බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලති


(දයාසීලි ලියනගේ)  

බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇත.  

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කරන ලද බැඳුම්කර කොමිසමේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් පත්කර සිටි අතර ඔවුන් වර්ෂ 2005 සිට බැඳුම්කර වංචාවන් පිළිබඳව සොයා බලා වාර්තාව ඉදිරිපත් කර ඇතැයි මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කීය.  
එම වාර්තාවට අනුව වර්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුළ රුපියල් බිලියන 889ක බැඳුම්කර වංචාවක් සිදුවී ඇති අතර වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ රුපියල් බිලියන 11ක බැඳුම්කර වංචාවක් සිදුවී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. වර්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුළ සිදුවී තිබෙන බැඳුම්කර වංචා පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම සඳහා දින දෙකක විවාදයක් ඉල්ලා පාර්ලිමේන්තු ලේකම්වරයාට ලබන සතියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බවද රංජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කීය.