බස්වලින් ගන්න කප්පම්


 

සෑම වසරකම ජුලි මස පළමු වැනි දින සිට සිදු කෙරෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ මේ වසරේදී බස් ගාස්තු සියයට 6.28කින් ඉහළ දැමීමට ඉකුත් දිනෙක ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගත් අතර ඒ අනුව මේ වනවිට සාමාන්‍ය හා අධි​ෙව්ගී මාර්ගවල ධාවනය කරන බස් රථ ගාස්තු ඉහළ ගොස් තිබේ.  


මේ ආකාරයට බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ ඇතැම් බස් රථ සංගම් නියෝජිතයන් ඒ ගැන විවිධ අදහස් දක්වන ආකාරයක්ද පසුගිය දින කීපයේදී අසා දැක ගන්නට ලැබිණ.   


ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  
වරෙක කියා සිටියේ පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීමේ ක්‍රියාවලිය ජයටම සිදු කෙරෙන බවත් ඒ අනුව මේ වනවිට මාසයකට රුපියල් කෝටි දාහතක මුදලක් කප්පම් ලෙස විවිධ පාර්ශ්ව මගින් පෞද්ගලික බස් රථවලින් ලබා ගන්නා බවත් ඉදිරියේදී එම මුදල කෝටි විස්ස දක්වා වැඩිවීමේ හැකියාවක් තිබෙන බවත්ය.  


බස් රථවලින් කප්පම් මුදල් ලබා ගැනීමේ සිදුවීම් පිළිබඳ මීට පෙරත් අපට විටින් විට තොරතුරු අසන්නට ලැබුණත් මේ තරම් විශාල මුදලක් බස් කප්පම්කරුවන් අතට පත් වන බවක් අප දැන සිටියේ නැත.  


මේ බස් කප්පම්කරුවන් පිළිබඳ කළ සොයා බැලීමකදී අපට දැන ගන්නට ලැබුණේ ඒ සඳහා මැදිහත්වන පාර්ශ්ව කීපයක් සිටින බවත් කෙටි ගමන් සේවා නගරාන්තර සේවා හා දුර ගමන් සේවා යන සෑම ගමන් සේවා බස් රථයකින්ම කප්පම් ලබා ගැනීම ජයටම සිදුවන බවත්ය.   


ආසන්න වශයෙන් මුළු රට පුරාම පෞද්ගලික බස් රථ විසිදහසකට (20000) ආසන්න ප්‍රමාණයක් ධාවනය වන අතර ඒවායෙන් කෝටි ගණනක මුදලක් මෙලෙස කප්පම් ලෙස ලබා ගන්නා බවත්ය.   


මේ ආකාරයට බස් රථවලින් කප්පම් මුදල් ලබා ගන්නා පිරිස් අතර පෙරමුණේම පසුවන්නේ වේලාසටහන්කරුවන්ය. පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාල මගින් මේ වේලාසටහන්කරුවන්ට මාස් පතා වැටුප් ගෙවුවද ඔවුන් තම හිතුමනාපෙට බස් රථවලින් කප්පම් ලබා ගැනීම සිදුකරන බව අප සමඟ අදහස් දැක්වූ බස් රථ සේවකයෝ කීප දෙනෙක්ම පවසා සිටියහ.  


නියමිත වේලාවට බස් රථ බස් නැවතුම්පොළවල්වලින් පිටත්කර හැරීම වේලා සටහන්කරුවන්ට පැවැරී ඇති ප්‍රධාන කාර්ය භාරය වන නමුත් ඔවුන් බස් රථවලින් දිගින් දිගටම කප්පම් ලබා ගැනීම සිදු කරන බවට බස් රථ සේවකයෝ චෝදනා කරති.  


විශේෂයෙන්ම බස් රථයක් ධාවනය කළ යුතු නියමිත වෙලාව පසුකර තවත් මිනිත්තුවක් හෝ දෙකක් නවතා තබා ගැනීම වෙනුවෙන් ඇතැම් වේලා සටහන්කරුවන් රුපියල් 50 සිට 300, 400 දක්වා මුදල් ලබා ගැනීම සිදුකරන බව ද දැන ගන්නට ලැබිණි.   


පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කාර්යාල මගින් එක් එක් බස් රථ මාර්ග සඳහා මේ වේලා සටහන්කරුවන් සේවයෙහි යොදවන අතර ඒ අනුව උදෑසන 5.30 සිට දහවල් 12.30 දක්වාත් එතැන් සිට රාත්‍රී හත හත හමාර වනතුරුත් වේලා සටහන්කර ගැනීමේ රාජකාරි සඳහා එලෙස සේවකයන් දෙදෙනකු යොමු කිරීම සිදුවේ.  


