පළාත් මන්ත්‍රීන්ට තීරු බදු වාහන යෝජනාව යළිත් කැබ්නට්ටුවට


ඇමැති වජිර වැඩේ අත නාරියි  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418 කට තීරු බදු සහන යටතේ වාහන ගෙන්වීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව තමන් නොසිටි නිසා පසුවට කල් දමා ඇතත්, ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා සහ ස්ව​ෙද්ශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.  
 මෙම කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විරෝධය පළකර තිබේ.  

එහෙත් ලබන සතියේ හෝ ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කොට ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.  


 පළාත් සභා අටක හිටපු මැති ඇමැතිවරුන් 418 දෙනාට ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද‌ාළ කැබිනට් පත්‍ර යෝජනාව ඉදිරිපත් කළේය. උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 37 දෙනාට පමණක් වාහන ආනයන බලපත්‍ර මීට පෙර නිකුත් කෙරිණ.  සෙසු පළාත් සභා අටේ මැති ඇමැතිවරුන් 418 දෙනාට ද එම සහනය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම යෝජනාවෙන් ඉල්ලීමක් කර තිබේ.  


එම යෝජනාවට ඉඩ ලබා දුනහොත් මහා භාණ්ඩාගාරයේ ආද‌ායමට බලපෑමක් එල්ලවෙන බවට මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම යෝජනාවට විරෝධය පළ කළේය.   එම පළාත් සභා අ​ෙට් නිල කාලය අවසන් වී ඇති නිසා එම යෝජනාවට මුදල් අමාත්‍යවරයා ඊට එකඟවීමට නොහැකි බව පවසා තිබේ. එහෙත් තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අද‌ාළ කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.