ප්‍රධාන සැකකරු මුදාහැරිය පොලිස් ලොක්කා කවුද ?


ශිවයෝගනාදන් විද්‍යා, ඇය යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි. මීට වසර දෙකකට පෙර එනම් 2015 වසරේ මැයි මාසයේ දී ඇයට අත්වූ ඛේදනීය ඉරණම දැන් රටම දනී. දැරියගේ ඝාතනයේ සැකකරුවකු මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය සමඟ උරණ වූ ප්‍රදේශවාසීහු පිරිසක් යාපනය උසාවියට පවා ගල් ගැසූහ. දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් නමැත්තා නීති විශාරදයකුගේ වාහනයේ යාපනය පොලිසියට ගියේ කෙසේද? පොලිසියට බාර දුන් ස්විස් කුමාර් වැල්ලවත්තෙන් මතුවූයේ කෙසේද? ඔහු මුදා හැරි පොලිස් ලොක්කා කවුද?   


බොහෝ දෙනකුට දෙවසරක් තිස්සේ තිබුණු ප්‍රශ්නවලින් එක් ප්‍රශ්නයකට හැර පසුගිය සතියේ පිළිතුරු ලැබිණි. ඒ සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදීය. පිළිතුරු නොලැබුණේ ස්විස් කුමාර් මුදා හළ පොලිස් ලොක්කා කවුද යන ප්‍රශ්නයට පමණි. එහෙත් ඒ ගැන යම් යම් ඉඟි පළ විය.   


විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගය යාපනය මහ අධිකරණයේ දී මේ දිනවල විභාගයට ගැනෙන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. කොළඹින් පිට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් (ට්‍රයල් ඇට් බාර්) ඉදිරියේ නඩුවක් විභාග වන පළමු වැනි අවස්ථාව මෙයයි. වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.   


වී.පී. තමිල් මාරන්. ඔහු නීතිඥවරයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති වරයකු වූ ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. 1974 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඔහු සමත් වුණේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙමිනි. 1976 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වී නීතිය හැදෑරූ ඔහු 1981දී නීතිඥයෙක් ලෙස දිවුරුම් දුන්නේය. විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් යාපනය මූලස්ථාන පොලිසියට රැගෙන ගිය නීති විශාරදයා වී.පී. තමිල් මාරන් බව සාක්කි විභාගයේ දී හෙළි විය. ඔහු මෙම නඩුවේ සාක්කිකාරයෙක් විය.   


මෙම සිදුවීම ​ෙවන වකවානුවේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ලලිත් ජයසිංහ මහතාය. විද්‍යා ඝාතන සිදුවීමේ සැකකරුවන් කිහිප දෙනකු දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගත්තද ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් අත්අඩංගුවට ගෙන නැතැයි තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට දැන්වූ බවත්, සිද්ධියේ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව එවිට ලලිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළ බවත් තමිල් මාරන් මහතා සාක්කි දෙමින් පැවසීය.   


නඩු විභාගය ආරම්භක දිනයේ දී වැඩබලන නීතිපති ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළේ ස්විස් කුමාර් යනු මෙම සිද්ධිය සැලසුම් කළ ප්‍රධාන සැකකරු බවයි. දකුණු ආසියාවේ දැරියන් සහ තරුණියන් අපයෝජනය කර එම වීඩියෝ දසුන් විකිණීමේ ජාවාරමකට ඔහු සම්බන්ධ බව ලිවේරා මහතා කීවේය.   


එවැනි චෝදනාවක් එල්ල ​ෙවන ස්විස් කුමාර් තම වාහනයේ නංවාගෙන යාපනය පොලිසියට රැගෙන ගියේ ඇයිදැයි තමිල් මාරන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ දී පැවසීය.   


‘‘පුංකුඩිතිව්වල සිදුවුණ සිද්ධිය ගැනත්, එය මූලික කරගනිමින් හටගත් තත්ත්වය ගැනත් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ලලිත් ඒ. ජයසිංහ මහතා සමඟ මම කතා කළා. 15 වැනි දා ඔහු හා මේ ගැන කතා කර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා සිටියා.   


