නව සන්ධානයක් හදාගෙන ඡන්දයට යාමට කාලයක් නැහැ


එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි  

(දයාසීලි ලියනගේ)  
සන්ධානයක් ගොඩනඟා ගෙන ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරි වී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිතව දැනුම් දීමට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා තීරණය කර ඇත.  

අලියා ලකුණෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව නොලැබෙන නිසා, අලුත් පක්ෂයක් ගොඩනගාගෙන ආසන 160ටම සංවිධායකවරු පත්කරගෙන ඉදිරියට යාමට මේ කෙටි කාලය ප්‍රමාණවත් නොවන බව දන්වා යැවීමට තීරණය කළ බව විජේපාල හෙට්ටිආරච්චි මහතා ‘ඉරිදා ලංකාදීප’යට කීය.  
උදාහරණයක් ඉදිරිපත් කරමින් විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර 3ක කාලයක් තිස්සේ වියත්මග වැනි සංවිධාන ගොඩනගා ගෙන ආසන සංවිධායකවරු පත්කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවයි.  


මහමැතිවරණය ඉදිරි මාස තුන හතර ඇතුළත දී පැවැත්වීමට නියමිතව ඇති බැවින්, ඒ සඳහා සංවිධානය වීමට අලුත් පක්ෂයකට කාලයක් ප්‍රමාණවත් නොවන බවද ඔහු කීය.  
ක්‍රියාකාරීන් හඳුනාගැනීම, සංවිධායකවරු පත්කිරීම, පක්ෂය හා ලාංඡනය ජනතාව අතරට ගෙනයාම ඇතුළුව මූලික කාර්යයන් ඉටුකර ගැනීමට මෙම කෙටි කාලය ප්‍රමාණවත් නොවන බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිතව දන්වන බවද ඔහු කීය.