නීතියට අනුව කටයුතු කරන බවට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගනී


(දයාසීලි ලියනගේ)  

සියලු ජනාධිපති අපේක්ෂකයන් නාම යෝජනා බාර දෙන හෙට (7) දිනයේදී මූලික කරුණු හතරක් පදනම් කරගෙන, ප්‍රථම වතාවට සියලු අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ වඩාත් සාධාරණ හා නීති විරෝධි නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා අපේක්ෂකයන් මෙහෙය වීමට දිව්රුම් ප්‍රකාශ ලබා ගන්නා බවයි.  


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැළපෙන ආකාරයට කටයුතු නොකිරීම, ව්‍යාපාරික වශයෙන් හෝ ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් සමග සම්බන්ධතාවක් නොවීම, ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීම හා මැතිවරණ දෙපාර්තමේන්තු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයක් පත් කළ විධානයන්ට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් සියලු අපේක්ෂකයන්ගෙන් දිව්රුම් ප්‍රකාශ ලබා ගැනීමට යයි. මීට අමතරව සියලු අපේක්ෂකයන් නාම යෝජනා බාර දෙන දිනයේම වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු වෙයි.