17 වැනි දා රාත්‍රියේ මම යාපනයට ගියා. 18 වැනි දා මම යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ හමුවුණා. පුංකුඩිතීව්හි තත්ත්වය ගැනත් යළි මෙවන් සිද්ධීන් සිදු වීමට ඉඩකඩ නොදීම ගැනත් එම ප්‍රදේශයට උප පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගැනත් මම කතා කළා.   


මේ නඩුවට අදාළ එක් සැකකරුවෙකු වන ස්විස් කුමාර් මෙම අපරාධයේ ප්‍රධාන සැලසුම්කරු බවත්, ඔහුව අත්අඩංගුවට නොගත්තේ ඇයිද යනුවෙනුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා. එවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වා සියලුම දෙනා අල්ලලයි තියෙන්නේ කියලා. අත්අඩංගුවට ගත් පිරිස අතර මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර්ගේ නම නැති බවත්, ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්නත් මම ප්‍රශ්න කළා.   


පුංකුඩිතීව් ජනතාවත් පොලිසියත් අතර හමුවක් සූදානම් කිරීමට මම පුංකුඩිතිව් යන්න සූදානම් වුණා. එවිට මාත් එක්ක යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ශ්‍රී ගජන් කියල කෙනෙකුයි තවත් පොලිස් නිලධාරියෙකුයි සිවිල් ඇඳුමෙන් එක්කන් යන්න කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වා. ඒ අනුව මම ඔවුන් සමගින් පුංකුඩිතීව් වලට ගියා. මේ සිද්ධිය ගැන දන්නා සිසුන් දෙදෙනෙකු සිටින බවට තොරතුරක් ලැබුණා. එම සිසුන් දෙදෙනා ගැන සොයාගෙන අපි පුංකුඩුතිව් මහා විද්‍යාලයට ගොස් විදුහල්පති හමු වුණා. මේ ළමයින් දෙදෙනා 13 වැනි දා සිට පාසල් නොපැමිණි බව විදුහල්පතිවරයා කිව්වා.   


මම විදුහල්පතිවරයා සමඟ කතා කරමින් සිටිනා අතරේ පිටත සිටි ශ්‍රී ගජන් කියන උප පොලිස් පරීක්ෂකවරයා කා සමඟදෝ දුරකථනයෙන් කතාකරමින් හිටියා. මම ඔහු ළඟට ගියාට පස්සේ මේ නඩුවට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසියට බාරවෙන්න සූදානමින් ඉන්නවා කියලත් ඔහුට ආරක්ෂාව දෙන්න පුළුවන්නම් ඔහු පොලිසියට බාරවීමට සූදානම් බවත් පොලිස් නිලධාරියා මා සමඟ කිව්වා. ඉක්මනටම පොලිස් වාහනයක් ගෙන්නල ඔහුව පොලිසියට බාරදෙමු කියා මම කිව්වා. මෙම සැකකරු පොලිස් වාහනේ අරන් යනවා කියන්නේ බුද්ධිමත් වැඩක් නොවෙයි සැකකරු අපේ වාහනේ ගෙනයමු කියා උප පොලිස් පරීක්ෂකවරයා කිව්වා. මමත් ඒකට එකඟ වුණා. ඉන් පසු ස්විස් කුමර්, ඔහුගේ බිරිඳ, දරුවා සහ බිරිඳගේ මව වාහනයට නග්ගගත්තා. නග්ගාගෙන අපි යාපනයට ආවා. ඇවිත් ඔවුන් යාපනය මූලස්ථාන පොලිසියට බාර දුන්නා. ඔවුන්ව මගේ වාහනයේ ගෙන ගියේ පොලිසියට උදව් කිරීමේ අරමුණෙනුයි. ඉන් පසු මම පුංකුඩිතිව් සර්වෝදය ගොඩනැගිල්ලට ගියා.   