බස් නැවතුම්පොළවල්වල රාජකාරි කටයුතු කරන බොහෝ වේලා සටහන්කරුවන් චණ්ඩි පාට් දමමින් මේ ආකාරයට බස් රථවලින් කප්පම් ලබා ගැනීම සිදුකරන බවත් යම් බස් රථයකින් ඔවුන්ට කප්පම් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ඊළඟ දවසේ සිට එම බස් රථයට ලෙඩ දැමීමට ඔවුන් ක්‍රියාකරන බවත් බස් සේවකයෝ පවසති.  


කෙටි දුර සේවා හා නගරාන්තර සේවා බස් රථවලින් මෙන්ම දුර ගමන් සේවා බස් රථවලින් ද බස් කප්පම් ලබා ගැනීම සිදු කරති.  
ප්‍රධාන නගරවල බස් නැවතුම් පොළවල්වලට ඇතුළත් කරන දුර ගමන් සේවා බස් රථයක් නියමිත වේලාවට වඩා එක් මිනිත්තුවක් හෝ දෙකක් වැඩිපුර නවතා තබා ගැනීම සඳහා, රුපියල් 100 සිට 200, 300 දක්වා ඉහළට යන සන්තෝසමක් මේ වේලා සටහන්කරුවන්ට ලබාදිය යුතුය.   


නගරාන්තර බස් රථ සේවා මාර්ගයක් ගතහොත් අදාළ නගර දෙකෙහිම සිටින වේලා සටහන්කරුවන් දෙදෙනාට අමතරව එම මාර්ගයේ අතර මග ස්ථානයක හෝ දෙකක ද වේලා සටහන්කරුවකු රාජකාරි කටයුතු කරන අතර ඔවුන්ද බස් රථවලින් කප්පම් මුදල් ලබාගන්නා බව බස් සේවකයෝ පවසති.  


මේ ආකාරයට වේලා සටහන්කරුවන් විසින් බස් රථවලින් කප්පම් ලබා ගන්නා ලද බවට බස් රථ සේවකයන් නගන චෝදනා ගැන අප ප්‍රධාන බස් රථ මාර්ග කීපයක් ඇසුරින් කරුණු සොයා බැලීමක් කළ අතර ඒ අනුව දැන ගන්නට ලැබුණේ බදුල්ල-කොළඹ (99) මාර්ගයේ ධාවනය වන බස් රථවලින් ඉතා විශාල මුදලක් කප්පම් ලෙස වේලා සටහන්කරුවන් ලබා ගන්නා බවය.


99 බදුල්ල-කොළඹ බස් මාර්ගයේ ධාවනය වන එක් බස් රථයකින් රුපියල් 350ක මුදලක් අය කර ගන්නා බවට තොරතුරු දැනගන්නට ලැබෙන අතර සී/ස බදුල්ල මගී ප්‍රවාහන සමාගම විසින් එලෙස මුදල් ලබා ගනු ලබන බව පැවසේ. මේ බස් සමාගමෙන් මේ විදියට එක් බස් එකකින් රුපියල් 350ක් ගන්නෙ සමාගමේ නඩත්තු කටයුතුවලට කියලා. ඒගොල්ලො ඒ සල්ලි ගන්නෙත් එයාලගෙ කාර්යාලයකින් නොවෙයි. නිකන් බස් ස්ටෑන්ඩ් එකේදී. මේක අසාධාරණ වැඩක්. මම මේ ගැන ජාතික ගමනා ගමන කොමිෂන් සභාවටත් දැන්වුවා. ඒ කොමිෂන් එකෙන් තුන් පාරක් ලියුම් එවලා තියෙනවා. මේක නවත්තන්න කියලා. ඒත් මේක තවම නැවතිලා නෑ. රැපියල් 350ක් කිව්වට ට්කට් කඩන එක්කෙනත් මෙයාට රුපියල් 150ක් විතර තියාගෙන එක බස් එකකින් රුපියල් 500ක් විතර ගන්නවා. 99 බදුල්ල-කොළඹ පෞද්ගලික බස් ධාවන සේවක සංගමයේ සභාපති අනුර රාජපක්ෂ මහතා ඒ ගැන කීවේ එවැනි කතාවකි.
පානදුර ප්‍රධාන බස් නැවතුම්පොළේද මේ බස් කප්පම් ගැනීමේ ජාවාරම ජයටම සිදුවන බවට තොරතුරු දැන ගන්නට ලැබෙන අතර පානදුර නගරයෙන් ගමන් වාර ආරම්භ කරන කෙටි හා නගරාන්තර සේවා බස් රථවලින් රුපියල් 50, 100 ආදී වශයෙන් වේලා සටහන්කරුවන් විසින් මුදල් ලබා ගන්නා බවත් පානදුර බස් නැවතුම්පොළ හරහා ගමන් ගන්නා දුර සේවා බස් රථවලින් රුපියල් 100 සිට 500 දක්වා මුදල් ලබා ගන්නා බවත් පැවැසේ. එලෙස දුර ගමන් සේවා බස් රථවලට වැඩිදුර වේලාවක් බස් රථ නවතා තබා ගැනීමට ඉඩ ලබාදීම නිසා බස් නැවතුම්පළේ විශාල බස් රථ තදබදයක් නිතිපතා දක්නට ලැබෙන බවට ද බස් රථ සේවකයෝ චෝදනා කරති.  
සාමාන්‍යයෙන් වේලා සටහන්කරුවන් බස් රථයකින් මුදලක් ලබා ගන්නේ බස් රථය ධාවනය කළ යුතු නියමිත වේලාව ඉක්මවා තවත් සුළු වේලාවක් ගාල් කර තබා ගැනීම වෙනුවෙන් වුව ද නියමිත වේලාවට ගමන් ආරම්භ කරන බස් රථවලින්ද කිසි වෙනසකින් තොරව ඔවුන් විසින් මුදල් ලබා ගැනීම සිදු කරන බවද පැවැසේ.  


