නව බදු පනත ගැන ආගමික නායකයින් දැනුවත් කිරීමට ඒකාබද්ධය සැරසේ


(දයාසීලි ලියනගේ)   
දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුව ආගමික ස්ථානවලින් බදු අය කිරීමේ යෝජනාව නිසා සිදුවන හානිය පිළිබඳව ආගමික පූජකවරු දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.   

ඒ අනුව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, කාදිනල්තුමා, හින්දු පූජකතුමන්, මවුලවිතුමන් හමුවී කරුණු පැහැදිලි කිරීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.   


මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා වශයෙන් සිටියදී ආගමික ස්ථානවලට ලබාදී තිබූ බදු නිදහස හා අනුග්‍රහය පිළිබඳව සඳහන් පත්‍රිකාවක් හා මේ රජය මගින් ආගමික ස්ථානවලින් බදු අය කිරීමට යෝජිත පනත සම්බන්ධ පත්‍රිකාවක් ආගමික ස්ථානවලට බෙදාහැරීමට ද පියවර ගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.   


මෙම වැඩපිළිවෙළ යටතේ පළමු වරට ත්‍රෛනිකායික මහනායක හිමිවරු හමුවීමට යොදා ගෙන සිටින බවද ඇමැතිවරයා කීය.