අපරාධ අඩු කිරීම ගැන මහජනයා දැනුම්වත් කරන වැඩසටහනක් තබමු කියා මම ලලිත් ජයසිංහට කළ යෝජනාව අනුව පසු දින එනම් 19 වැනි දා පුංකුඩිතීව් ජනතාවත් පොලිසියත් අතර හමුවක් පැවැත්වුණා. මුලින්ම ප්‍රදේශවාසීන් 40ක් 50ක් හිටියත් පසුව දෙතුන් සියයක් පැමිණියා.   


පුංකුඩිතිව් ප්‍රදේශයේ පොලිස් මුර පොළක් දමන බව සහ අපරාධ අඩු කිරීමට සාමාන්‍ය වැසියන්ගේ සහයෝගය අවශ්‍ය බව මම කිව්වා. ඒ සමඟම පිටිපස්සේ හිටපු මහජනයාගෙන් කෙනෙක් කිව්වා අපි ඊයේ අල්ලාගත්ත ස්විස් කුමාර් වැල්ලවත්තේ ඉන්නවා කියලා. එහෙම වුණේ කොහොමද ඇහුවා. මේකට වගකියන්න ඕනෑ තමිල් මාරන් තමයි කියා මිනිස්සු කෑගැහුවා. ඒ වෙලාවෙයි මම දැනගත්තේ ස්විස් කුමාර් මුදා හැරලා කියලා. ස්විස් කුමාර් බාර වෙනකම් ඔහු කවුරුන්ද කියා මා දැනගෙන හිටියේ නැහැ.’’   


සැකකාර ස්විස් කුමාර් මුදා හැරියේ ඇයිදැයි ඉන් පසු තමිල් මාරන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගෙන් ප්‍රශ්න කළේය.   


 ‘‘සාක්ෂි කිසිවක් නොමැති නිසා පොලිසිය විසින් ඔහුව මුදා හැරියා.’’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා සමඟ කී බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තමිල් මාරන් මහතා කීවේය. ඉන් පසු ඇති වූ සිද්ධිය ගැන ඔහු මෙසේ ද කීවේය.   


‘‘ඉන් පසු මේක ලොකු ඝෝෂාවක් බවට පත් වුණා. මිනිස්සු අපිට යන්න දුන්නේ නෑ. මාව ප්‍රාණ ඇපයට තියාගත්තා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මාව කොහොම හරි කයිට්ස්වල නාවික හමුදා කඳවුරට යොමු කළා. මමයි දුවයි එහේ ඉඳලා පහුවදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ නිවසට ආවා. එහේ ඉඳලා එයා දුන්නු ආරක්ෂාව එක්ක වවුනියාවට එනකං ආවා. ඉන් පසු මගේ වාහනයේ කොළඹ ආවා.’’ තමිල් මාරන් මහතා කීවේය.   


නඩු විභාගයේදී තවත් සිදුවීමක් විය. ඒ පුංකුඩුතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ක්වින්ටස් පෙරෙයිරා මහතා සාක්කි දෙද්දී යම් යම් දේ වසන් කරන බව අධිකරණයට නිරීක්ෂණය වීමයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම යටතේ කයිට්ස් හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්වින්ටස් පෙරේයිරා මහතා සාක්කි දුන්නේය.   


ප්‍රශ්නය මතු වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ස්විස් කුමාර් ගැන ප්‍රකාශ කරද්දීය.   


‘‘18 වැනි දා මට මහරගම අධිකරණයේ වෙනත් නඩුවක සාක්ෂි ලබා දීම යෙදී තිබුණු නිසා මා එහි ගියා. මෙම සිද්ධියේ තවත් සැකකරුවකු යාපනය මූලස්ථාන පොලිස් බාරයේ සිටිය දී පලාගොස් වැල්ලවත්තේ සැඟව සිටිය දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව මට 20 වැනි දා අපේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු දැනුම්දුන්නා. සැකකරුගේ නම ස්විස් කුමාර් කියලත් කියුවා. මම නව වැනි සැකකාරයා ගැන දැනගත්තෙත් එවිටයි.’’ ඔහු කීවේය. ස්විස් කුමාර් යනු මේ නඩුවේ නව වැනි විත්තිකරුය.   