කරගම්පිටිය-හෙට්ටියාවත්ත (176) බස් මාර්ගයේ ධාවනය කරන සෑම බස් රථයකින්ම රුපියල් 50 සහ 100 බැගින් වේලා සටහන්කරුවන් විසින් මුදල් අය කරනු ලබන බව එම බස් මාර්ගයේ සේවය කරන බස් රථ සේවකයෙක් අප සමඟ පැවැසීය.   


ඔහු කියූ පරිදි කරගම්පිටිය හා හෙට්ටියාවත්ත යන බස් නැවතුම්පොළවල් දෙකෙහිම රාජකාරි කරන වේලා සටහන්කරුවෝ ගමන් වාර ආරම්භ කරන සෑම පෞද්ගලික බස් රථයකින්ම මුදල් ලබා ගනිති. මෙම බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ 53ක් පමණ ධාවනය වන බව කී ඔහු එම සෑම බස් රථයකින්ම රුපියල් පනහ සහ සියය බැගින් මුදල් ලබා ගැනීම මගින් වේලා සටහන්කරුවන් දිනකට රුපියල් දහසට වැඩි අමතර ආදායමක් ලබා ගන්න බවද කීවේය.  


176 බස් මාර්ගයේ අතර මැද ස්ථාන කීපයක රාජකාරි කරන වෙලා සටහන්කරුවන්ටද රුපියල් 50ක් හෝ 100ක් අතමිට මොළවන්නට සිදුවීම තමන්ට තවත් හිසරදයක් වී තිබෙන බවද බස්සේවකයෝ පවසති.  


බස් කප්පම් ගැනීම ජයටම සිදුවන තවත් ප්‍රධාන බස් රථ මාර්ගයක් වන්නේ 138 කොට්ටාව-පිටකොටුව මාර්ගයයි. මෙහි සේවය කරන සේවකයකු අප සමඟ පැවැසුවේ මෙම බස් මාර්ගයේ බස් රථ 65ක් පමණ ධාවනය කරන බවත් කොට්ටාවේ සහ පිටකොටුව බස් නැවතුම්පළවල්වල සිටින වේලා සටහන්කරුවන් එම එක් බස් රථයකින් රුපියල් 100 බැගින් ලබා ගන්නා බවත්ය.   


විශේෂයෙන්ම මේ බස් මාර්ගයේ උදෑසන ගමන්වාර ආරම්භ කරන සෑම බස් රථයකින්ම රුපියල් 200ක මුදලක් ඔවුන් ලබා ගන්නා බවත් එයින් රුපියල් 100ක් නැවතුම්පළේ සිටින Time - OIC යනුවෙන් හඳුන්වන නිලධාරියාට ලැබෙන බවත්ය.   


එම නිලධාරියා දවසකට රුපියල් දස දහසකට ආසන්න මුදලක් හම්බ කර ගන්නා බව ද ඔහු හෙළි කළේය.  


ඒ හැරුණුවිට සාමාන්‍ය වේලා සටහන්කරුවන් දිනකට රුපියල් දහස ඉක්මවන මුදලක් උපයා ගන්නා බව ද ඔහු පැවැසීය.   


