පාස්කු කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කළොත් බුද්ධි අංශ රහසිගත සාක්ෂි හෙළිවේද?


ඇමැති මණ්ඩලය හමුවේ  ප්‍රශ්නාර්ථයක්

(දයාසීලි ලියනගේ)  

පාස්කු ඉරිදා පහරදීම පිළිබඳ සෙවූ කොමිෂන් සභාව හමුවේ රහසිගතව සාක්ෂි ලබා දුන් ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් සාක්ෂි අවසන් වාර්තාවේ අඩංගුවන නිසා එම සාක්ෂි සමගම වාර්තාව ප්‍රසිද්ධ කරනවාද නැද්ද යන්න පිළිබඳව ඇමැති මණ්ඩලයේ අවධානයට යොමු වී ඇතැයි දැනගන්නට ඇත.  

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඊට පෙර මෙම බුද්ධි අංශ නිලධාරීන් රහසිගතව දෙන ලද සාක්ෂි විවෘත සමාජයට අනාවරණය වියයුතු ද යන්න පිළිබඳව යළි විමසා බැලීමට යන බව ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.  


බුද්ධි අංශ පිළිබඳව හෙළිදරව් කිරීමකින් ඉකුත් රජය කාලයේදී ඇතැම් නිලධාරීන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවීම නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙන ලද රහස් සාක්ෂි ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව යළි සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.