පොලීසියේ චණ්ඩි සෙල්ලම්


 

 

සිවිල් පුරවැසියන්ට පොලිස් නිලධාරින් කරන පහරදීම් සම්බන්ධ සාකච්ඡාව යළි ඉස්මතු වී තිබේ. ඒ මහරගම පොලිසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් විසින් ලොරි රථ රියැදුරෙකුට පහර දීමේ සිදුවීමත් සමඟය.   


 මෙම ලොරි රථ රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ රථවාහන හැසිරවීමේ නිරත වෙමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්වීම මෙම පහරදීමට මූලික හේතුව විය.

   
 මාර්ගයේ මැද වාහන ගමන් කළ නොහැකි තීරුවේ සිටින රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරියේ ගැටී පිටතට විසිවේ. ලොරිය අඩි පහළොවක් විස්සක් පමණ ඉදිරියට ඇදී ගොස් නවත්වාගනු ලැබේ. සිදුවීමෙන් කෝපයට පත් ඒ ආසන්නයේම සේවයේ නියුතුව සිටි රථවාහන අංශයේ කොස්තාපල්වරයා වහා පැන ලොරි රථයේ රියැදුරුට පහර දෙන අයුරු වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදාහැර තිබිණ. එහෙත් එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ සිදුවීමේ අතරමැද කොටසක් පමණි. ගැටුම ආරම්භ වූයේ කෙසේද යන්න එහි සඳහන් නොවේ.   


 මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ තමන්ගේ ප්‍රධානියාව තමන්ගේ ඇස් ඉදිරිපිටම හප්පාගෙන යද්දී යම් ආවේගයක් ඇතිවිය හැකි නමුත් මනා පුහුණුවක් ලැබූ පොලිස් නිලධාරියෙකු ලෙස එය පාලනය කර ගැනීමට හැකියාවක් ඔහුට තිබිය යුතු බවය. වෘත්තීමය පොලිසියක සිද්ධාන්තවලට පටහැනිව කටයුතු කිරීම නොගැළපෙන බව ද ඔහු පැවසීය.   


 සාමාන්‍ය වැසියෙක් හැසිරෙන ආකාරයෙන් හැසිරීමට පොලිස් නිලධාරියෙකුට නොහැකි බව ද විශේෂයෙන් මේ ආකාරයට ඇඟට පැන අමානුෂික ලෙස පහරදීම අනුමත කළ නොහැකි බව ද එය නින්දිත ක්‍රියාවක් බව ද අජිත් රෝහණ මහතා පැවසීය. එවැනි අවස්ථාවක දී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් එය වළක්වා ගැනීමට, පහරකෑමට ලක්වන පුද්ගලයාට අයිතියක් ඇති බව ද ඔහු පැවසීය.   


 කෙසේ නමුත් මෙම සිදුවීම අන්තර්ජාලයෙන් ප්‍රචාරය විමත් සමග සිදුවීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ අතර පසුදින ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔහු ලබන පස්වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ අතර ලොරි රථයේ රියැදුරු අැප මත මුදාහැරිණ.   

 

 


 නීතිය අතට ගෙන නිරායුධ සිවිල් වැසියෙකුට පහරදීම අනුමත නොකළ ද මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වසර තිහක පමණ කාලයක් තිස්සේ එනම් පොලිසියට බැඳුන දා සිටම උසස් වීම් නොලබා පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවය කරන අයෙක් වීම ද සැලකිල්ලට ලක් කළ යුතු කරුණක් බව පොලිසිය පැත්තෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ඇසෙන කතාවක් ද තිබේ.   


එහෙත් එයට සමාන පුරවැසියන්ගෙන් ප්‍රශ්න විසඳා ගැනීමට ඔහුට බලයක් නැති බව ද සඳහන් කළ යුතුය.   


 මෙය ඇමෙරිකන් පන්නයේ පහරදීමක් ලෙස ද ඇතැමෙකු අර්ථ දක්වති. එයට පදනම් වී තිබෙන්නේ පසුගි වසරේ මැයි 25 වැනිදා ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාට අමානුෂික ලෙස සිදුකළ පොලිස් පහරදීමකින් මිය යාමේ සිදුවීමය.   