‘‘නව වැනි විත්තිකරු හඳුනාගත හැකිද?’’ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා විමසීය. ‘‘මම ඔහුව අත්අඩංගුවට ගත්තෙ නැහැ. අධිකරණයට ඉදිරිපත් කළෙත් නැහැ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සැකකරු අත්අඩංගුවට ගන්න රිපෝට් එක ෆැක්ස් මගින් වැල්ලවත්ත පොලිසියට යවන්න කියල කියුවත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු නැතැයි දන්වල මම රිපෝට් එක යැව්වෙ නැහැ.’’ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීවේය.   


ඉන් පසු විනිසුරු මඬුල්ල හඬ අවදි කළේය. ‘‘මේ සාක්ෂිකරුගේ සාක්ෂි දුන් ආකාරය දෙස මේ වෙනකල්ම අවධානයෙන් බලා සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ගේ සාක්ෂි මෙහෙයවීමට බාධා නොකළ යුතු නිසයි නිහඬව සිටියේ. මේ සාක්ෂිකරු ආරම්භයේ සිටම නව වැනි සැකකරු ගැන විමසන විටදී ඊට පිළිතුරු දෙන්න අකමැත්තක් දක්වනවා. තමන්ගේ පොලිස් ස්ථානය යටතේ ඇති ප්‍රදේශයක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මේ නිසා ඒ පළාතේ නොසන්සුන්කාරී තත්වයකුත් ඇතිවුණා. ඒ සිද්ධියේ ආරම්භක පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිලධාරියා අට දෙනෙකු අත්අඩංගුවට ගත්තා. නව වැනි සැකකාරයා ගැන කිසිදු තොරතුරක් නැහැ. සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තමන්ගේ ප්‍රදේශයේ ලොකුම ප්‍රශ්නයක් ඇති විට මහරගම මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දෙන්න ගියා කියනවා. එහේ ගිහිං සාක්ෂි දුන්නද?’’ විනිසුරුමඬුල්ල විමසීය.   


‘‘මම සාක්ෂි දෙන්න යන අතරවාරයේදී මගේ ඉහළ පොලිස් නිලධාරියා කඩිනමින් ආපසු පැමිණෙන්න කියල නියෝග කළා. මේ නිසා මම සාක්ෂි දෙන්න ගියේ නැහැ.’’ පොලිස් නිලධාරියාගේ පිළිතුර විය.   


ඉන් පසු ඔහුගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ විනිසුරු මඬුල්ල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පොලිස් කොමිසමට දන්වන බව කීවේය. ඔහු එදින දිවා විවේක කාලයේ අධිකරණ ලේඛකාධිකාරී බාරයේ තැබීමට ද නියෝග කළේය.   


කයිට්ස් පොලිසිය පැවැත්වූ පරීක්ෂණ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර ගත් පසු එහි විමර්ශන පැවරුණේ එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාටය. නිශාන්ත සිල්වා මහතාට රුපියල් මිලියන 20ක් ලබා දී පරීක්ෂණ යට ගැසීමට ස්විස් කුමාර් උත්සාහ කළ සිද්ධියක් ගැන ද පසුගිය සතියේ හෙළිදරව් විය. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මිලියන 20ට පයින් ගසා කොන්ද කෙළින් තබාගෙන විමර්ශන සිදු කළේය. මේ බව හෙළි වූයේ වෙනත් හේතුවක් මත රිමාන්ඩ් බාරයේ සිටින ජෙනුවුල් අහබ්ඩීන් මොහොමඩ් ඉෆ්රාන් නම් පුද්ගලයාගේ සාක්කියෙනි.   