මාර්ග අංක 119 දෙහිවල-මහරගම බස් මාර්ගයේද මේ බස් කප්පම් ගැනිල්ල ජයටම සිදු කෙරෙන බවට තොරතුරු දැන ගන්න ලැබේ. මෙම මාර්ගයේ ධාවනය වන පනහකට ආසන්න පෞද්ගලික බස් රථවලින් රුපියල් 100 බැගින් මුදල් ලබා ගැනීමට සිදුවන බව සේවකයෝ කියති.  


රාත්‍රී හතට පසු වේලා සටහන්කරුවන් දෙදෙනා (මහරගම සහ දෙහිවල සිටින) රාජකාරි අවසන් කර පිටත්ව ගිය පසු වෙනත් පුද්ගලයන් දෙදෙනකු දෙපැත්තෙන් ගමන් ආරම්භ කරන බස් රථවලින් රුපියල් 50ක කප්පම් මුදලක් ලබා ගැනීම සිදු කරන බව ද තොරතුරුවලින් හෙළි විය.   


මෙම බස් මාර්ගයේ රාජකාරි කරන වේලා සටහන්කරුවන් දිනකට රුපියල් 1000ක් 1500ක් අතර මුදලක් උපයා ගන්නා බව ද සේවකයෙක් සඳහන් කර සිටියේය.  


මාර්ග අංක 155 මට්ටක්කුලිය සොයිසාපුර බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ 61 ධාවනය වන අතර ඒ එක බස් රථයකින් රුපියල් 100, 150 බැගින් වේලා සටහන්කරුවන් විසින් කප්පම් මුදල් ලබා ගැනීම සිදු කරන ලද බව එක් බස් රථ සේවකයෙක් කියා සිටියේය.  


ඊට අමතරව මෙම බස් මාර්ගයේ ආමර්වීදිය ප්‍රදේශයේ සිටින අතරමග වේලා සටහන්කරුද එක් බස් රථයකින් රුපියල් 20ත් 50ත් අතර මුදලක් ලබා ගන්නා බව ද ඔහු සමඟ කළ කතාබහෙන් හෙළිවිය.  


මාර්ග අංක 178 මට්ටක්කුලිය-නාරාහේන්පිට බස් මාර්ගයේ බස් රථ 30ත් 35ත් අතර ප්‍රමාණයක් ධාවනය වන අතර එම බස් මාර්ගයේ තොටළඟ හා කොස්ගස්හන්දිය අතරමැද බස් නැවතුම් පළවල්වල සිටින වේලා සටහන්කරුවන් එක් බස් රථයකින් රුපියල් 100ක මුදලක් ලබාගන්නා බවට ද තොරතුරු තිබේ.   


මෙහි ඇති වැදගත්ම කාරණය නම් මේ වේලා සටහන්කරුවන්ට ඒ ඒ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කාර්යාල මගින් නිශ්චිත මාසික වැටුපක් ගෙවීමත් මේ ආකාරයට බස් රථවලින් මුදල් අය කර ගැනීමට ඔවුන්ට කිසිදු නෛතික හැකියාවක් නොමැති වීමත්ය.   
මේ අත්තනෝමතික ක්‍රියා කලාප පිළිබඳව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ​අධිකාරි කාර්යාලවල ඉහළ නිලධාරීන් කොතරම් දැනුම්වත් කළ ද ඒ කිසිවකින් ඵලක් වී ​ෙනාමැති බවද බස් සේවකයෝ පවසති. බස්වලින් කප්පම් ගැනීම සරුවට සිදුවන අැතැම් ස්ථානවල රාජකාරි කරන වේලා සටහන්කරුවන් එම ස්ථානවලින් සේවා මාරුවීම් නොලබා එක දිගටම වසර ගණනාවක් තිස්සේ රාජකාරි කරන්නේද වැටුපට අමතරව හොඳ ආදායමක් මේ මගින් ලැබෙන නිසාය.   


ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා
මේ වෙනකොට මුළු රටේම ප්‍රයිවට් බස් විසිදාස් පන්සීයක් විතර තියෙනවා. සමහර දුර සේවා බස් එකකට එක ගමන් වාරයක් ගිහින් එන්න රුපියල් 1600ක විතර කප්පම් මුදලක් දෙන්න වෙනවා. ටයිම් කීපර්ලට තමයි වැඩි හරියක් කප්පම් විදියට දෙන්න වෙලා තියෙන්නෙ.  