 ජෝර්ජ් ෆ්ලොයිඩ් ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී භාණ්ඩ ලබාගත් බවට වෙළෙඳ සැල් හිමියකු කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට මිනියැපොලිස් හි පොලිසිය පැමිණේ. එහිදී ෆ්ලොයිඩ් පොලිසිය සමග ගොස් පොලිස් රියට ගොඩවීමට පෙර බිම පෙරළේ. ඔහු හිතාමතා පෙරළුණා ද? පොලිසිය ඔහුව බිම පෙරළුවා ද යන්න නිශ්චිත නැත. කෙසේ නමුත් එම අවස්ථාවේ ඔහුට පහර දෙන ඩ්රේන් චාවින් නමැති සුදු ජාතික පොලිස් නිලධාරියෙක් තමන්ගේ පාදය නවා දණහිස මුණින් අතට වැටී සිටින ෆ්ලොයිඩ්ගේ ගෙල මත තබා හිර කළේය. තමන්ට හුස්ම ගන්නට නොහැකි යැයි ෆ්ලොයිඩ් ආයාචනය කරද්දීත් පොලිස් නිලධාරියා එය නොසලකා හරිමින් සිටී. එසේ ටික වේලාවක් සිට ඔහුව වාහනයේ දමාගෙන රැගෙන යන නමුත් පසුව ඔහු මියගොස් සිටි බව අනාවරණය විය.   


 ඇමෙරිකානු පොලිසිය තවත් කළු ජාතිකයෙකුට වෙඩි තැබීමේ සිදුවීමක් මුල් කර ගනිමින් විස්කොන්සින් ප්‍රාන්තයේ ගැටුම් හටගත්තේ ෆ්ලොයිඩ්ගේ ඝාතනයේ උණුසුම යන්නටත් පෙරය. ජේකබ් බ්ලේක් නමැති විසිනව හැවිරිදි මෙම කළු ජාතිකයා පොලිස් වෙඩි ප්‍රහාර ගණනාවකට ලක්වී රෝහල්ගත කරනු ලැබූ අතර ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු ජීවිතය බේරාගන්නට ඔහුට හැකි විය.     


 මෙවැනි සිදුවීමක් ලංකාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව ද මහරගම පොලිස් කොස්තාපල්ගේ සිදුවීම නොවේ. මෙවැනි සිදුවීම් ඉතිහාසයේ දී අප වරින් වර අසා තිබේ.   
 පස්යාලේ දී යතුරුපැදියක ගමන් කළ තරුණයන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි තැබීමෙන් යතුරුපැදිය පැදවූ තරුණයා මිය ගියේය. එම සිදුවීම වාර්තා වූයේ දෙදාස් දාහතරේ ජුනි 11 වැනිදාය. ඔහු සුභාෂ් ඉන්දික ජයසිංහ නමැති විසිහතර හැවිරිදි තරුණයෙකි. මීරිගම කිතුල්වල පදිංචි ඔහු පොලී මුදල් එකතු කිරීමට මිතුරෙකු ද සමග පිටත්ව ගිය අතර මුදල් එකතු කරගෙන ආපසු එන අතරේ මෙම සිදුවීමට මුහුණ දී තිබේ. පොලිසිය සඳහන් කළේ පොලිස් විධානයක් නොතකා ධාවනය කළ නිසා යතුරුපැදියට වෙඩි තැබූ බවය. එසේ නම් වෙඩි වැදී තුවාල ලැබිය යුත්තේ එහි පිටුපසින් ගමන් ගත් පුද්ගලයාය. එහෙත් සිද්ධියෙන් දිවි බේරාගත් සුභාෂ්ගේ මිතුරා පවසන පරිදි යතුරුපැදිය පදවා තිබෙන්නේ සුභාෂ්ය. එසේම යතුරුපැදිය පොලිස් අණ පරිදි නැවැත් වූ පසු පැමිණි පොලිස් නිලධාරියෙකු සුභාෂ්ට වෙඩි තැබූ බව ද එසේ වෙඩි තැබූ පොලිස් නිලධාරියා බීමත්ව සිටි බව ද මිතුරා පවසා තිබේ.   


 සිදුවීම ඇසින් දුටු සාක්ෂිකාරියක ද සඳහන් කර තිබෙන්නේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා වැටී සිටි බවට පොලිසිය සලකුණු කර තිබූ ස්ථානයේ නොව ඔවුන් වැටී සිටියේ වෙනත් ස්ථානයක බවය. මෙම තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යෙදී තිබූ දිනයේ ප්‍රදේශවාසීහු දේහය රැගෙන මහමගට පැමිණ උද්ඝෝෂණය කළහ.   
 පේදුරුතුඩුවේ දී වැලි පැටවූ ටිපර් රියකට වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය ද දැඩි කතාබහට ලක්විය. එය සිදුවූයේ 2016 වසරේ දීය. එසේම 2016 ඔක්තෝබරයේ දී තවත් සිදුවීමක් යාපනයෙන් වාර්තා විය. එම සිදුවීමෙන් මියගියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් වූ කිලිනොච්චියේ පදිංචි නඩරාජා කජන් සහ චුන්නාකම්හි පදිංචි විජයකුමාර් සුලක්ෂන්ය. 

