්‍රශ්න අදාළ ඇමැතිවරුන්ගෙන් විමසා සිටීමේ අවස්ථා මන්ත්‍රීවරුනට හිමි වේ. එය තමන්ට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කරනු ලබන සේවයකි.  


පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට වැදගත්වන තවත් කරුණක් නම් පෙත්සම් කාරක සභාව සඳහා පෙත්සම් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවයි. ජනතාවට සාධාරණයක් ඉටු නොවුන අවස්ථාවක, සාධාරණයක් ලබාගැනීම සඳහා පෙත්සම් කාරක සභාවට පෙත්සම් ඉදිරිපත් කරනු ලබන්නේ මන්ත්‍රීවරයා විසිනි.  


තම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ ද පාර්ලිමේන්තුව තුළිණි.  


වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මන්ත්‍රීවරයාගේ ඡන්දය බෙහෙවින් වැදගත් වෙයි. රටේ නීති සකස් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවෙනි. එබැවින් පාර්ලිමේන්තු සැසියකට මන්ත්‍රීවරයාගේ සහභාගීවීම විශේෂ වැදගත්කමක් උසුලයි.  


මීට අමතරව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ඇති නීත්‍යානුකූල ලියවිල්ල සභා ලේඛනයේ එදිනට පැමිණි සියලු මන්ත්‍රීවරුන්ගේ නම් සටහන් වේ.   


පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ මාසයකට දින 8කි. එක් දිනක් පාර්ලිමේන්තුව පැවැත්වීම වෙනුවෙන් වැය කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 46කි. පාර්ලිමේන්තුව පැවැත්වෙන දින 8ට වැය කරලු ලබන මුළු මුදල රුපියල් ලක්ෂ 368කි.  


මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන සැසිවාර වෙනුවෙනි. පාර්ලිමේන්තු රැස්වීම් හා පාර්ලිමේන්තු නඩත්තුවට අවශ්‍ය විදුලිය, ජලය, සේවක වැටුප්, ඉන්ධන, ආරක්ෂාව ඇතුළු වියහියදම් වෙනුවෙන් මෙම මුදල වැය වෙයි. ඒ මුදල් වැය කිරීම පිළිබඳ පොදුවේ විරෝධයක් හෝ කතිකාවක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුව මූලිකම අංශයකි. එහෙත් මේ වැය කරන මුදලට උපරිම ප්‍රයෝජනයක් ලබන මන්ත්‍රීවරුන් සිටීද යන්න බලවත් ප්‍රශ්නයකි.  


මන්ත්‍රීවරුන් සියලුම දෙනා පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී නොවන බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් manthri.lk (මන්ත්‍රී.lk) වෙබ් අඩවිය මඟින් මැයි ජූනි ජූලි මාස 3 ඇතුළත සැසිවාරවලට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් පිළිබඳව සමීක්ෂණයක් කර ඇත.   


එම සොයාබැලීම අනුව මැයි, ජුනි හා ජූලි මාස 3 ඇතුළත පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වූ මන්ත්‍රීවරුන් අතුරින් එක් දිනක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ ආරුමුගම් තොන්ඩමන් මහතා ය.  


මෙම කාලය තුළ දින දෙකක් පමණක් පැමිණ ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේ​රු මහතා සහ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර්‍රේමලාල් ජයසේකර මහතාය.  


මෙම කාලය තුළ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, කඳුරට නව ගම්මාන හා වතු යටිතල පහසුකම් ඇමැති පී. දිගම්බරම්, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිලුම් අමුණුගම, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 4කි.  

 
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිවමෝගන්, මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන්, වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ, ක්‍රීඩා නි​ෙයා්ජ්‍ය ඇමැති මොහොමඩ් පාරිස්, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්ම මහත්මීන් මෙම මාස 3ක කාලය තුළ පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 5ක කාලයක් බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.   


මෙම කාල සීමාව තුළ දින 6ත් 11ත් අතර කාලයක් මන්ත්‍රීවරුන් 43ක්ද, දින 11ත් 16ත් අතර කාලයක් මන්ත්‍රීවරුන් 74 ක්ද දින 16 දින 21ත් අතර කාලයක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 90ක් වශයෙන්ද සඳහන් කර ඇත.  
මෙම දින 21 ක කාලය තුළ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් නම් කතානායක කරූ ජයසූරිය, නිහාල් ගලප්පත්ති, මුජිබර් රහුමන්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, සෙල්වම් අඩෙක්කිලනාදන්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නාගරික සංවර්ධන හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජයම්පති වික්‍රමරත්න, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් යන අය වෙති.  


මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගී වී ඇත්තේ පාර්ලිමේන්තු සැසි වාර 5කට අඩු ප්‍රමාණයකට බව සඳහන් වේ.   
පසුගිය ජූලි මාසයේ වඩාත් ක්‍රියාශීලී මන්ත්‍රීවරයා වශයෙන් ගයන්ත කාරුණාතිලක මහතා හඳුන්වා දී ඇත.   
මීට අමතරව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා නලින්ද ජයතිස්ස යන මහත්වරුන් සක්‍රීය දායකත්වය ලබාදී ඇති මන්ත්‍රීවරුන් වශයෙන් සඳහන් කර ඇත.   


‘ඉරිදා ලංකාදීප’ මඟින් කරන ලද සොයා බැලීමකට අනුව පසුගිය අගෝස්තු මාසයේ අවසාන දින 4 තුළ පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව හතරෙන් එකකට ආසන්න බව පෙනී යයි. අගෝස්තු 22 දින ආසන්න වශයෙන් මන්ත්‍රීවරු 49ක් පමණද, 23 වැනි දින මන්ත්‍රීවරු 60ක් පමණද, 24 හා 25 යන දින දෙක තුළ මන්ත්‍රීවරු සංඛ්‍යාව වශයෙන් 48 බැගින්ද පාර්ලිමේන්තුවට පැමිණ නැත.  


මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබඳව රජයේ සේවකයකුට හෝ පෞද්ගලික අංශයේ සේවකයකුට මෙන් නිවාඩු ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ යුතු නැත. එහෙත් එක දිගට මාස 3ක් පාර්ලිමේන්තු නොපැමිණියහොත් ස්ථාවර නියෝගවලට අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සිදු වෙයි. එබැවින් එක් දිනක් හෝ පැමිණ මුහුණ පෙන්වා යාමට හැකියාව ඇත. ඊට අමතරව මාස 3ක කාලයක් නොපැමිණීම (නිවාඩු ගැනීම) සම්බන්ධයෙන් නිවාඩු ලබාගැනීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුව ඇත.  


මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසි වාරයකට සහභාගී නොවීමට හේතු තිබිය හැකිය. අසනීපවීම, විදේශගතවීම, මංගල උත්සවයක්, අවමංගල්‍යයක් හෝ වෙනත් සාධාරණ හේතුවක් විය හැකිය.   


එ් අතුරින් පාර්ලිමේන්තුවේ සැසි වාරයකට සහභාගීවීම වැදගත් ලෙස නොසලකන මන්ත්‍රීවරුන් ද සිටිය හැකිය.  
මන්ත්‍රීවරුන් අතරින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයකට පාර්ලිමේන්තු සැසි වාරයකට සහභාගී නොවීමට තරම් සාධාරණ හේතුවක් තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි.  


මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසියකට සහභාගී නොවීම ජනතාවට මෙන්ම රටට කරන වගකීමෙන්, යුතුකමකින් පැහැරහැරීමකි. මන්ත්‍රීවරුන් තරම් වරප්‍රසාද විඳින තවත් පිරිසක් නොමැති තරම් ය. ඒ ලබන වරප්‍රසාදවලට වන්දි ගෙවීමක් වශයෙන්වත් පාර්ලිමේන්තුවට සහභාගීවීමේ වගකීම මන්ත්‍රීවරුන් සතු වේ.  


මන්ත්‍රී ධුරයට පත්වීම සඳහා විශාල කැප කිරීමක්, මුදල් වැය කිරීමක් සිදු කරනු ලබයි. ඒ තරම් කැපවීමක් කර මන්ත්‍රී ධුරයක් ලබා ගන්නේ නිකම්ම නොවේ. ඒ තනතුරෙන් ලබන වරප්‍රසාදවලට ඇති කෑදරකම නිසා බවට බොහොමයක් දෙනාගේ මතය වී ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු​ෙග් වැටුප මාසිකව රුපියල් 54285/- කි. නියෝජ්‍ය ඇමැතිවරයකු​ෙග් වැටුප රුපියල් 63500/-කි. ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 65,000/-කි. ඊට අමතරව පාර්ලිමේන්තු සැසියකට සහභාගී වීම වෙනුවෙන් ලබන දීමනාව එක් අයෙකුට රුපියල් 2500 බැගිනි. මාසයකට දින 8ක් පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ලබන මුළු මුදල රුපියල් 20,000කි. ඇමැතිවරයකුට නිල වාහන 2කි. නියෝජ්‍ය ඇමැතිවරයකුට නිල වාහන 2කි. සෑම මන්ත්‍රීවරයකුටම මෙන්ම මැති ඇමැතිවරුන්ටම ඇමෙරිකානු ඩොලර් 62500ක් වටිනා තීරු බදු රහිතව වාහනයක් ලබාගැනීමේ අවස්ථාව ඇත.  