යාපනයේ අැරුණහම ලංකාවේ සෑම බස් නැවතුම්පළකම මේ ටයිම් කීපර්ස්ලා ඉන්නවා. මේ එක්කෙනෙක්ගෙ දවසක ආදායම රැපියල් 5000ත් 10,000ත් අතර ගාණක්. ඒ විදියට මේගොල්ලො හම්බ කරන සල්ලි පොලියටත් දෙනවා. ඒ නිසා මේ ටයිම් කීපර්ස්ලා දැන් කප්පම්කාරයො වගේම පොලීකාරයොත් වෙලා. මේ ටයිම් කීපර්ලට අමතරව බස් ස්ටෑන්ඩ්වල තව කප්පම්කාරයො කට්ටියක් ඉන්නවා.   
ඒගොල්ලන්ට රනර්ලා කියලා කියන්නෙ. මේගොල්ල කරන්නෙ දුර ගමන් සේවා බස් ප්‍රධාන නගරවල බස් ස්ටෑන්ඩ් ඇතුළට දාන්න සල්ලි ගන්න එක. බස් මාර්ගයේ ආදායම හොඳයි නම් මේ අය බස්වලින් වැඩි ගාණක් ගන්නවා.   


දැන් බස් ගාස්තු වැඩි වුණහම වෙන්නෙ මේගොල්ල ගන්න ගාණ තවත් වැඩි කරලා ගන්න එක. මේ රනර්ලට දේශපාලන අනුග්‍රහයත් තියෙනවා. බස්වලින් කප්පම් ගන්න තව විදියක් තියෙනවා.  


එ් තමයි එක එක හදාගත්ත බස් සංගම්වලින් බස් නැවතුම් පොළවල්වලදි සල්ලි ගන්න එක. එක බස් එකකින් දවසට රුපියල් 200ක් දෙන්න ඕන. බස් සමාගම් හදන අයිතිකාරයො තමයි එයාලගෙ මිනිස්සු දම්මලා බස්වලින් සල්ලි එකතු කරන්නෙ.  


දින සීය ආණ්ඩු කාලේ මේ විදියට බස් සමාගම්වලින් සල්ලි එකතු කරන එක තහනම් කළාට දැන් ඒක ආපහු සිද්ධ කෙරෙනවා. බදුල්ල, මාතර, කුරුණෑගල, කතරගම, නුවරඑළිය වගේ තැන්වලදි මේක ජයටම කෙරෙනවා. මේ විදියට බස්වලින් කප්පම් විදියට කෝටි පහළොවක් විතර එකතු කර ගන්නවා. දැන් බස් ගාස්තු වැඩිවුණහම වෙන්නෙ බස් කප්පම්කාරයොත් බස්වලින් ගන්න කප්පම් සල්ලි තවත් රුපියල් සීයකින් හරි දෙසීයකින් හරි වැඩි කරන එක. එතකොට අර කෝටි පහළොව කෝටි විස්ස විතර වෙනකන් වැඩි වෙන්න පුළුවන්.  


මේ කප්පම් ගැනීම නතර කරන්න පුළුවන් වෙන්නෙ පළාත් ප්‍රවාහන අධිකාරිවලට තමයි. මොකද ඒ ආයතනවලට තමයි මේ කටයුතු නියාමනය කිරීමේ බලය තියෙන්නෙ.   


මේ කප්පම් කාරයන්ව මාරු කරන්නවත් පළාත් ප්‍රවාහන අධිකාරි කාර්යාල කටයුතු කරන්නෙ නෑ. මේ කප්පම්වලින් කොටසක් පළාත් ප්‍රවාහන අධිකාරි කාර්යාලවල ඉන්න ඉහළ නිලධාරින්ටත් යනවා. ඒ නිසා තමයි මේ අයව මාරු කරන්නෙත් නැත්තෙ.  


මේ කප්පම් ගැනීම නතර කරන්න නම් “බස් ට්‍රැවල් කාඩ් එක” හැම බස් එකකම ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ට්‍රැවල් කාඩ් ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට බස් කොන්දොස්තරලා අතේ සල්ලි තියෙන්න විදියක් නෑ. බස් ටිකට් ගනුදෙනුව සිද්ධ වෙන්නෙ මගියා ළඟ තියෙන ට්‍රැවල් කාඩ් එකෙන්.  


2013 අවුරැද්දෙ අපි ඉස්සෙල්ලම මේ ට්‍රැවල් කාඩ් සිස්ටම් එක බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළා. අපිට පුළුවන් මේ ක්‍රමය යෝජනා කරන්න විතරයි. ඒක නියාමනය කිරීමේ බලයක් අපිට නෑ. ඒක තියෙන්නෙ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටයි පළාත් සභාවලටයි.  

 

උපුල් වික්‍රමසිංහ