 
 මෙම සිදුවීමේ දී ද පොලිසිය මුලින්ම ප්‍රකාශ කර තිබුණේ ඔවුන් දෙදෙනා රිය අනතුරකින් මියගොස් ඇති බවය. වෙඩි තැබීමකින් මිය ගිය බව හෙළිවූ පසු පොලිසිය සඳහන් කළේ යතුරුපැදිය නොනවත්වා ධාවනය කරද්දී වෙඩි තැබූ බවය. නමුත් වෛද්‍ය වාර්තා අනුව වෙඩි වැදීම සිදුවී ඇත්තේ ඉදිරිපස උස් ස්ථානයක සිටය. එනම් පිටුපසින් වෙඩි තැබුවේ නම් මුලින්ම වෙඩි වැදිය යුත්තේ පිටුපස ගමන් ගත් පුද්ගලයාට වුවද මෙහිදී මුලින් වෙඩි වැදී තිබුණේ ඉදිරියෙන් ගමන් කළ තරුණයාටය. පසුව විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.   


 අඟු‍ලාන පොලිසියේ නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ලු‍නාව හත්වැනි පටුමග ආසන්න වෙරළබඩ පදිංචි තරුණයෙකු වූ අමිත් කරුණාරත්න නමැති ධීවරයෙකු 2016 ජුලි මස දී මියගියේය. මිය යනවිට ඔහු තිස්නව වැනි වියේ පසුවූ සිවු දරු පියෙකි. ඔහු සිය වැඩිමහල් පුතා හා තවත් තිදෙනෙකු සමග රාජගිරිය දෙසට මසුන් මැරීම සඳහා යමින් සිටියදී, ලු‍නාව-අඟු‍ලාන මෝය කට අසල දී මෙලෙස වෙඩි වැදී තිබේ. ඒ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය නවත්වා පරික්ෂා කරන අතරතුර ඇති වූ සිදුවීමක දීය.   
 මෙම සිදුවීමෙන් පසු අඟුලාන ජනතාව අඟුලාන පොලිසිය වට කරමින් උද්ඝෝෂණය කරන්නට වූහ. මේ ආකාරයටම 2009 දී ද අඟුලාන පොලිසියේ නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙක් මිය ගියහ.   


 අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව පොලිසිය බලය පාවිච්චි කළ යුත්තේ අවශ්‍යතාව අනුව පමණි. අවශ්‍යතාවට වඩා උපරිමයෙන් නොවේ. එමෙන්ම සියලු‍ පුරවැසියන්ට හිමි පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පොලිසියට ද හිමිවේ. නමුත් පොලිසිය නීති රීති පැත්තකට දමා බලය පාවිච්චි කරන අවස්ථා ඕනෑ තරම් අසා දැක තිබේ.   
 රියැදුරන් ද මිනිසුන් ලෙස හැසිරිය යුතු අතර රථවාහන නීති ද රැකිය යුතුය. එහෙත් තරගකාරි සමාජයේ රියැදුරන් ද හැසිරෙන්නේ නීති රිති බල්ලට දමමින් බවට ඕනෑ තරම් උදාහරණ තිබේ. නීතිය රකින ආයතනවල නිලධාරින් නීතිය බල්ලට දමද්දී සාමාන්‍ය මිනිසුන් නීතිය බල්ලාට දැමීම පුදුමයට කරුණක් නොවේ. එසේම නීතිය රකින්නට යුනිෆෝමයක් ඇඟලාගෙන සිටින්නේ ද මිනිසුන්මය. ඔවුන් ද රාජකාරිය තුළ බොහෝ පීඩාවන්ට ලක්ව සිටිනවාට සැකයක් නැත. එනිසා ඔවුන් අතින් වැරදි හා අපරාධ සිදුවිය හැකිය. එහෙත් තමන් මුහුණ දෙන පීඩාවන් අපරාධයක් කර නිදහස් වීමට තිබෙන බලපත්‍රයක් ද නොවන්නේය. ඒ නිසා මේ සියල්ල සලකා බලා මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීම බලධාරින්ගේ වගකීම හා යුතුකම වනු ඇත.   

 

මුදිතා දයානන්ද