නිල්වලා-ගිං ව්‍යාපෘතියෙන් මිලියන 4800 ක කප්පම් ඉල්ලලා


(දයාසීලි ලියනගේ)  

නිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගමකින් ඩොලර් මිලියන 30 ක හෙවත් රුපියල් මිලියන 4800ක අල්ලසක් ලබා ගැනීමට තැත් කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදේශකවරයකු හා ඔහුගේ ඥ‌ාති පුත්‍රයෙක් පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

 

හිටපු ලේකම්වරයකු වූ මෙම උපදේශකවරයා මෙම මුදලින් ඩොලර් මිලියන පහක් මුලින් ලබා දෙන ලෙසටත් ඉතිරි ඩොලර් 25ක මුදල සිංගප්පූරුවේ බැංකුවක තැන්පත් කරන ලෙසටත් අද‌ාළ විදේශ සමාගම සමග එකඟ වී සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.  


නිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ පත්‍රිකාව මෙම උපදේශකයා මාස 3 කට අධික කාලයක් තිස්සේ ඉදිරිපත් කිරීම​ට ඉඩදී නැති බව ද කියයි.  


මීට පෙර පහුගිය රජය කාලයේ දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුල්ගල් තබා මිලියන 400 ක මුදලක් වෙන්කර තිබුණත් ඒ මුදලට සිදුවූ දෙයක් නොමැති බව වාර්තා වේ.  


 දෙවැනි වතාවට මෙම රජය මගින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් මාස 4ක කාලයක් තිස්සේ එම පත්‍රිකාව ඉදිරිපත් කර නොමැති බව ද අනාවරණය වී ඇත.