‘‘මම පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. 2014 වසරේදී මගේ බැංකු ක්‍රෙඩිට් කාඩ්පත වෙනත් අයෙක්ට දුන්නා. ඔහු විසින් එම කාඩ්පත උපයෝගී කරගෙන වංචා සිදුකර තිබෙනවා. එහෙත් එම බැංකු කාඩ්පතේ හිමිකරු මම වන නිසා කොළඹ කොටුව අධිකරණයේත් පුත්තලම අධිකරණයේත් වව්නියාව අධිකරණයේත් මට එරෙහිව නඩු 11ක් පවරලා තියෙනවා. මෘදුකාංග භාවිතා කිරීමෙන් සහ භාවිතා නොකරමින් වෙනත් අයෙකුගේ පරිගණකයක් මට හැක් කරන්න පුළුවන්. එය මට අසීරු දෙයක් නෙවෙයි. ඒ වගේම ජංගම දුරකථනවලින් මකා දමා ඇති දෑ නැවතත් ගැනීමට මට පුළුවන්. ඒ වෙනුවෙන් මා විසින් මෘදුකාංගයකුත් නිර්මාණය කළා.   
වව්නියාව අධිකරණයේ මට එරෙහි නඩුවක් විභාග වීම හේතුවෙන් මාව වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටියා. ඒකාලේ තමයි ස්විස් කුමාර්ව මට හමුවුණේ. එක දවසක් වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක් බන්ධනාගාරයට පැමිණ සිටියා. වෛද්‍ය පරීක්ෂණයන් සිදුකළේ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට ආසන්න කාමරයකයි. ඒ ළඟම විද්‍යා ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. සිරමැදිරිවලින් සිරකරුවන් තිදෙනා තිදෙනා බැගින් තමයි වෛද්‍ය පරීක්ෂණය සඳහා ගෙන එන්නේ. එහිදී මමයි මුලින්ම වෛද්‍ය පරීක්ෂණය සිදුකරගෙන පිටතට පැමිණියේ. මගෙත් සමගින් ගෙන ආපු අනිත් සිරකරුවන් දෙදෙනාද පැමිණෙන තුරු මා බලා සිටියා.   


අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අයි.පී නිශාන්ත සිල්වා සහ තවත් පිරිසක් විද්‍යා ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටිනවා මම දැක්කා. නිශාන්ත සිල්වා තමයි මගේ කේස් එකේ විමර්ශනයත් සිදුකළේ. මේ නිසා මම පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් කියල ඔහු හොඳින් දන්නවා. නිශාන්ත සිල්වා මහතා මා ළඟට පැමිණ ජංගම දුරකථනයකින් මකා දැමූ දෙයක් ආයෙ ගන්න බැරිද කියල විමසා සිටියා. එය ස්විස් කුමාර් දැක්කා.   


පසු දිනක මා අසලට පැමිණි ස්විස්කුමාර් ජංගම දුරකථනයෙන් මකන ලද කිසියම් දෙයක් නැවත ගත හැකිද කියල අසා සිටියා. මම ඔව් කියුවා. මෘදුකාංග භාවිතා කරල මකන ලද දෙයක් උනත් නැවත අරන් බලන්න පුළුවන්ද ඇහුවා. ඔව් ඒ දේ කරන්න මට පුළුවන් කියල කියුවා. සාමාන්‍යයෙන් ජංගම දුරකථන භාවිතා කරන අය දෙයක් මකන එක සාමාන්‍ය වුණත් මෘදුකාංග භාවිතා කරල දෙයක් මකනවා කියන්නෙ මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියල මට අවබෝධ වුණා.   


ඉන් පසු දවසක ස්විස් කුමාර් යළි හමු වුණා. මට ඔයාව තනියෙන් හමුවෙන්න ඕනෑ කියල ඔහු කියුවා. ඒ හමුවීම ගැන ඔහු එක්ක අත්අඩංගුවට ගත්ත අනිත් 8 දෙනාටම දැනගන්න තියන්න එපා කියල ස්විස් කුමාර් කිව්වා. අයි.පී. නිශාන්ත සිල්වා කොහොමද කියා ඔහු ඇහුවා. මට එයා එක්ක මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නෙ කියා ස්විස් කුමාර් ඇහුවා. ‘විද්‍යා කේස් එකේ මාව රජයේ සාක්කි කාරයෙක් විදිහට ඉදිරිපත් කරන්න නිශාන්ත සිල්වා එක්ක කතා කරන්න.’ කියා ඔහු කිව්වා. එහෙම කළොත් ඔහු නිශාන්ත සිල්වාට කෝටි දෙකක මුදලක් දෙනවා කියලත් කිව්වා.   