බස්නාහිර පළාතෙන් පිට සිටින ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව පෙට්‍රල් වාහනයකට රුපියල් 75,000කි. ඩීසල් වාහනයකට දීමනාව රුපියල් 30,000කි. බස්නාහිර පළාත තුළ සිටින ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව පෙට්‍රල් වාහනයකට රුපියල් 50,000කි. ඩීසල් වාහනයකට දීමනාව රුපියල් 20,000කි. බස්නාහිර පළාතෙන් පිට සිටින නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව පෙට්‍රල් වාහනයකට රුපියල් 65,000කි. ඩීසල් වාහනයකට ඉන්ධන දීමනාව රුපියල් 30,000කි. බස්නාහිර පළාත තුළ සිටින නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව පෙට්‍රල් වාහනයකට රුපියල් 40,000කි. ඩීසල් වාහනයකට රුපියල් 20,000කි. මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට අවස්ථාව උපයෝගී කරගෙන බොහොමයක් මැති ඇමැතිවරු තීරුබදු රහිත වාහන වැඩිමිලට විකුණා මුදල් ගැනීම සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි.  


සෑම වසර පහකටම වරක් ඔවුන්ට තීරු බදු රහිත වාහනයක් ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5කි. නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට වාහන 3කි. ඇමැතිවරකුගේ කාර්යාල දුරකථන 2 සඳහා දීමනාව රුපියල් 20,000කි. නිවසට දුරකථන 2 සඳහා දීමනාව 10,000කි. ජංගම දුරකථන සඳහා දීමනාව 4000කි.   
මීට අමතරව ෆැක්ස් යන්ත්‍රයක්, පරිගණක යන්ත්‍රයක්, ෆොටෝ කොපි යන්ත්‍රයක් ඇතුළු කාර්යාල උපකරණ හිමි වේ.  
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000ක්ද, නිවසේ දුරකථන දෙකට රුපියල් 5000ක්ද ජංගම දුරකථන සඳහා දීමනාව රුපියල් 2000ක්ද වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇති දුරකථන දෙක සඳහා රුපියල් 50,000ක දීමනාවක් ලබාදීමට මෑතකදී යෝජනා වී ඇත.   
ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්ට පෙට්‍රල් වාහනයක් සඳහා ලීටර් 218ක්ද, ඩීසල් වාහනයක් සඳහා ලීටර් 264ක්ද හිමිය.  


ඇමැති පෞද්ගලික ලේකම්ට පෙට්‍රල් වාහනයක් සඳහා ලීටර් 240ක්ද ඩීසල් වාහනයක් සඳහා ලීටර් 288ක්ද හිමි වේ.  
ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය පුද්ගලයන් 15කි. නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය 10කි. මන්ත්‍රී කාර්ය මණ්ඩලය 5කි.  


මීට අමතරව පසුගිය ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.  


සෑම මන්ත්‍රීවරයකුටම ලක්ෂ 20ක රක්ෂණාවරණයක් හිමිය. හදිසි අනතුරකින් මිය ගියහොත් පවු​​ෙල් අයට රුපියල් ලක්ෂ 50ක වන්දියක් හිමිය.  


ඇස් කණ්ණාඩි සඳහා වසර තුනකට වරක් රුපියල් 5000ක් හිමිවේ.  


මැති ඇමැතිවරුන්ට විශේෂ පහසුකම් ඇති නිවාස හිමිවන අතර මන්ත්‍රීවරු සඳහා ද ​ෙකාළඹ අවටින් නිවාස පහසුකම් හිමිය.  


වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක්ද හිමි වේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාවද හිමි වෙති.  


ආරක්ෂක නිලධාරීන්ද ධුර කාලයට හිමි වේ.  


සැසිවාරයට සහභාගී වීම සඳහා බාධාවකින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීමට පහසුකම් සැලසේ. විදේශ සංචාර හිමි වේ.  


මන්ත්‍රීවරයෙකු වශයෙන් බැංකු ණය ලබාගැනීමට පහසුකම් සැලසී ඇත.  


මන්ත්‍රීවරයෙක් ලබන වරප්‍රසාද සමහරක් මෙසේ සටහන් කළෙමු. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට මෙම වරප්‍රසාද හිමිවී ඇත. බොහොමයක් මන්ත්‍රීවරු නොඅඩුව මෙම වරප්‍රසාද භුක්ති විඳිති.   
පාර්ලිමේන්තුවේ තම වගකීම හරි ආකාරව ඉටුකරන මන්ත්‍රීවරුන් බොහොමයකි. එ් අතරතුර අඩු වශයෙන් තමන් නියෝජනය කරනු ලබන ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම නොසලකා හරින දේශපාලනඥයන්ද සිටින බව පැහැදිලි කරුණකි.   

 

දයාසීලි ලියනගේ