ඊට පස්සේ ආය පාරක් මාව හමුවුණා. ස්විස් කුමාර් මෙහෙම කිව්වා. ‘‘මම ස්විස්ටර්ලන්තයේ හිටියේ. එහේ ඉද්දි මාෆියා කල්ලියක් දකුණු ආසියාවේ ඉන්න දැරියක අපයෝජනය කර ඇයව ඝාතනය කරන සිද්ධියක වීඩියෝ එකක් ගන්න මා එක්ක ගිවිසුමකට පැමිණියා. ඒ ගැන ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ කරන් මේ වැඩේ ගැන කතා කරා. අවුරුදු 20ක පමණ කෙල්ලෙක් වෙන්න ඕනෑ කියල තමන් ඔහුට කිව්වා. ‘‘ස්විස් කුමාර් එහෙම කිව්වාම මම ඇහුවා කා එක්කද කිව්වේ කියලා. ඔහු එවිට මේ නඩුවේ හයවැනි විත්තිකරු වන දුෂාන්තන්ව පෙන්නුවා.’’   


පසුව මාව මැගසින් සිරගෙට නැවත ගෙනිච්චා. එහේදී අයි.පී. නිශාන්ත සිල්වා මහත්තයා හමුවුණ වෙලාවේ ස්විස් කුමාර් මා සමග කියූ දේ ගැන දැනුවත් කළා. නිශාන්ත සිල්වා මහත්තයා එතනදීම මගෙන් ඒ ගැන ප්‍රකාශයක් සටහන් කරගත්තා. මේ ගැන කොහොමහරි ස්විස් කුමාර් දැනගෙන තිබෙනවා. මාව නැවතත් වව්නියාව සිරගෙට මාරුකර යැවූ පසු ‘උඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කියූ දේ උසාවියේදී කියන්න බැහැ. එහෙම උනොත් අනිත් නඩු වලට යන එන වාරයක් වාරයක් ගානෙ උඹට ජීවිත තර්ජන එල්ල වෙයි’ කියලා මට තර්ජනය කළා. ‘උ​ෙඹ් ගෑනිටත් විද්‍යාට වුණ දේම සිද්ධ වෙයි.’ කියලත් කිව්වා. මම මේ ගැන බන්ධනාගාර නිලධාරීන්ට සහ අධිකරණයට පැමිණිලි කළා.   


විද්‍යා දැරිය අපයෝජනය කිරීමේ වීඩියෝව දුරකථනයක් හරහා යවා තිබෙනවා. ඒ ගූගල් ඩ්‍රයිව් (google drive) හරහායි. ඒ වගේම යාපනේ ඉඳන් කොළඹට පැනලා ආවේ දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකුට අයිති වාහනේක කියලා සහ උසස් පොලිස් නිලධාරියෙක් ඊට සහාය වූ බව ස්විස් කුමාර් මා සමඟ කිව්වා.’’ සාක්කිකරු කීවේය. නීති විශාරදයාගේ වාහනයේ රැගෙන ගොස් යාපනය මූලස්ථාන පොලිසියට බාර දුන් ස්විස් කුමාර් කොළඹට ආවේ කොහොමද? ඔහු මුදා හැරීමට නියෝග කළේ කවුද? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබන 18 වැනිදා සිට යළි ආරම්භ වන නඩු විභාගයේ දී හෙළි වනු ඇත.   


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පැවැත්වූහ.   


නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරුන් වන නාගරත්නම් නිශාන්ත, ලක්සිරි ද සිල්වා සහ මාලනී විග්නේෂ්වරන් යන මහත්ම මහත්මීහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.   


1, 2, 3, 5, 6 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මහින්ද ජයරත්න සහ සුරංග බාලසිංහ යන මහත්වරුන් ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතා ද, 4, 7, 8, 9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් සින්නරාසා කේදීස්වරන් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ වියදමින් පත්කළ රජයේ නීතිඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

තරිඳු ජයවර්ධන සහ සිරාජ් හසීම්